“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා කියපු සුභාෂිත භාවිතය දැන් හොඳටෝම පරණ කතාවක්… ඒක එහෙම නෑ. ලෝකය අද හුඟක් වෙනස් වගේම ඒවගේ කතාත් දැන් බොහොම වෙනස්… අපේ රටේ වුණත් ඉතාමත් ඉහළ ගණයේ වෘත්තිකයෝ තමන්ගේ විෂය පථයට බාහිර වූ කටයුතුවලින් මොනතරම් සමත්කම් පෙන්නනවද…
වෛද්‍යවරු සින්දු කියනවා. නඩුකාරයෝ නවකතා ලියනවා. ඉංජිනේරුවෝ චිත්‍ර අඳිනවා. ගණකාධිකාරිවරු කවි ලියනවා. ආර්ථික විශේෂඥයො නැටුම් නටනවා. ඒ විතරක්ද… දේශපාලනඥයෝ රඟපානවා…
එක විෂය පථයකට සපුරාම වෙනස් කුමක් හෝ සාහිත්‍ය කලාවක හෝ ලලිත කලාවක නිරත වෙලා සමත්කම් පාන ඉහළ පෙළේ වෘත්තිකයෝ මේ රටේ කොච්චර නම් ඉන්නවද…
අපි අද මේ කතා කරන වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරත් ඒ වගේම තම වෘත්තීය ක්ෂේත්‍රයට පිටින් සාහිත්‍ය කලාවේ සමත්කම් පෑ, අපේ රටේ ඉහළ ගණයේ කලාකරුවෙක් කියලා කිව්වොත් වරදක් නෑ. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. ඒ තමයි ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වෙන්න ප්‍රථම අපේ රටේ නමගිය තරුණ කවියකු, ගීත රචකයකු ලෙස කලාව ප්‍රගුණ කිරීම.
“කාලයක් අපි තරගෙට කවි ලියපු මිනිස්සු. රාවය පුවත්පතේ පද්ම තටාකය කවි පිටුව, දිවයින පත්තරේ කව්මුතු තීරය, විවරණ මැගසින් එකේ කවි පිටුව, යුක්තිය කවි පිටුව, සිළුමිණ ලංකාදීප වගේ එදා තිබුණු පත්තරවල කවි පිටු හැම එකකටම අපි කවි ලිව්වේ තරගෙට. මම පාසල් කාලෙ ඉඳලම කවිය ඇසුරු කළා. 88 – 89 කාලයේ අපි ලබපු බිහිසුණු සමාජ දේශපාලන අත්දැකීම්වලිනුත් අපේ කවිවලට අමුතු උත්තේජන සපයන්න ඇති. ඉතින් විශ්වවිද්‍යාල සමය තුළින් අපේ මූලික ප්‍රවේශය තමයි කවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළෙ අපිට ඒකට හොඳ පරිසරයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ පරිසරය ඇතුලේ මම වගේම වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල, මහින්ද කුමාර දළුපොත, නිලාර් එන්. කාසීම්, හිනිඳුම සුනිල් සෙනෙවි, ස්වාමීනාදන් විමල්, තිඹිරියාගම බණ්ඩාර වගේ පරපුරක්ම හිටියා. තිඹිරි අපේ කැම්පස් එකේ නොවුණත් හිටියේ දෙල්කඳ අපි ඉන්න බෝඩිමේ. ඔන්න ඔතන තමයි අපි හැමෝගෙම සාහිත්‍ය කලා භාවිතාවේ මූලික ආරම්භය කියලා කිව්වට වරදක් නෑ.”
වෛද්‍ය ශිෂ්‍යයෙක් ලෙස ආරම්භ කරපු විශ්වවිද්‍යාල ජීවිතයට වඩා යසනාත්ට අද කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කලාකරුවකු ලෙස කලාවට අත්පොත් තබන්න පටන් ගත්තු ඒ මිහිරි අතීතයම තමයි. තිඹිරිට හැරෙන්න එතන හිටපු අනිත් කාටවත් කවි ලිව්වට කවියෙන් නතර වෙන සීමාවක් තිබී නෑ. කවියෙන් ගීතයට පියවර නගන ගාය දුකාට වගේම යසනාත්ටත් අඩුවක් නෑ.
“අපිම ගීත ලියනවා. අපිම මෙලඩි දානවා. ඊට පස්සෙ අපිම කියනවා. ඔන්න ඔහොම කාලයක් අපි මේක ප්‍රගුණ කරනකොට අපිටම හිතෙන්න පටන් ගත්ත අපිට ගීත ලියන්නත් පුළුවන් ඇති කියලා. ඔන්න ඔය කාලෙ තමයි අපි මේ අපේ අහිංසක අංකුර ගීත නිර්මාණ කපුගේ කියන අති විශිෂ්ට නොමසුරු මනුස්සයාට පෙන්නන්නෙ.”
