Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි

14 hours ago
1058 Views

“අපි කළේ නීති විරෝධී වැඩක් – හොර ලේඛනත් හැදුවා”

‘වැරදි නියෝග ක්‍රියාත්මක නොකර මාරු වුණානම් හොඳයි’

පොලිස් පරීක්ෂක කියා දෙන පාඩම

මාතර මහෙස්ත්‍රාත්ගෙන් මනුෂ්‍යත්ව ගැනත් පාඩමක්

රන්මුණි යුවේන් ඇන්සලම් ද සිල්වා වැඩ තහනමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු වැඩ තහනමට ලක්වූයේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමකට අදාළවය. ඒ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලයට අනීතිකව වෙඩි තැබීම සහ එම වෙඩි තැබීමේදී තුවාල ලැබූ නිලධාරියකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඔහු වැඩ තහනමට ලක්වන විට වසර 33ක පමණ සේවා කාලයක් ඔහුට තිබිණු අතර විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ තවත් වසරකින් පමණය.

වසරකින් පමණ විශ්‍රාම යෑමට නියමිතව සිටි ඇන්සලම් ද සිල්වාට අවසානයේ අපරාධ නඩුවක සැකකරුවකු ලෙස අධිකරණයේ කූඩුවට නගින තැනට පත්වූ අතර තමන්ගේ ආයතන ප්‍රධානියාට එරෙහිව යන විමර්ශනයක සාක්කිකරුවකු වීමට ද ඔහුට සිදුවිය. තම ආයතන ප්‍රධානියාට එරෙහි සාක්කිකරුවකු වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඉහළින් ලැබෙන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක නොකර සිටියේ නම් මෙවන් තත්ත්වයක් උදා නොවන බවයි.

ඇන්සලම් ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ බලතල අයුතු ලෙස යොදාගෙන ඇත්දැයි සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් අනුව පත් කළ කමිටුව ඉදිරියේදීය. ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයකු හෝ නීතිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා 2002 වසරේ දී ක්‍රමවේදයක් සකස් කෙරිණි. ඒ 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතයි. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2002 මාර්තු 26 වැනිදා ය. කෙසේ වෙතත් පනත මගින් නිලධාරියකු ඉවත් කිරීමක් කිසිම දිනක සිදුවී නැත. නිලධාරීන් ඉවත් කිරීමේ පනත ලෙස නම සඳහන් වුවද මේ පනත යටතේ ඉවත් කළ හැක්කේ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පමණි.

ඉතිහාසයේ මුල් වරට මෙම පනත අනුව නිලධාරියකු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වූයේ පසුගිය මාර්තු 25 වැනිදාය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිතව කථානායකවරයාට යෝජනාවක් භාරදීමෙන් පසුවය. එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු 2002 අංක 05 දරණ පනත අනුව චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා කමිටුව පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

හෝටලයට වෙඩි ප්‍රහාර එල්ල කරන්න ගොස් වෙඩි කෑ පොලිස් නිලධාරියාගේ දේහයට දේශබන්දු අවසන් ගෞරව දක්වයි

අග්‍රවිනිශ්චකාරවරයා විසින් නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරයෙක්, අගමැති සහ විපක්ෂනායකගේ එකඟත්වය අනුව යෝජනා කරන පුද්ගලයෙක් සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අදාළ විෂමාචාර ක්‍රියා සොයා බලන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ යුතුය. අග්‍රවිනිශ්චයකාර මෘර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් අදාළ කමිටුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පත්මන් සූරසේන මහතා නම් කළ අතර අගමැති සහ විපක්ෂ නායකගේ එකඟත්වයෙන් පත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතාය. නිල බලයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතා කමිටුවට පත්විය.

මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ඔවුන් වෙත සහයෝගය ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා මහතා පත් කරනු ලැබූහ. ඒ අනුව කමිටුවේ කටයුතු ආරම්භ වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත චෝදනාපත්‍ර භාරදීම සිදුවිය. චෝදනාපත්‍ර භාරදීමෙන් පසු සාක්කිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයට භාර දුන් අතර පසුගිය සතියේ සිට ඊට අදාළව සාක්කිකරුවන්ගේ සාක්කි ලබා
ගැනීම ආරම්භ විය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා කමිටුව ඉදිරියේ සාක්කි ලබාදුන්නේ ඒ අනුවය. ඇන්සලම් ද සිල්වා සාක්කි ලබාදුන්නේ ඔහු මෙන්ම දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු වන මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ කැඳවන නඩුවකට අදාළවය. ඒ මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියයි. මේ වෙඩි තැබීමේ සිද්ධියේ දී පොලිසියෙන් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයකින් ඇන්සලම්ගේ කණ්ඩායමේ පොලිස් නිලධාරියෙක් මිය ගියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම මත ඇන්සලම් ද සිල්වා දීර්ඝ ලෙස සාක්කි ලබා දුන් අතර පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතාගේ හරස් ප්‍රශ්නවලට ඔහු පිළිතුරු ලබා දුන්නේය.

ඇන්සලම් ද සිල්වා ලබා දුන් දීර්ඝ සාක්කියේ වැදගත්ම කොටස්වල සාරාංශයක් මෙසේය.

‘මම කොළඹ අපරාධ කොට්ඨාසයට ආවේ 2013 වසරේ ඔක්තෝබර් මාසයේ දී. මගේ වැඩ තහනම් වුණේ 2025.03.06. සේවය අත්හිටුවද්දී පානදුර දකුණ කොට්ඨාසයේ සේවය කරමින් හිටියා. 2023.12.30 දින වන විට මම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස සේවය කරමින් හිටියේ. මා යටතේ අංශ 10ක් පමණ තිබුණා. මට ඉහළින් හිටියේ වැඩබලන අධ්‍යක්ෂ. ඉන් පසු නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හිටියා. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස වැදගත් වැටලීම්වලට සහභාගී වෙනවා.

වැලිගම සිදුවීමට පෙර ජයතිලක මහතා සමග කණ්ඩායමක් වැලිගමට පිටවෙලා ගියා. 30 වැනිදා අපිට යන්න ලෑස්තිවෙන්න කිව්වා. හරක් කටාලා පාතාල කටයුතුවලට ලෑස්ති වෙනවා, එම නිසා වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට ගිහින් එහි තාප්පයටයි බෝඩ් එකටයි වෙඩි තබන්න කිව්වා. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කාර්යාලයේ තිබ්බ සාකච්ඡාවකදියි කිව්වේ. නෙවිල් සිල්වා මහත්මයා එලෙස උපදෙස් දුන්නේ දෙසැම්බර් 30 වැනිදා උදේ 9.30ට විතර.

මේක නීත්‍යනුකූල රාජකාරියක් නෙමෙයි. මේකට තෝරාගත්තු කණ්ඩායමේ මම, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, පොලිස් පරීක්ෂක ගුණසිංහ, උප පොලිස් පරීක්ෂක මධුරංග, සාජන් කුමාර සහ සැරයන් ප්‍රිශාන් හිටියා. ගමන යන්න යොදා ගත්තේ සුදුපාට වෑන් එකක්. ගමන යන්න කලින් මේක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා නිශාන්තට කිව්වා. ඒ අනුව ස්ටිකර් වගයක් ඇලෙව්වා. සුදුපාට වෑන් එක නිල්පාට වගේ වෙන්න ස්ටිකර් ඇලෙව්වා. රෑ 8.00ට විතර තමයි කොළඹින් ගියේ. වාහනයේ අට දෙනෙක් ගියා. මම හිටියේ වාහනයේ පිටුපස ආසනයේ. පිටුපසම ආසනයේ මා සමග තවත් සාජන් කෙනෙක් සහ මේකෙදි මියගිය නිලධාරියා (උපුල්) ගියා. උප පොලිස් පරීක්ෂක මධුරංග ළඟ ටී 56ක් තිබුණා. තවත් අයෙක් ළඟ ටී 56 ක් තිබුණා. මම රාජකාරි පිස්තෝලය අරගෙන ගියා. පොලිස් පරීක්ෂක නිශාන්ත ළඟත් පිස්තෝලයක් තිබුණා.

