සාමාන්‍ය ලෝක පුරුද්දට අනුව (සංසාර පුරුද්ද නොවේ) සෑම අවුරුදු දසදහසකට වරක්ම හිම යුගයක් හටගනී. සෑම අවුරුදු හාරසීයකට වරක්ම අර්ධ හිම යුගයක් හටගනී. මීට අවුරුදු දසදහසකට පෙර හිම යුගයක් හටගත් බවට ලංකාවෙන් ද සාක්‍ෂි සොයාගෙන ඇත. අවුරුදු හාරසියයකට පෙර හටගත් හිම යුගය ගැන අතින් අඳින ලද පින්තූර කැනඩාවේ කෞතුකාගාරවල තිබේ. ඒ අතීතය පිළිබඳ කතාවයි. වර්තමානය පිළිබඳ තත්ත්වය මෙසේය. අටකාමා නමැති කාන්තාරයක් ලෝකයේ තිබේ. මෙය වර්ග සැතපුම් 1500 කට වඩා විශාල ය. එහි වැලි නැත; ඇත්තේ බොරලු තට්ටුවක් බඳු පාෂාණ පමණි. මීට සති කිහිපයකට පෙර ලෝක ඉතිහාසයේ මුල් වතාවට මේ කාන්තාරයට දරුණු හිමපතනයක් ඇති විය. ඊළඟට සහරා නමැති කාන්තාරය මේ දිනවල වනාන්තරයක් බවට පත් වෙමින් පවතී. කාන්තාරයක් වනාන්තරයක් බවට පත්වීම කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවේ. එසේ වන විට ලෝකයේ වෙනත් තැනක කාන්තාරයක් පහළවීමට පටන්ගනී. අටකාමා කාන්තාරයට හිම වැටෙන විට ලෝකයේ වෙනත් තැනක හිමපතනය නවතී. ලෝකයේ දේශගුණික තත්ත්වයන් මෙසේ වෙනස්වීම ඉතාම භයානක ය. ඉදිරි වසර සියය තුළ ලෝකය කවර හෝ ආකාරයක කණපිට ගැහිල්ලකට ලක්වන බව පරිසර විiාඥයන්ගේ අදහස වේ. මේ ගැන තවදුරටත් පර්යේෂණ කිරීම සහ උනන්දු වීම ජනතාවගේ වගකීමකි.
තායිලන්තයේ ව්‍යවස්ථාදායක උසාවිය විසින් ලබාදුන් වැදගත් නඩු තීන්දුවක් ගැන සාකච්ඡා කිරීම දැන් අපගේ අදහස ය. තායිලන්තයේ අගමැතිවරියගේ එම තනතුර එම උසාවිය මගින් තහනම් කරන ලදී. එයට හේතුව තායිලන්ත අගමැතිවරිය කාම්බෝජයේ හිටපු ඒකාධිපති නායකයා වන හුන් සෙන් සමග පවත්වන ලද දුරකථන සංවාදයක හඬපටය ලීක්වීමය. (මේ අගමැතිනිය අද සිටින ප්‍රියමනාපම ආකර්ෂණීය තැනැත්තියකි.) මේ සංවාදයේ දී තායිලන්ත අගමැතිනිය විසින් කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇත්තේ ‘අංකල්’ යනුවෙනි. එසේම අගමැතිනිය තායිලන්තයේ වර්තමාන හමුදාපතිගේ ක්‍රියාකලාපය, මේ කියන අංකල් සමග විවේචනය කර තිබේ. මේ නිසා තායිලන්ත වැසියෝ මහත් සේ කුපිතව සිටිති. කාම්බෝජය යනු දරුණු ඉරණමක් සහිත රටකි. 1970 ගණන්වලදී මේ රටේ පාලන බලය අල්ලාගත් පොල්පොට් නමැති කොමියුනිස්ට් අන්තවාදියා රටේ ජනගහනය අඩු කිරීම සඳහා දශලක්‍ෂයක් පමණ ඝාතනය කළේය. රටක් සංවර්ධනය කිරීමට නම් පවුල නමැති ඒකකය කඩා බිඳ දැමිය යුතු බවට න්‍යායක් කොමියුනිස්ට් මතවාදයෙහි එයි. එහි න්‍යායාත්මක අදහස වන්නේ මුළු ලොවම එක පවුලක් විය යුතු බවය. එනම් අම්මා කෙනකුට තමන්ගේ දරුවන් පමණක් නොව අන් අයගේ දරුවන් ද දරුවන් විය යුතුය. හැම කෙනකුම තවකෙකුගේ සහෝදරයකු හෝ සහෝදරියකි. හැම පියෙක්ට හැම දරුවකුම අයත්ය. මෙය සමානාත්මතාවය පිළිබඳ සංකල්පයකි. මෙවිට එකිනෙකා ගැන දැඩි මානසිකත්වයකින් සිටීමට හැමටම පුළුවන. පොල්පොට් මේ මතවාදී න්‍යායට භෞතික ස්වරූපයක් ලබාදුන්නේ ය. ඒ අනුව ඔහු කාම්බෝජයේ සිටි සියලුම පවුල් විසුරුවා එම සාමාජිකයන් විවිධ පළාත්වලට ගෙනගොස් දැම්මේ ය. මේ අනුව තාත්තා යාපනයේ සිටින අතර, පුතා සිටින්නේ කොළඹ ය.