“මල්ලි මේවා නරක නෑ… අපි දැන් මේවා එකක් දෙකක් මියුසික් කරලා වොයිස් කරල බලමු…” මමත් එකක් දෙකක් කියන්නම්. මාලිනී බුලත්සිංහලටත් එකක් දෙකක් දෙමු. එච්. එම්. ජයවර්ධන කියන්නෙත් රත්තරන් මිනිහෙක්. උඹට උදව් කරාවි.”
එහෙම තමයි කපුගේ. ලොකුද පුංචිද කියල නෑ. ප්‍රවීණ ද අලුත්ද කියල නෑ. වැඩේ දන්නවා නම් දක්ෂ නම් ඔවුන්ට කපුගේ උදව් කළේ අත දිග ඇරලා. ඒ විතරක් නෙවෙයි වම් අතින් කරන උදව්ව දකුණු අතට දැනෙන්නෙත් නැති විදිහට.
“අපි දුකාලා සිංදු ලියලා මෙලඩි දාලා හැන්දෑවේ බෝඩිමේ කාන්සියට පාළුවට කියපු සින්දු ටික කපුගේ අයියට අහන්න දුන්නම එයින් දෙක තුනක් මියුසික් කරලා කියලා පටිගත කරමු කියන අදහස දුන්නේ ඔහු. ඔය කාලෙම තමයි මම මගේ පතන් බිම කියන පළමු පොත එළිදක්වන උත්සවය ලෑස්ති කරන්නේ. ඔය උත්සවයට කියන සිංදු කීපය මියුසික් කරන්න ඒ කාලයේ දෙල්කඳ හන්දියේ හිතපු හිත හොඳ තරුණයෙක් අඳුන්වල දෙන්නේ දුකා. ඒ තමයි අද ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ. එදත් අදත් අපි දන්න නවා තමයි ඒ. පතන් බිමෙන් පස්සෙ ඒ මිතුදම දැඩි වෙනවා. කපුගේ අයියා මියුසික් කරපු සින්දු කිහිපයකුයි නවා මියුසික් කරපු සින්දු කීපයකුයි ඊට පස්සේ අපි දෙල්කඳ නෙකෝ ශබ්දාගාරයේ පටිගත කරනවා… ඔන්න ඔතනින් තමයි පටන් ගන්නේ…”
ඔය ගීත කීපය අතරේ තමයි මාලනී බුලත්සිංහල හා කපුගේ ගායනා කරන “ඉර බට තරුව වගේ පායන්නම්…” කියන අතිශයින් ජනප්‍රිය වුණු යුග ගීතයේ තිබුණේ. “වැව් තාවුල්ලේ සුදු කොඩි බැඳලා…” ගීතය සංගීතය සපයලා කිව්වේ කපුගේමයි. නවරත්න ගමගේ සංගීතවත් කරපු “ගාන තෙල් සඳුන් වරලස…” ගීය කිව්වේ එවකට ඉංජිනේරුවකු ලෙස පැලවත්තේ සීනි කර්මාන්තායතනයේ සේවය කළ සමන් ජයනාත් ජිනදාස. රජරටින් කපුගේ එක්ක ආපු තවත් ගායකයෙක් “නොනිදා ඉන්න එපා දේවී…” කිව්වා. ඒ පොලොන්නරුවේ ජානක වික්‍රමසිංහ. කොහොම වුණත් ඒ සින්දු හයෙන් හතරක්ම සති කීපයක් ඇතුළත රටේ ජනප්‍රියම ගීත බවට පත්වීම ආශ්චර්යයක්…
“ඇත්තටම ඔය කටයුත්තේ වගඋත්තරකරුවා නිහාල් වික්‍රම එදිරිසූරිය. නෙකෝ එකට විජයරත්න රණතුංග කියන අපේ අද්විතීය තබ්ලා වාදන ශිල්පියා හමුවන්න ආපු නිහාල් මේ සින්දු ටික අහන් ඉඳල තමයි ඒක ඉල්ලන් ගිහිල්ලා ගුවන් විදුලියේ ප්‍රචාරය කරන්නේ… ඔන්න මුල….”