වාහනය දෙමටගොට සිට මුලින්ම මගේ ගෙදර ගියා. පියාට කෑම එකක් දෙන්න ඕන නිසා මම ගෙදර ගියා. වාහනයේ අංක මාරු කරන්න තීරණය කළා. ඒ අනුව අංක දෙකක් දෙපැත්තෙන් ගැහුවා. අපි ගියේ සිවිල් ඇඳුමෙන්. හෙල්මට් දෙකකුත්, ජැකට් දෙකකුත් වෑන් එකේ තිබුණා. මම හිතුවේ ඒවා පෞද්ගලික ඒවා කියලා. පස්සේ දැන ගත්තේ වෙඩිතියද්දි අඳුරගන්න බැරිවෙන්න දාන්නයි ඒවා ගෙනිහින් තිබ්බේ කියලා. අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙව්වේ පොලිස් පරීක්ෂක නිශාන්ත. මේ ගමනට කෑමබීමවලට වියදම් කළේ නිශාන්ත. අධිවේගී මාර්ගයෙන් එළියට ආවේ රෑ 11.00ට විතර. කොක්මාදුව පිවිසුමෙන් එළියට ඇවිත් අපි ස්ථානය සොයාගෙන ගියා. ඩබ්ලිව් 15 හෝටලයේ අයිතිකරු මුසම්මිල් කියලා මන්ත්‍රීවරයකුගේ පුතෙක්. අපි ටිකක් රෑ වෙනකල් ඉඳලා අලුයම 2.20ට පමණ ගියා හෝටලය තිබෙන තැනට. මදුරංග කියන නිලධාරියා හෝටලය පැත්තට වෙඩි තිබ්බා. වෑන් එකේ තිබ්බේ ඔටෝ දොරක්. දොර ඇරුණම ටී 56 එළියට දාලා වෙඩි තිබ්බේ හෝටලයේ තාප්පයටයි බෝඩ් එකටයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

නෙවිල් සිල්වා සමග තිබ්බ සාකච්ඡාවෙදි මදුරංග කිව්වා මම වෙඩි තියන්නම් කියලා. වෙඩි 8ක් 10ක් විතර තිබ්බා. ඒ වෙලාවේ අනිත් ටී 56 තිබ්බේ උපුල් ගාව. වෙඩි තියද්දි අධික ශබ්දයක් ආවා. මම කන්දෙක වහගෙන ඔළුව නමාගත්තා. ඊට පස්සේ මම යමු යමු කිව්වා. ඒ එක්කම නැවත වෙඩි සද්දයක් ආවා. ඒ අවස්ථාවේ උපුල්ට වෙඩි වැදිලා මගේ පැත්තට වැටුණා. අපි කඩාගෙන ගියා. මධුරංගටත් වෙඩි වැදිලා තිබුණා. අපිට වෙඩි තැබූ කට්ටිය දැක්කේ නැහැ. අපි බිම දිගා වුණා. මම බැලුවා තුවාල වෙලාද කියලා. මමත් අවුට් කියලා තවත් කෙනෙක් කියනවා මට ඇහුණා.

අපි මුලින්ම ඉහළ නිලධාරීන් දැනුවත් කරන්න කටයුතු කළා. නමුත් අධ්‍යක්ෂවරයා අපි වැලිගම එනවා කියා දැනුවත් කර තිබුණේ නැහැ. අපිට තවත් වෙඩි තියයි කියන බයට දුනුසිංහ නිලධාරියා ඉක්මනින්ම අධිවේගී මාර්ගයට යන්න පාර බැලුවා. ඊට පස්සේ එක් අයෙක් බැහැලා වාහනයේ අංක තහඩු වෙනස් කළා. පොලිස් පරීක්ෂක දුනුසිංහ ජංගම දුරකතනයෙන් ගූගල් මැප් බලලා පාරවල් සොයා ගත්තා.