අම්මා සිටින්නේ නුවර ය. නංගී සිටින්නේ දෙවුන්දරතුඩුවේය. මල්ලී සිටින්නේ නාගදීපයේය. පොල්පොට් නමැති පිස්සා මේ විකෘතිය කළ විට මිනිස්සු එයට විරුද්ධ වූහ. එවිට චීනයෙන් ෂොපින් බෑග් දශලක්‍ෂයක් ඇණවුම් කළ පොල්පොට් තම මතයට විරුද්ධ වූ සියලුම දෙනාගේ දෑත් පිටුපසට තබා බැඳ ඔළුවට ෂොපින් බෑග් එකක් දමා බෙල්ල ළඟින් ගැටගැසීමට හමුදාවට නියෝග කළේය. මෙවිට එම දණ්ඩනයට ලක්වූ ජනයා හුස්ම ගැනීමට බැරිව මියගියහ. පොල්පොට් චීනයෙන් ෂොපින් බෑග් ගෙනාවේ, වෙඩි තබා මිනිසුන් ඝාතනය කළොත් වෙඩි උණ්ඩවලට වැඩි වියදමක් යන නිසාය. පොල්පොට්ගේ අතීතයට සමාන ගතිලක්‍ෂණ හුන් සෙන් අංකල්ට ද තිබිණ. තායිලන්ත වැසියන් වර්තමාන අගමැතිනියට විරුද්ධ වන්නේ එම දුෂ්ටයාට නෑකම් කීම නිසාය.
ඊළඟට අපි යාපනයෙන් අසන්නට ලැබුණු වැදගත් නඩු තීන්දුවක් ගැන විස්තර කරමු. යාපනයේ වාතාශ්‍රය දූෂණය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ගරු අධිකරණය තීන්දුවක් දී ඇත. ප්‍රාදේශීය වශයෙන් වායු දූෂණය හටගැනීම ලංකාව තුළ ක්‍රමානුකූලව ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. දැනට මහනුවර නගරයේ වාතය අතිශයින්ම දූෂණය වී තිබේ. ඒ අතර කොළඹ නගරයේ වායු දූෂණය ද ඉතා වැඩි ය. හරියාකාරව පර්යේෂණයක් කළොත් ලංකාවේ වායු දූෂණයේ තරම සොයාගැනීමට පුළුවන. වායු දූෂණයට ප්‍රධාන හේතුව වන්නේ කාබන් මොනොක්සයිඩ් වායුව යි. කම්හල්වලින් ද බස්වලින් ද වෙනත් රථවාහනවලින් ද කාබන් මොනොක්සයිඩ් වායුව නිකුත් වෙයි. ඊට අමතරව ටයර් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිලිස්සීමෙන් ද කාබන් මොනොක්සයිඩ් වායුව නිකුත් වේ. ඒ මදිවාට හිටපු ගමන් ඉන්දියාව පැත්තෙන් එන දූෂිත වායුව නිසා අපේ පරිසරය හානියට පත් වෙයි. ඉන්දියාවෙන් එන වායු දූෂණය නැවැත්වීමට අපට තබා ඉන්දියාවටත් බැරිය. ඒ රටේ නවදිල්ලිය ද චීනයේ බෙයිජින් අගනුවර මෙන් වායු දූෂණය නිසා අර්බුදයකට මුහුණපා තිබේ. එහෙත් අපේ රට තුළ තිබෙන වායු දූෂණය වළක්වා ගැනීමට ජනතාවගේ මට්ටමෙන් ක්‍රියාත්මක වීමට පුළුවන. යාපනයේ වායු දූෂණය වළක්වාලීම සඳහා පියවර ගැනීම පිණිස නියෝගයක් දුන් ගරු අධිකරණයට අපි හිස නමා ආචාර කරමු. එසේම තායිලන්තයේ ව්‍යවස්ථාදායක උසාවියට ද අපගේ ගෞරවය හිමි වේ.