(නූතන මනුෂ්‍ය ඝාතන පිළිබඳ ශේෂපත්‍රයක්)
2025 ජූලි මස 06 වැනිදා ඉරිදා
ලංකා ඉතිහාසය දෙස බලන විට ප්‍රබල මනුෂ්‍ය සංහාර අවස්ථා 4ක් හෝ 5ක් දැකගැනීමට හැකිය. 1818 කැරැල්ල, 1971 කැරැල්ල, 88/89 භීෂණය සහ තිස් අවුරුදු යුද්ධය මෙකී අවස්ථා අතරින් ප්‍රමුඛතාවයක් හිමිකරගෙන තිබේ. එසේම තිස් අවුරුදු යුද්ධය තුළ වෙන වෙනම මනුෂ්‍ය සංහාර රැසක් දැකගත හැකිය. පිටකොටුවේ බස් නැවතුම්පළ අසල බෝම්බය, මහ බැංකු බෝම්බය, මරදානේ බෝම්බය, කෝකිලායි – නයාරු යන ධීවර දූපත්වල සංහාරය, මොඩ්ල් ෆාම් සංහාරය, අරන්තලා භික්‍ෂු සංහාරය යනාදිය තිස් අවුරුදු යුද්ධයේ ප්‍රධාන සංහාරක අවස්ථා වෙති. ඒ අනුව යුරෝපයේ බොහෝ රටවල්වලට සාපේක්‍ෂව බලන කල ශ්‍රී ලංකාවට මිනීමැරීම ඉතා පුරුදු ය. එහෙත් 1948 න් පසු 1971 දක්වා ගතවූ යුගය තුළ අපේ ජනතාවට මිනීමැරුම නමැති සමාජ සංසිද්ධිය අමතක විය.
1960 ගණන්වල අගභාගයේ දී දැදුරුඔයේ මළසිරුරක් පාවිය. මේ මළසිරුර නිරුවත් කාන්තා මළසිරුරකි. එහි තිබුණේ කඳ පමණකි. බෙල්ලෙන් උඩ කොටස අතුරුදන්ව තිබිණ. ඒ බෙල්ල හෝ මිනීමරුවා කවදාවත් පොලිසියට හසුවුණේ නැත. මෙය ලව් හුටපටයක් නිසා ඇති වූ ඝාතනයක් බවට සැකකරන ලදී. මේ කියන කාලයේ දී ලංකාවේ කාන්තාවන් දැදුරුඔයේ මළමිනියට කොතරම් බිය වූයේ ද යත් ස්නානය කිරීමට පවා දැදුරුඔයට බැසීමට බිය වූහ. එහෙත් 71 කැරැල්ලේ දී මිනීමැරීමේ භය මිනිසුන් කෙරෙන් අතුරුදන්ව ගියේය. 30 අවුරුදු යුද්ධය පටන්ගත් විට මිනීමැරීම ඉතා සරල කාරණයක් බවට පත් විය. 88, 89 භීෂණයේ දී මහපාරවල් මැද පුළුස්සා දමා තිබුණු තරුණ තරුණියන්ගේ මළසිරුරු උඩින් පැනයෑමට අපට පුරුදු විය. 2009 දී මහින්ද රාජපක්‍ෂ යුද්ධය නිම කළ පසු මිනීමැරුම් ක්‍රමයෙන් යට ගිය බැවින් අපේ ජනයා නැවත වතාවක් මිනීමැරුම්වලට බය වූහ.
