වත්මන් දරු පරපුර එළවළු, පලතුරු පරිභෝජනයෙන් වේගයෙන් ඈත්ව යන බවත් මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ප්‍රජාව අවධානය යොමුකරමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආකල්පමය වෙනසක් කඩිනමින් ඇතිකර ගත යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 2025 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වූ ජාතික සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
සෑම වර්ෂයකම ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෝෂණය සම්බන්ධයෙන් ජයග්‍රහණය කළයුතු අභියෝගවලට මුහුණ දීමට සුදුසුම අමාත්‍යාංශය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනමාධ්‍ය විෂයට සැළකිය යුතු කාර්ය භාරයක් පෝෂණ විෂයෙහි ඉටු කිරීමට තිබෙන බව ද, මාධ්‍ය ආයතන මගින් විකාශනය කරනු ලබන ප්‍රවෘත්ති, විද්වත් වැඩසටහන් පමණක් නොව විකාශනය වන සියලු වැඩසටහන් තුළ පෝෂණය සම්බන්ධයෙන් නිවැරදි පණිවුඩ ජනතාව අතරට ගෙන යෑමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ලටම ආරාධනා කරන බවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ගතයුතු බවත්, එවැනි වැඩපිළිවෙළක් වසර කිහිපයක් අඛණ්ඩව දියත් කළ හොත් මෙරට පෝෂණය සම්බන්ධ විෂයට අදාළව උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසී ය.
පෝෂණය යන විෂය සෞඛ්‍ය අංශයට පමණක් සම්බන්ධ විෂයක් නොවන බවත්, එය අමාත්‍යාංශ ගනණාවක මැදිහත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර කරගත යුතු විෂයක් බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

“එළවළු පලතුරු – සුවදෙයි නිරතුරු” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර ඇත. මෙම තේමාව යටතේ ප්‍රධාන පණිවුඩ හතරක් හඳුනාගෙන එය සමාජගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ප්‍රධාන පණිවුඩ හතර නම්, දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග දෙකක් පරිභෝජනය කරන්න, එළවළු සහ පලතුරු සකස් කිරීමේ දී ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂා වන අයුරින් සකස් කර ගැනීම සිදු කරන්න, සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වශයෙන් හැකි සෑම විටම එළවළු සහ පලතුරු ආහාරයට ගන්න සහ දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පලතුරු තෝරා ගන්න යන කරුණු වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් යන මහත්වරුන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් පෝෂණවේදීන්, හෙද හෙදියන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් පිරිසක් ද සහභාගි වූහ.