එතන පොලිස් විශේෂ කාර්ය බළකායේ 20ක් විතර හිටපු බස් එකක් තිබිලා තියනවා. ඒ වෙලාවේ බස් එක ස්ටාර්ට් වෙලා නෑ. ඒක ස්ටාර්ට් වුණා නම් සමහර විට අද අපිට සාක්ෂි දෙන්න ඉතුරු වෙන්නේ නැතිවෙයි.

පහුවදා නෙවිල් සිල්වා ඇතුළු කණ්ඩායමක් ඇවිත් කිව්වා වෙන කට්ටියක් වෙඩි තිබ්බේ කියලා කියන්න කියලා. හැමෝම එකම විදිහට කියමු කියලා කිව්වා. ඒ අනුව වැලිගම පොලිසියට සහ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඒකම කිව්වා. මම මහෙස්ත්‍රාත් උසාවියටයි, මුලින්ම සීඅයිඩියට ගිය අවස්ථාවෙදියි බොරු තොරතුරු කිව්වේ. පසුව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් ඇත්තම කිව්වා.

මාගේ වසර 35ක සේවා කාලයේ වසර 32ක කාලයක් කිසිදු වරදකට සම්බන්ධ නොවී රාජකාරි කටයුතු කර තිබෙනවා. තෙවරක් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි කටයුතු සඳහා ගොස් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ මම කනගාටු වෙනවා. නිලධාරීන් දෙන අයහපත් නියෝග නිසා අද වැඩ තහනම් කරලා තිබෙනවා. මට තවම විශ්‍රාම යන්න වසරක කාලයක් තියෙන්නේ. විශ්‍රාම වැටුපත් නොමැති තත්ත්වයට පත්ව තිබෙනවා. මේක අනිත් අයටත් හොඳ ආදර්ශයක්. ඉහළ නිලධාරීන්ගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නම් ස්ථාන මාරුවක් අරං ගියානම් හොඳයි කියලා දැන් තමයි හිතන්නේ’.

දිලීප පීරිස් මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවත් බරපතළ කාරණා කිහිපයක් ඇන්සලම් ද සිල්වා අනාවරණය කළේය. එනම් මියගිය උපුල් නම් නිලධාරියාට පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ 15ක් ලබාදෙන ලෙස ඉල්ලමින් තමා ලියන ආකාරයට ලිපිය සකස් කළේ සහ වව්චරය සකස් කළේ තමන් නොවන බවයි. සිද්ධියෙන් පසු කොළඹ එද්දී දෙසැම්බර් 31 රාත්‍රී 8.20 පමණ වූ බවත් ඒ එන විට අදාළ ලිපි සකස් කර තමාගේ අත්සන තබා තිබූ බවත්, ඒවායේ ඇති අත්අකුරු කවුරුන්ගේ දැයි නොදන්නා බවත් ඔහු කීවේය. එසේම මෙම ගමන ගියේ නිසි අවසරයක් නොගෙන බවත්, පසුව පෙරදාතම කර ඉහළින් අවසර දුන් බවත්, ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ දේශබන්දු තෙන්නකෝන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පොත්පත් නැවත සකස් කළ බවත් ඇන්සලම් ද සිල්වා කීවේය. මෙම සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා පැවරූ රිට් පෙත්සමේ නීතිඥ ගාස්තු ලෙස ලක්ෂ 25ක් ලබා දුන්නේ නෙවිල් සිල්වා බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් සමග ගිය සගයකු මරණයට පත්වීමත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් සමග ගිය සගයා මරණයට පත්වීම ගැනත් තමන් පසුතැවෙන බව කිසිම අවස්ථාවක ඇන්සලම් ද සිල්වා කමිටුව හමුවේ ප්‍රකාශ කළේ නැත. ඔහු පසු තැවුණේ ඔහු වැඩ තහනම් වීම සහ විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානම ගැන පමණි. ඇන්සලම් ද සිල්වා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට (දේශබන්දු සහ ජගත් නිශාන්ත නම් නිලධාරියා හැර) ඇප ලබාදෙන අවස්ථාවේදී මාතර මහෙස්ත්‍රාත් බී. ඒ. අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම සිදුවීමේදී නිලධාරීන්ගේ හැසිරීම ගැනත්, හෘද සාක්ෂිය ගැනත් වැදගත් ප්‍රකාශයක් කළේය. එය මෙසේය.