වටිනාකම තියෙන්නේ යසනාත්ට ඒ මුල අකුරක් නෑර මතක තිබීම කියලයි මට හිතුනෙ… කොහොම වුණත් එතනින් කලා ජීවිතයේ ආරම්භ කරපු යසනාත් ධම්මික බණ්ඩාර ඒ මග ඔස්සේ අද ගොඩක් දුර ඇවිත්… පොඩ්ඩක් නෙවෙයි අවුරුදු තිහක් තිස් පහක් විතර. ආපහු හැරී බලන කොට සතුටු වෙන්න පුළුවන් ගීත නිර්මාණ රාශියක් මේ දොස්තර මහත්තයා, වෙද නළාව පැත්තක තියලා පෑන අතට අරන් ලියලා සංගීතවත් කරලා ක්‍ෂේත්‍රයට දායාද කරලා ඉවරයි. ඒ අතර ඉමාන් පෙරේරා කියන ‘සුවඳ මල් රේණු පිසගෙන’, සමන් ජිනදාස කියන ‘අනුරාගිනී,’ කිත්සිරි ජයසේකර කියන ‘සඳ කිඳුරෙලිය නුඹ’, දිවුල්ගනේ ගායනා කරන ‘අර මෝදු වෙලා සිනා පුරන’, අමරසිරි පීරිස් ගයන ‘ආලවන්ත වීදියේ,’ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ හා රශ්මි සංගීතා ගයන ‘වලාකුළු පෙළින් බසින්න,’ දොස්තර ආනන්ද ගුණසේකර ගයන ‘රන් රැවැත්ති,’ ප්‍රදීපා ධර්මදාස ගයන ‘සඳක් මැකුන දා’, දයාන් විතාරණ ගයන ‘ප්‍රේමයේ පුර පස’, රෝහණ ධර්මකීර්ති ගයන ‘හා හා කුමුදිනි’ වගේ ගීත සිය ගාණක් දැක අපේ කනට හුරුයි. ඒ අතරින් බොහෝ ගීත අවුරුදු තිහක් විතර තිස්සේ තාමත් ජනප්‍රියයි…
“මගේ සින්දු අතරින් සුවිශේෂී සින්දු ටිකක් තෝරගෙන සංගීත ප්‍රසංගයක් කරන්න කියලා මගේ රසිකයෝ හා මිතුරු කැළ මට ආරාධනා කරලා ගොඩක් කල්. ඉතින් මම ‘ආලවන්ත වීදියේ’ කියන සංගීත ප්‍රසංගය කාලෙක ඉඳලා සැලසුම් කළා. හැබැයි විවිධ ප්‍රශ්න නිසා දවසින් දවස කල් ගියා. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ කරන්න ගිහිල්ලත් ඡන්ද කීපයක් නිසා කල් ගියා. අන්තිමේ වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල, නවරත්න ගමගේ, ඉමාන්, බුලිත, බුලේගොඩ, සමන් ජිනදාස, මහින්ද අයියා සුසන්ත සංගීත් අයියා වාදක මණ්ඩලයේ සහෝදර කැළ හා කුරුණෑගල ප්‍රදේශයේ මගේ වෘත්තීය හිතවතුන් පිරිසක් එකතු වෙලා තමයි මේ ප්‍රසංගය සූදානම් කළේ. ආලවන්ත වීදියේ ප්‍රසංගයන් ජූලි 5 වැනි සෙනසුරාදා හවස 6.00ට කොළඹ නාලන්ද විද්‍යාලීය මලලසේකර ශාලාවේ වේදිකාගත වෙනවා. නවරත්න ගමගේ ප්‍රමුඛ වාදක මණ්ඩලය සංගීතවත් කරන මෙම ප්‍රසංගයට සමන් ජිනදාස, ප්‍රදීපා ධර්මදාස, රශ්මි සංගීතා, ජානක වික්‍රමසිංහ, රොහාන් ශාන්ත බුලේගොඩ, ඉමාන් පෙරේරා, දයාන් විතාරණ, සමන්ත පෙරේරා, රෝහණ ධර්මකීර්ති, මිත්‍ර කපුගේ, ශානිකා සුමනසේකර, දර්ශන රුවන් දිසානායක, පුන්සඳහා මියැසි, හේමන්ති රණසිංහ වගේ ගායක ගායිකාවන් රැසක් සහභාගි වෙලා ගීත ගායනා කරනවා. සමහර ගීත කියන්න මුල් ගැයුම් කරන අයට නොවැළැක්විය හැකි හේතු නිසා පැමිණීමට නොහැකි වී තිබෙනවා. ඔවුන්ගේ අවසරය පරිදි ඒ ගීත වෙනත් ශිල්පීන් ලවා ගායනා කරන්න අපි සැලසුම් කරලා තියෙනවා.
ඉතින් මේ ප්‍රසංගය තනිකරම ආරාධනා පත් සඳහා විවෘත ප්‍රසංගයක්. මේ ප්‍රසංගය පවත්වන්නේ ලොකු ලොකු මුදල් පරිත්‍යාග මත නෙවෙයි. අපේම වෘත්තිකයො අපේ දන්න කියන හිතවතුන්ගේ ආදර අනුග්‍රාහකත්වය ඇතිව. එම නිසා ආසන 250ක පමණ සීමාවක් අපි පොදු රසිකයෝ වෙනුවෙන් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපට සාදර අනුග්‍රහයක් කරන්න පුළුවන් රසික රසිකාවන්ට ඒ ඉඩ විවෘත වෙනවා. පහත දුරකථන අංකයට ඇමතුමක් දුන්නොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වේවි. මේ ප්‍රසංගය අපි නුදුරු දිනක විද්‍යුත් මාධ්‍යයකින් ඔබ වෙත අහන්නට බලන්නට සලස්වන්න මම උත්සාහ කරනවා. එහෙම නම් ආයුබෝවන්! අපි ආයෙත් හමුවෙනවා…”
ඔන්න ඔය විදියට අපේ මේ පුංචි සංවාදයත් අවසන් වුණා.
බුලිත
ඡායාරූපය – සංඛ ගාල්ලගේ