ජේ. ආර්. ජයවර්ධන, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි ප්‍රභූවරු පාවිච්චි කළ වාහනත් මගේ ළඟ තිබෙනවා
අශ්ව කරත්තයේ ඉඳන් ගුවන් යානාව දක්වා හැම වාහනේකම වගේ උපාංග මම එකතු කරල තියනවා
එකතු කරනවා වගේම වාහන ගැන කාට හරි කියලා දෙන්නත් මං බොහොම කැමතියි…
“පොඩි කාලේ මම ආසාවට වාහනවල පොඩි පොඩි කෑලි එකතු කළා. ඒ ආසාව කාර් එකතු කරන ආසාව බවට පෙරළුණා. පොඩි කාලේ ඉඳන් මේ වෙනතුරු වාහන පනහකට කිට්ටුව එකතු කරලා තියෙනවා. අදටත් මම වාහන එකතු කරන්න බොහොම ආසයි…”
මෙහෙම කියන්නේ දොස්තර උපාලි රංජිත් සූරියආරච්චි.
කුඩා කාලයේ පටන් ඔහුගේ විනෝදාංශය වූයේ වාහන එකතු කිරීමයි. කරත්ත, අශ්ව කරත්ත, පුෂ් බයිසිකලයේ සිට නැව්, අහස් යාත්‍රා දක්වා වන සෑම වාහනයකම උපාංග එකතු කිරීමයි. බොනට් ෆ්ලූට්, බැජ්, ට්‍රිම්, ෂෙල්, ග්‍රිල්, එම්බලම්, මැස්කොට්, A A badges, car badges, club badges ආදි සියල්ලම පාහේ වෛද්‍ය උපාලි සූරියආරච්චි මහතා සතුයි.
දැන් කාලෙ දරුවෝ විනෝදාංශයක් විදිහට මොනවා හරි දෙයක් එකතු කිරීමේ කලාව පුරුද්දක් විදිහට කරගෙන යනවා දකින්න හරිම අමාරුයි. ඉස්සර නම් එකතු කිරීමේ පුරුද්ද කලාවක් විදිහට කරගෙන ගිය බොහෝ පිරිසක් ලංකාවේ හිටියා. ඒ අය එකතු කළේ මුද්දර, ටොෆි කොළ, චොක්ලට් කොළ, ඊයම් කොළ, ටොනික් මූඩි, පාට පාට පින්තූර වගේ දේවල්.

වාහන උපාංග, කාර් වගේ දේවල් එකතු කරපු පුද්ගලයෙක් නම් මුණගැහුණේ නැති තරම්. ඒ තරම් දුර්ලභ එකතු කිරීමේ පුරුද්දක් තිබුණේ සූරියආරච්චි මහත්මයාට පමණක් වෙන්න ඕනේ. මොකද කාර් එකතු කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඊටත් වඩා ලංකාවෙ ප්‍රභූ පිරිස් පාවිච්චි කරපු වාහන තමන් සතු කර ගැනීමට තිබුණ ආසාව යථාර්ථයක් බවට පත්කරගත් පුද්ගලයෙක් විදිහට වෛද්‍ය සූරියආරච්චි මහත්මයා හඳුන්වා දෙන්නත් පුළුවන්.
“මගේ උපන් ගම මාතලේ. ඉස්කෝලෙ ගියේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් එලන් සූරියආරච්චි. තාත්තා රොබට් සූරියාරච්චි. අයියලා අක්කලා හය දෙනෙක් මැද මම පවුලේ බාලයා. අම්මගේ සහ තාත්තගේ තාත්තලා දෙන්නම වතු අංශයේ ප්‍රවාහන කටයුතු භාරව වැඩේ කරා ඒ කාලේ.
අම්මගේ තාත්තා ඒ කියන්නේ හෙන්රි ආතර් දිසානායක. ඒ වගේම තාත්තගේ තාත්තා ජේ.එම්. සූරියආරච්චි. ඒ දෙන්නටම ඒ කාලේ කරත්ත තිබුණා, අශ්ව කරත්ත තිබුණා. බස් තිබුණා. කාර් තිබුණා. මාතලේ ඉඳලා ත්‍රිකුණාමලයට ලියුම් ඇරගෙන ගියේ අරගෙන ආවේ සීයලා. හැම සති දෙකකට වරක්ම ඒගොල්ලෝ මාතලේ ඉඳන් ත්‍රිකුණාමලයටත් ත්‍රිකුණාමලේ ඉඳලා මාතලේටත් යනවා එනවා.
