මේ රටේ සිදුවන මිනීමැරුම් ගැන වැඩියෙන්ම වාර්තා වූයේ තිස් අවුරුදු යුද සමයේදී ය. ඒ කාලයේ දී මේ රටේ ආණ්ඩුවේ පත්තර හැර පෞද්ගලික අංශයට අයත් හැම පත්තරයකම ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ බෝම්බ පිපිරීමකි. එල්.ටී.ටී.ඊ. ය විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීමකි. කොටින් විසින් පැහැරගෙන ගොස් මරා දැමීමකි. නැතහොත් එකපෙළට තබා මන්නවලින් කැපීමකි. යුද්ධයෙන් පසු ඒ මිනීමැරුම් යට ගිය අතර ඉඳහිට කුමක් හෝ පෞද්ගලික කාරණයක් හේතුවෙන් කෙනකු විසින් තවකකු මරනු ලැබීම පුවත්පත්වල පළ විය. එහෙත් දැන් මාස කිහිපයක සිට නිතිපතාම පාහේ පුවත්පත්වලත්, රූපවාහිනියේත් ප්‍රධාන ප්‍රවෘත්තිය බවට මිනීමැරුම් පත්වී ඇත. අපට දැනගන්නට ලැබී ඇති අලුත්ම පුවත වන්නේ කඳාන පොලිසිය ළඟ පත්තු වූ වෙඩිල්ල ය. එය තබා තිබුණේ හිටපු ඇමැති මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු වූ සමීර මනහර හෙවත් වැලි සමීරට ය. එහෙත් වෙඩිල්ල වැදී තිබුණේ වැලි සමීරගේ මස්සිනා වූ උපාලි කුලවර්ධනට ය. මේ වෙඩි තැබීමෙන් මස්සිනා මළ නමුත් වැලි සමීර බේරිණ. ඝාතකයන් පැමිණ තිබුණේ යතුරුපැදියකිනි. වෙඩි තබා තිබුණේ ටී 56 තුවක්කුවකිනි. මෙය ප්‍රමිතිගත තත්ත්වයක් බවට පත්ව තිබේ. එනම් මෝටර් රථයක ගමන් කරන අයට කවුරු හෝ වෙඩි තබන්නේ නම් නිතරම ඒ වෙඩි තැබීම සිදු කරන්නේ යතුරුපැදියකින් පැමිණෙන දෙදෙනකු විසිනි. එකෙක් යතුරුපැදිය පදවන අතර අනෙකා වෙඩිල්ල තබයි. ඒ සඳහා නිතර පාවිච්චි කරන්නේ ටී 56 තුවක්කුවකි. දැනට ආරංචි වී ඇති පරිදි මේ වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින සිංහල හෝ මුස්ලිම් පාතාලය විසිනි. පාතාලය නිකන් මිනිසුන් මරන්නේ නැත. ඔවුන් නිතරම ඝාතනය කරන්නේ එක්කෝ තමන්ගේ ගනුදෙනුකරුවන් ය. ගනුදෙනුකාරයා කුඩු පාතාලයට පොල්ලක් තැබුවොත් වෙඩිල්ල ෂුවර් ය. එසේම කිසියම් කෙනකු කුඩු පාතාලයට විරුද්ධ වන විට ඔහුට ද වෙඩිල්ල ෂුවර් ය.
පසුගිය මාස කිහිපය තිස්සේ නිතිපතාම මිනිස්සු ඝාතනය වූහ. මේ ඝාතන වැඩිහරියක් පිටුපස පාතාලය සිටියේ ය. ඇතැම් ඝාතනයක හේතුව වූයේ පෙම් හබයකි. මෙයට මාසයකට පමණ පෙර උතුරේ මිනීමැරුමක් සිදු විය. පාසල් ගුරුවරියක් උසස් පෙළ පන්තියේ ශිෂ්‍යයකු සමග ප්‍රේමයෙන් වෙළී සිටියා ය. ඔවුන් අතර ශාරීරික සම්බන්ධතා ද ඇති විය. පසුව තරුණ ශිෂ්‍යයා සාමාන්‍යයෙන් පිරිමින් වැඩිදෙනා කරන පරිදි පෙම්වතිය මගහැරීමට තීරණය කළේය. ඒ බව ඇයට දන්වන ලද කල්හි ඇය තමා නිසා ගැබ්ගෙන ඇති බව තරුණ ශිෂ්‍යයාට දැනගන්නට ලැබිණ. මේ වන විට කාන්තාවගේ සැමියා ද මේ පෙම් හුටපටය දැන සිටියේ ය. දිනක් සිය බිරිඳ මෝටර් සයිකලයට නංවාගත් සැමියා කැලෑ මණ්ඩියකට ගොස් ඇය මරා ගෙල ශරීරයෙන් වෙන් කොට පොලිසියට ගොස් භාර විය.
ලංකාවේ ගමන්මඟ කිසිසේත්ම සදාචාරසම්පන්න නොවන බව මේ සිද්ධියෙන් පෙනී යයි. ගුරුවරිය සිය ශිෂ්‍යයා සමග ඇඳට යෑම යුරෝපයට හුරු වුවද ලංකාවට හුරු නැත. යුරෝපයේ දැනට සිටින එක්තරා තරුණ ජනාධිපතිවරයකු පවා විවාහ වී සිටින්නේ තමාට වඩා අවුරුදු තිහක් පමණ වැඩිමහලු වූ තම ගුරුවරිය සමග ය. එහෙත් ලංකාවේ ගුරු-ශිෂ්‍ය ප්‍රේමය සලකනු ලබන්නේ උල තැබිය යුතු සිද්ධියක් ලෙසිනි. මෙහිදී ගුරුවරයකු ශිෂ්‍යාවක් සමග පෙමින් වෙළී ඇය විවාහ කර ගැනීම ලොකු කේස් එකක් සේ සලකනු නොලැබේ. එහෙත් ගුරුවරියක් තම සිසුවා සමග පෙම් කිරීම හෝ ඔහු සමග විවාහවීම ඉතා දරුණු අපරාධයක් සේ සලකනු ලැබේ. අපේ සදාචාරය වෙනස් එකකි. මෙය තනිකරම පදනම් වී ඇත්තේ සිංහල බෞද්ධ පදනම සහ සාම්ප්‍රදායික සිතුම් පැතුම් මතය.
මීට දින කිහිපයකට පෙර තරුණයන් දෙදෙනකු පැහැරගත් කුඩු ජාවාරම්කාරයන් පිරිසක් ඔවුන්ගේ අත්වලට මාංචු දමා බිම දණගස්වා වෙඩි තබන ලදී. මෙයින් එක් තරුණයෙක් මියගිය අතර අනෙකා තුවාල ලැබ බේරුණේ ය. තුවාල ලබා බේරුණු තැනැත්තා කුඩුවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ කෙනකු බව දැනගන්නට තිබේ. එසේ නම් කුඩුවලට විරුද්ධවීම මරණයට හේතුවකි යන න්‍යාය මේ වනවිට මේ රටේ ගොඩනැඟී ඇත. මේ තත්ත්වයෙන් අප එළියට එන්නේ කවදා ද?