වසර 2008 දී රත්නපුරේ කොටකෙතන නමැති ගමේ දී කාන්තාවක් අභිරහස් ලෙස මරණ ලදී. එම ඝාතනයෙන් පසු 2015 දක්වා තවත් කාන්තා ඝාතන 18 ක් කොටකෙතන දී සිදුවිය. එයින් වැඩිදෙනා මරා දමා තිබුණේ පිහිවලින් ඇනීමෙනි. තව කට්ටියකගේ ගෙල කපන ලදී. තවත් සමහර ගැහැනු මරා දමනු ලැබීමට පෙර දූෂණය වූහ. මේ ඝාතන රැල්ලේ විභවය කොතරම් දරුණු වී ද යත් කොටකෙතන ගමේ ඉඩම් මිල පවා ලෙල්ලටම පහළ බැස්සේ ය. කොටකෙතන ගමේ කිසිවකු පදිංචියට යන්නේ නම් මෙයට අවුරුදු සියයකට පෙර සිරීපාදේ ගියාක් බඳුව අන්තිම කැමැත්ත ලියා යා යුතු මට්ටමක් ඇති විය. කොටකෙතන සිද්ධියේ විශේෂත්වයක් තිබේ. මේ ඝාතන එකක්වත් එකින් එකට සම්බන්ධ වූ ඝාතන නොවේ. මේ ඝාතන සියල්ලම එකම කණ්ඩායමක් විසින් කරනු ලද්දේ ද නොවේ. එනම් මේ ඝාතන Network killing යන කැටගරියට නොවැටෙන ඝාතන සමූහයකි. එසේම කොටකෙතන ඝාතන රැල්ල අහම්බයකි. අන්තිමේ දී මේ ඝාතන රැල්ල නැවැත්වීම සඳහා වාස් ගුණවර්ධන නමැති නියෝජ්‍ය පොලිස්පතිවරයකු කොටකෙතනට බැස්සවීමට ආණ්ඩුවට සිදුවිය. නියෝජ්‍ය පොලිස්පති වාස් සෙල්ලම් භාණ්ඩයක් නොවේ. ඔහු පිස්තෝලය ද ඉනේ ගසාගෙන තනිවම ජීප් රියේ නැඟී කොටකෙතන හරහා ගමන් කරන විට පළාතේ විසූ චණ්ඩින්ගේ බඩදිය බැහැරවුණු බවට කටකතා ඇත. වාස් ගුණවර්ධන විසින් අත්අඩංගුවට ගන්නා මැරයන් පොලිසියට ගෙන යන ලද්දේ පයින්ම ය. එයට හේතුව ඔවුන් ජීප් එකේ ගෙනිච්චොත් ජීප් එක සෝදන්නට වීමය.
30 අවුරුදු යුද්ධය නිමවීමෙන් පසු මේ රටේ මිනීමැරුම් ක්‍රමයෙන් අඩුවෙන්නට පටන් ගත්තේ ය. එහෙත් පාතාලය හිස ඔසවා තිබිණ. ඒ නිසා කොන්ත්‍රාත් මිනීමැරුම් බහුලව සිදු විය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටිය දී පාතාලය වනසා කුඩු විනාශ කරන ලදී. මේ නිසා කුඩු නැතිව සික් එක හැදුනු කුඩ්ඩෝ රට පෙරළමින් පිස්සු කෙළිනු දක්නා ලදී. ඊට පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ පාතාලය නැවත වරක් හිස ඔසවනු දක්නා ලදී. ගෝඨාභය බලයට පත්වූ විට පාතාලය යළි හකුලා ගත්තේය. ජේ.වී.පී., එන්.පී.පී. ආණ්ඩුව බලයට පත්වූ පසු පාතාලය ඉතා භයානක ලෙස හිස ඔසවන්නට පටන් ගත්තේ ය. මේ දිනවල සාමාන්‍යයක් වශයෙන් ගත් කල හැමදාකම පාහේ ලංකාවේ කොහේ හෝ තැනක වෙඩි තැබීමක් සිදුවෙයි. එසේම සාමාන්‍යයක් වශයෙන් ගත් කල හැමදාම වාගේ කවරකු හෝ ඝාතනය කරනු ලැබේ. මෙසේ ඝාතනය වන වැඩිදෙනා කවර හෝ ආකාරයකින් කුඩු බිස්නස් එකට සම්බන්ධ අය වෙති. එසේම කුඩු බිස්නස් එකට කිසිදු සම්බන්ධයක් නැති ව්‍යාපාරිකයෝ ද කුඩුවලට විරුද්ධ කණ්ඩායම් ද පාතාලය විසින් විටින් විට ඝාතනය කරනු ලැබේ. සමහර විට ආණ්ඩුවේ අත්වල ලේ තවරා නොගෙන පාතාලයේ අත්වලම ලේ තැවරීමට ඉඩ දී මේ ආකාරයෙන් කුඩ්ඩන් සංහාරය වීම ගැන ආණ්ඩුව තුළ කිසියම් කැමැත්තක් තිබේ දැයි අපි නොදනිමු. සාමාන්‍යයෙන් අවිගත් එකා අවිවලින්ම නැසෙතැයි පිළිගැනීමක් තිබේ. ඒ අනුව කුඩු ගත්ත එකා කුඩුවලින්ම මියයෑමේ වරදක් නැත. එහෙත් මැරෙන එකා මොකා වේවා ඒ මිනීමැරුම් පාතාලය හෝ වෙනත් මැර කණ්ඩායම් අතින් සිදුවීම සුදුසු නැත. ශිෂ්ට සම්පන්න රටක මිනීමැරීමට බලය ඇත්තේ නීතියට පමණි. කෙනකු මරණයට පත් කළ යුතු බව තීන්දු කරන්නේ උසාවියයි. එය ක්‍රියාත්මක කරන්නේ අලුගෝසුවා ය.