තාත්තත් කාර්ලෝලියෙක්. කාර් එකක් දැක්කහම එයත් ඒකෙ තියෙන හැම කොටසක්ම වගේ හොයලා බලලා ඉගෙන ගන්නවා. ඊට එහා අලුතින් එන වාහන ගැන උනන්දු වෙනවා. ඒ ආසාව තාත්ත හරහා මටත් ආවා.


අපේ ගෙදර ඒ කාලේ තිබුණා ඔස්ටීන් සෙවන් කාර් එකක්. තව වොක්ස්වෝල් ටෙන් CE 9599 කාර් එකක්. ඔස්ටින් සෙවන් කාර් එකේ හුඩ් එක බාන්න පුළුවන්. අපි ඉස්කෝලේ ගියේ ඒකේ. තාත්තා ඒකාලෙ වැඩ කළේ බදුල්ලෙ. අපි නිවාඩු කාලයට තාත්තත් එක බදුල්ලේ ගෙදර යනවා. ඒක වතු බංගලාවක්. එතන අපිට ගැරේජ් එකක් තිබුණා. මම ඒ ගැරේජ් එකේ වැඩ කරන දිහා බලාගෙන ඉන්න හරිම ආසයි. හුඟක් වෙලාවට ඒකෙ වැටිලා තියෙන වාහන කෑලි මම අරගෙන එනවා. ඒ කාලේ අපේ ගෙදර අය මට කිව්වේ මජං බාස් කියලා. ඒ තරමටම මම වාහන එක්ක තමයි ජීවත් වුණේ.
එහෙන් අරගෙන ආපු පොඩි පොඩි දේවල් තවමත් මගේ ළඟ තියෙනවා. බවර් බෝල්ට්, මෝටර් සයිකල් හෝන්වල බොත්තම් එහෙම තවමත් තියෙනවා. ඒවට මම අදටත් ආදරේ කරනවා.
පුරුද්දක් කියන එක අතපසු කරන්න බැරි එකක්. වාහනවල විවිධ උපාංග එකතු කරපු මම වාහන එකතු කරන්න කල්පනා කරේ ඉබේටම වගේ. සීයලා තාත්තා වාහන නිතර නිතර අතපත ගාපු නිසා මගේ ආසාව උනේ වාහන ගොඩාක් තියෙන තැනක් හදාගන්න.
ඔන්න ඒකෙ මුල්ම අඩිතාලම වැටුණේ ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් වාහනේ මිලදී ගත්ත මොහොතේ. ඒක තමයි මා සතු වුණ මුල්ම වාහනය. එතන ඉඳන් කාර් ගන්නවා එක එක විදිහට හදනවා, තියාගන්නවා, විකුණනවා… මුල් කාලේ කාර් පහක් විතර එකතු උනහම හරිම සතුටු යි. මොකද ඇත්තටම ඒක තමයි මගේ ආසාව වුණේ….”
ජීවිතේ තීරණාත්මක අවදි කිහිපයක් පුද්ගලයෙකුට තිබෙනවා. ළමා කාලය, තරුණ කාලය, විවාහය. මේ හැම දෙයක්ම ජීවිතේ තීරණාත්මක අවධින්.
සූරියආරච්චි මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වෛද්‍ය නිලධාරිවරයකු ලෙස වතු ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සඳහා නුවරඑළිය උඩුපුස්සැල්ලාව සහ හැටන් යන ප්‍රදේශවල සේවය කළා. වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවත් ඔහු සිය පුරුද්ද අත්හැරියේ නැහැ.
ඔහුගේ විවාහයත් එවැනි තීරණාත්මක අවධියක්. ඔහු 1982 දී නුවරඑළියේ වතු අධිකාරිවරයකුගේ දියණියක් සමග විවාහ වෙනවා. ඇය ගුරුවරියක වන සූසන්. විවාහයෙන් පසුව සූසන් සූරියආරච්චි වන ඇය තම ස්වාමිපුරුෂයාගේ එකතු කිරීමේ පුරුද්දට හවුල් වන්නේ අමුතුම ආකාරයකට.

“නෝනට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. එයා කාර් ගැන වැඩිය අවබෝධයක් නැති කෙනෙක්. කාර්වල වර්ගය අවුරුද්ද ඒවා අඳුනගන්න දන්නේ නැහැ. නමුත් මගේ කාර් එකතු කිරීමේ පුරුද්දට එයා හවුල් වෙන්න කැමතියි. එයා නුවරඑළියේ වැඩ කරන කාලේ දකින දකින ලස්සන පරණ වාහන ගැන මට තොරතුරු ලබාදෙන්න එයා හොඳ උපක්‍රමයක් යොදා ගත්තා. චිත්‍ර අඳින්න පුළුවන් නිසා එයා දකින දකින කාර් එක, කාරෙක තියෙන තැනත් එක්කම ඇඳලා මට එව්වා. මම ඉතින් චිත්‍රය අරගෙන කාර් එක හොයාගෙන යනවා. බොහෝම අවස්ථාවල ඒ කාර් ගන්න මට පුළුවන් වුණා. ඒ වගේ අවස්ථාවල ඇත්තටම නෝනා හුඟක් සතුටු වුණා මොකද ඒ වාහනය ගන්න මග පෙන්වුවේ එයා නේ. පසුකාලීනව අපි මහනුවර ප්‍රදේශයේ පදිංචියට ආවා. එතැනිනුත් නොනැවතී අපි තවදුරටත් කාර් එකතු කිරීම සිදු කළා.”
