තුන් මාසයකට කිට්ටු කාලයක් තිස්සේ ආණ්ඩුව සහ මේ රටේ අපනයන කර්මාන්තකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි ලියමනක්, ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. නගරයෙන් තැපෑලට දමා ඇතැයි දැනගන්නට තිබේ. සමහර විට මේ ලියුම සති අන්තයේ දී මුදල් අමාත්‍යාංශයට ලැබුණා විය හැකිය. නැතහොත් එය අද හෝ හෙට ස්ථිර වශයෙන්ම මෙරටට ලැබෙනවා ඇත. මේ ලියුමට අත්සන් කර ඇත්තේ ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. එහි සඳහන් වන්නේ, ඇමෙරිකාව විසින් ලංකාවේ භාණ්ඩ මිලදී ගැනීමේ දී 40% දක්වා වැඩිකරන ලද ආනයන බද්ද 20% ත් 30% ත් අතර අඩුකර ඇති බව ය. ලංකාව බලාපොරොත්තු වුණේ ඇමෙරිකාව එම බද්ද 5% ක් හෝ 10% ක් දක්වා අඩුකරන බව ය. එහෙමත් නැත්නම් ලංකාව ඇමෙරිකාවට කීකරු යහපත් මිනිසුන් සිටින හොඳ රටක් සේ සලකා එම බද්ද 2% ක් හෝ 3% ක් අතර පවත්වාගෙන යනු ඇති බවය. එහෙත් එසේ කිරීමට ජනාධිපති ට්‍රම්ප්ට පිස්සු නැත. ඇමෙරිකාව සමග ගනුදෙනු කරන රටවල් එකසිය අසූවක් පමණ තිබේ. මේ රටවල් සියල්ල එකතු වී දීර්ඝ කාලයක් තිස්සේ ඇමෙරිකාව කොල්ලකනු ලැබ ඇති බව, මෙවර බලයට ආ සැණින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තේරුම් ගියේ ය. මෙසේ තේරුම් ගන්නා අවධියේ දී ඔහුගේ මොළයෙන් භාගයක වැඩ කළේ, ටෙස්ලා සමූහ ව්‍යාපාරයේ අධිපති එලෝන් මස්ක් ය. පසුව මේ බද්ද නිසා ඇමෙරිකන් ජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා දුටු එලෝන් මස්ක්, එම බද්ද සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග ගැටුමක් ඇති කර ගත්තේ ය. ඉන්පසු ඔහු ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් එළියට බැස අලුත් දේශපාලන පක්‍ෂයක් සෑදීම සඳහා කටයුතු සම්පාදනය කළේය. මේ වනවිට එලෝන් මස්ක් සිටින්නේ ඇමෙරිකාවේ පරම හතුරකු වූ චීනය සමග ය. එලෝන් මස්ක් සිය ටෙස්ලා ඉලෙක්ටි්‍රක් මෝටර් රථ ව්‍යාපාරයේ දෙවන කර්මාන්තශාලාව ද පසුගියදා චීනයේ දී විවෘත කළේය. එලෝන් මස්ක් යනු සංක්‍රාමිකයෙකි. ඔහු උපන්නේ දකුණු අප්‍රිකාවේදී ය. එතැනින් ඔහු කැනඩාවට සංක්‍රමණය විය. ඔහුගේ තුන්වන සංක්‍රාමික ගමනාන්තය වන්නේ ඇමෙරිකාව ය. ඔහු තම සියලු බිස්නස් පටන් ගන්නේ ඇමෙරිකාවේදී ය. අප දන්නා පරිදි මේ වනවිට ලෝකයේ ලොකුම ධනවතා එලෝන් මස්ක් ය. ඔහු ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඩොලර් මිලියන 250ක් පරිත්‍යාග කළේය. ට්‍රම්ප් ඒ වෙනුවෙන් ඔහුට ඉතා හොඳින් සැලකුවේය. උදාහරණයක් වශයෙන් මේ වනවිට නාසා ආයතනයේ රොකට් ගුවන්ගත කිරීමේ උපකොන්ත්‍රාත්කරු වන්නේ එලෝන් මස්ක් ය. ඔහුට අයත් Space X සමාගම නාසා ආයතනය වෙනුවෙන් රොකට් නිපදවා, ඒවා ගුවන්ගත කර මුදල් උපයා ගනී. ට්‍රම්ප් එම කොන්ත්‍රාත්තුව එලෝන් මස්ක්ට දුන්නේ, නාසා එකට වඩා ලාබෙට මස්ක් වැඩේ කරන නිසා ය. කෙසේ වුවද මේ දෙදෙනා විරසක වීම නිසා ඇමෙරිකාවේ ආර්ථික අනාගතය යම් ප්‍රමාණයකින් අඳුරු වී තිබේ.
ඇමෙරිකාව දශක ගණනාවක් තිස්සේම තම රටට පිටරටින් බඩු එවන අයගෙන් අය කළේ ඉතා කුඩා බද්දකි. ලෝකයේ විශාලතම සහ ධනවත්ම ආර්ථිකය ඇති රට වුවද ඇමෙරිකාව පසුගිය අවුරුදු විස්ස තුළ ඉතාම කම්මැළි රාජ්‍යයක් බවට පත්විය. ඒ අනුව තම රටේ නිෂ්පාදනය කළ හැකි දෑ බොහොමයක් නිෂ්පාදනය කිරීම අත්හැර දැමූ ඔවුහු පිටරටින් බඩු ගෙන්වමින් ඒවායින් ජීවත් වෙන්නට පටන්ගත්හ. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ ප්‍රධානතම වෙළෙඳ නගරය වන නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ කිසිමදෙයක් නිෂ්පාදනය කරනු නොලැබේ. ඒ ප්‍රාන්තයේ සිදුකරන්නේ පිටරටින් ගෙනෙන දේවල් ගිල දැමීම පමණි. ඊට අමතරව චීනයෙන් සහ වෙනත් රටවලින් ගෙන්වන ඉලෙක්ට්‍රොනික් බඩු ද, බෙහෙත් වර්ග ද, සෙල්ලම් බඩු ද, ඇඟලුම් ද, ආහාරපාන ද ඕනෑ තරම් නිව්යෝර්ක් නගරයේ තිබේ. මෙහෙම ගියොත් ඉදිරි අවුරුදු 50 න් පසු ඇමෙරිකාව සම්පූර්ණයෙන්ම හිඟමනට වැටෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් දුටුවේය. ඔහු ඇමෙරිකාවට බඩු එවන අයගෙන් ලොකු බද්දක් අය කිරීමට තීන්දු කළේ මේ නිසාය. ඒ සමගම බඩු මිල ඉහළ යන බැවින්, ඇමෙරිකානුවන් ලවා එම භාණ්ඩ ඇමෙරිකාව තුළම නිෂ්පාදනය කිරීම ට්‍රම්ප්ගේ අදහස විය. මේ අනුව බලයට පැමිණි වහාම ඇමෙරිකාවේ ආනයන බද්ද 40% දක්වා වැඩිකිරීමට ට්‍රම්ප් තීන්දු කළේය. මෙය ඇමෙරිකාව විසින් ඉරානයට දමන ලද බෝම්බවලට වඩා දරුණු ප්‍රහාරයකි. ඒ බෝම්බ ප්‍රහාර වැදුණේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පමණි. එහෙත් ට්‍රම්ප්ගේ බදු වැඩිකිරීම නිසා ලෝකයේ රටවල් 180 කට හොම්බටම වැදිණ. මෙය දරාගැනීමට අපහසු නිසා සියලුම රටවල් වෙන් වෙන් වශයෙන් ඇමෙරිකන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රධානීන් සමග සාකච්ඡා කර, ආනයන බදු අඩු කරන ලෙස ඉල්ලා සිටියේය. ලංකාවේ ජේ.වී.පී., එන්.පී.පී. ආණ්ඩුව මේ සාකච්ඡා ක්‍රියාවලියේ දී කිසිම දෙයක් නොකළ බව විපක්‍ෂය කියයි. විපක්‍ෂය එසේ කීව ද ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පෙරමුණේ තබාගෙන ගොස්, ඇමෙරිකන් ආර්ථික ප්‍රධානීන් සමග සාකච්ඡා කර, ආනයන බදු අඩු කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ට්‍රම්ප් බදු වැඩි කළේ, ඒවා අඩුකරන ලෙස ඉල්ලූ සැණින් අඩු කිරීමට නොවේ. අප මුලින් ද කිවූ පරිදි ට්‍රම්ප්ගේ අරමුණ ස්වයංපෝෂිත රාජ්‍යයක් බිහි කිරීම ය. වැඩි කරන ලද ආනයන බද්ද නිසා ඇමෙරිකාවට විශාල ආදායමක් ද ලැබෙනවා ඇත. හැබැයි මේ කාරණයේ දී ඇමෙරිකාව වැදගත් යමක් කර තිබේ. එනම් ඔවුන්ගෙන් න්‍යෂ්ටික බලාගාර, යුද අවි, ප්‍රහාරක යාත්‍රා යනාදිය ලබාගන්නා රටවල ආනයන බදු අඩු කිරීමය. මේ අනුව ඇමෙරිකාවෙන් පෙර කී භාණ්ඩ මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇති වියට්නාමයෙන් අයකරන ආනයන බද්ද 20% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර ඇත. ට්‍රම්ප්ගෙන් අපට ලැබෙන ලියුම කිසිසේත්ම හොඳ ලියුමක් නොවේ. එසේ නම් අප කළ යුත්තේ මේ නරක ලියුම හොඳ ලියුමක් බවට පරිවර්තනය කර ගැනීමය. අප දැනට ඇමෙරිකාවට වැඩියෙන්ම යවන්නේ ඇඟලුම් ය. ඇමෙරිකාව අපගේ විදේශ වෙළෙඳපොළේ මර්මස්ථානයක් ලෙස තබා නොගෙන වෙනත් රටවල්වලට ද අපේ බඩු යවමින් අලුත් වෙළෙඳපොළවල් ගැන ලංකාව උනන්දු විය යුතුය. ඒ විදිහට වැඩකළොත් ඉදිරි අවුරුදු විස්සේ දී අපට ගොඩ ආ හැක.