ආසාවෙන් ආරම්භ කළ පුරුද්ද ඔහු තමන්ගේ අගය වැඩි වන ආකාරයේ කටයුතුවලට යොදන්නට ඔහු නවමානයක් කරා යොමු වූවා. ඒ අනුව ඔහු මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊරියගම වංගුවේ ක්ලැසික්ලයින් නමින් කාර් ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කරනු ලැබුවා.
“Classic Line ප්‍රදර්ශනාගාරයේ කාර් විතරක් නෙවෙයි, වාහන සඳහා එකතු කරන ලද ආම්පන්න හැම දෙයක්ම පාහේ ප්‍රදර්ශනයටත් තැබුවා. මේවා බලන්න බොහෝ දෙනා එතනට ආවා. අනූව දශකයේදී ඇමරිකාවේ තානාපති ඈෂ්ලි විල්ස් තුන් පාරක්ම ආවා. ආගමික නායකයින්, විදේශීය නියෝජිතවරුන් කිහිප අවස්ථාවකදීම වගේ මගේ ප්‍රදර්ශනාගාරයට ආවා. ගංගාරාමේ පොඩි හාමුදුරුවොත් වැඩියා. මේ වගේ කාර් එකතුවක් තියෙන එක ගැන උන්වහන්සේලා හරියට අගය කළා. මේ කාර් ප්‍රදර්ශනාගාරය නිසා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, චෙකොස්ලොවෙකියාව, ජර්මනිය වගේ රටවල මම ගැන කතා වුණා. ඒ ඒ රටවල ඉන්න බොහෝ දෙනා මං ගැන සඟරාවලට පුවත්පත්වලට කතා ලියලා තිබුණා. ලංකාවට යන කවුරු හරි ඉන්නව නම් ඒ ගිය අවස්ථාවක Classic line එකට ගිහින් මේ කාර් ප්‍රදර්ශනය බලන්න කියලා ඒ සටහන්වල දක්වලා තිබුණා… ඒ සඟරා පොත්පත් සටහන් තාම මගේ ළඟ තිබෙනවා.
මගේ ජීවිතයේ තවත් ප්‍රබලතම කාරණයක් තමයි ජේ.පී. ඔබේසේකර මගේ ගෙදර තියෙන ඕපල් කාරෙක හොයාගෙන ආව අවස්ථාව. ඔහු Auto mobile association president විදිහට තමයි ශ්‍රී ලංකාවට ආවේ. Special cars Imported to ceylon from other Countrys කියන ලිපිය ලියන්න තමයි ඔහු ලංකාවට ආවේ. ඒ ලිපියට ඇතුළත් කරලා තියෙනවා ටුවර් වර්ගයේ ඕපල් කාරෙක ගැන. ඒ අදටත් මගේ ගෙදර ඉස්සරහ නවත්තලා තියෙන ඕපල් කාරෙක ගැනයි ලියා තිබෙන්නේ.
ඔය අතරේ පාරෙ අතෑරලා දාලා ගියපු කාර් මම අරගෙන ඇවිල්ල හැදුවා. ඒම අවස්ථා ගොඩක් තිබුණා. ඒක ඇත්තටම අලුත්ම අත්දැකීමක් වගේම හොඳ දැනුමක් ලබන්න පුළුවන් අවස්ථාවක්. ඒව දැකපු කිහිප දෙනෙක්ම මට ඔවුන් සතු තිබුණු වාහන නොමිලේ ලබා දීපු අවස්ථා තිබුණා.
අපේ පවුලේ ලොකු අක්කා ඉස්සර ඉඳලම කාර් එළෙව්වා. එයාට තිබුණේ EY 628 කියන කාර් එක. ඒ කාලේ මාතලේ වෙන කිසිම ගැහැනු කෙනෙක් වාහනයක් එළෙව්වේ නෑ. අක්කා අදටත් ඒ විදිහටම බොහොම ගාම්භීරව වාහන පදිනවා. මට වාහනයක් පදින්න පුළුවන් වුනේ අවුරුදු අටේදි මම එච්චර උස නැති නිසා මට හිනා වෙච්චි අවස්ථා තිබුණා ඒ හිනා වුණේ ආදරේට. කොහොමත් මේ වාහන උපාංග, යාන්ත්‍රික බඩු, යාන්ත්‍රික උපකරණ සමග මේ ගනුදෙනුව හරිම නව්‍ය බවක් ජීවිතේට එකතු කරනවා. එතන තියෙන ලස්සනම දේ තමයි කාලෙන් කාලෙට අලුත් වෙන වාහනවල කොටස් අලුතින් ඉගෙන ගන්න පුළුවන් වෙන එක. එකම ක්‍රියාවලිය වසර කිහිපයකින් තරමක් වෙනස් නවීන තාක්ෂණය යටතේ වෙනස් වන ස්වරූපය. ඒ නිසා මේ ස්පර්ශය හරිම විනෝදජනකයිනේ. යන්ත්‍ර සහ මිනිසා කියන දෙකොට්ඨාසය අතර ඇති සම්බන්ධතාව හරිම පුළුල් කියලා මම විශ්වාස කරනවා.
මගේ කාර් එකතුවේ තිබෙන විශේෂම කාර් තමයි ලංකාවේ ප්‍රභූවරුන් සතුව තිබූ කාර්. ජයවර්ධන මහත්තයා සතුව තිබුණු ජගුවර් එක්ස් ජේ සික්ස්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සතුව තිබුණ EL කාණ්ඩයේ වොක්ස්වැගන් කාර් එක.
ගාමිණී ෆොන්සේකා මහත්මයා සතුව තිබුණ ටුවර් වර්ගයේ මොරිස් මයිනර් එක. ලලිත් කොතලාවල මහතා ළඟ තිබූ ඕපල් වර්ගයේ 4 ශ්‍රී 1 කාර් එක. කොතලාවල පවුල තමයි එක ශ්‍රී එක, දෙක ශ්‍රී එක, තුන ශ්‍රී එක, හතර ශ්‍රී එක කියන මුලින්ම ආපු කාර් සියල්ලම ගත්තේ. ඒ අතරින් මට ගන්න පුළුවන් වුණේ හතර ශ්‍රී එක කියන වාහනය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ළඟ තිබුණු බෙන්ස් කාර් එකත් තියෙන්නෙ මා ළඟ. ඒ දේවල් මට ලබාගන්න පුළුවන් වුණා කියන්නේ හරිම සතුටක්. මොකද අපි කරන වැඩේ සුවිශේෂී බවක් තියෙන්න ඕනේ. ඒ අගය කාටහරි දැනෙන්න ඕනේ. තවත් කෙනෙක් මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. මම මේ කරන වැඩේට වඩා තවත් දියුණු මට්ටමෙන් මේ දේවල් කරනවා නම් ඒක තමයි මගේ සතුට. මේ ජීවිතයේ හරිම විවිධයි. ඒ ඒ කාලෙන් කාලෙට වෙනස් වන ජීවන තත්ත්ව සමග කාර් එකේ වටිනාකම එන්න එන්න වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නේ නැහැ. පරණ කාර් කිව්වහම දැන් තියෙන්නේ වෙනම මාකට් එකක්. මඟුල් ගෙදරක් වෙනත් උත්සවයක් තියෙන අවස්ථාවලදී මේ වගේ අගය තව තවත් වැඩි වෙනවා. මගේ පුතා වුණත් වාහනවලට ආසාවක් දැක්වුවත් මම වගේ කැපවෙලා මහන්සිවෙලා මේ වගේ වැඩ කරන්න කැමැති නැහැ. නමුත් මගෙත් එක්ක මේ ගෙදර තියෙන කාර් ගැන හෝදිසියෙන් අලුත්වැඩියා කරනකොට මහන්සියෙන් කරන්න අතගහනවා. දිගටම පවත්වාගෙන යන්නේ නම් නැහැ. ගැටලුවකට තියෙන්නේ මේවා අලුත්වැඩියා කරන්න විශාල මුදලක් වැය වෙනවා වගේම විශ්වාසදායී ලෙස ඒ කටයුතු කරන්න වාහන හදන පුද්ගලයෝ සීමාසහිත වීම. නමුත් මම හැකි විදියට මේ දේවල් කරගෙන යනවා. අදටත් මගේ මිදුලේ පරණ කාර් හැදෙනවා. මම හදනවා. ඒ නිසා ජීවිතයේ දවසින් දවස අලුත් වෙනවා. දැනුම දවසින් දවස අලුත් වෙනවා.
මේ වගේ පුරුදු කවුරු හරි කරගෙන යනවා නම් ඒ අයට දැනේවි මගේ වචනවල සැබෑ අර්ථය.

සමන්ති වීරසේකර