“මෙම ඇප අයදීමට අදාළව පැමිණිල්ල විසින් අධිකරණයේ අවධානයට යොමු කරන ලද එක් සුවිශේෂී කරුණකට අදාළව අද දින ඇප මත මුදා හරින ලද සැකකරුවන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පැමිණිල්ල එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරුවන් කිසිවකුත් සිදුවීමේදී තුවාල ලද පසුව එම තුවාල හේතුවෙන්ම මියගිය පොලිස් සැරයන් මානින්ගමුව ගෙදර උපුල් චාමින්ද කුමාර යන පොලිස් නිලධාරියාගේ මරණය වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි. එමෙන්ම, වැලිගම පොලිස් ස්ථානයේ ජංගම රථයට තම අනන්‍යතාව නිරාවරණය කිරීමෙන් හෝ පලා යෑමේ අරමුණින් ඉමදූව අධිවේගී පිවිසුම දක්වා දීර්ඝ වේලාවක් ලේ ගලන තුවාල සහිතව සිටි තුවාලකරුව රැගෙන ගමන් නොකොට නිසි ප්‍රතිකාරයක් සඳහා එම තැනැත්තා ඉදිරිපත් කිරීමට ද මෙම වෑන් රථයේ සිටි සැකකරුවන් කිසිවකුත් ක්‍රියාත්මක වී නොමැති බවයි.

අධිකරණයේ නිරීක්ෂණය වන්නේ ද, මෙම ක්‍රියාවලිය තුළදී තමන් සමග දීර්ඝ කලක් එක්ව සේවය කළ සහෝදර නිලධාරියකුගේ ද පොදු අදහසකින් ගත් කල මනුෂ්‍යකුගේ ද ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මෙම එකදු හෝ සැකකරුවකු තම අවම මනුෂ්‍ය වටිනාකම් අවදි කිරීමට කටයුතු කර නොමැති බවයි. වෘත්තීමය වශයෙන් පොදු මහජනයාගේ යහපත අපේක්ෂා කරනු ලබන වැටුපකට වුවද, තම ජීවිතය එම යහපත් අරමුණ වෙනුවෙන් කැප කළ යුතු පොලිස් නිලධාරියකුව සිටිමින් තම සහෝදර නිලධාරියා බේරා ගැනීම වෙනුවෙන් මෙම එකදු හෝ සැකකරුවකු පෙරට විත් නොතිබීම අතිශය අමානුෂික සහ අපේක්ෂා කළ නොහැකි මට්ටමේ බරපතළ වගවීමේ අසමාර්ථාවයක් ලෙස නිරීක්ෂණය කරමි. යම් දුෂ්ට අරමුණක් දරන ඉහළ මට්ටමේ බලවන්තයකුගේ අනීතක අපේක්ෂාවන් සිය ස්වාධීන මනුෂ්‍ය වටිනාකම් මත අගය නොකොට එම අනීතික අපේක්ෂාව අනෙකකු වෙනුවෙන් මුදුන්පත් කරවාදීම සඳහා හැඟීම් විරහිත යාන්ත්‍රික ස්වරූපයකින් ගිනිඅවි ද අත දරමින් කරනු ලැබූ මැදිහත්වීමේ ඛේදදනීය අවසානය වනුයේ, මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීමයි. එය හුදු මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීමක් පමණක් නොවනුයේ එම ජීවිතය පිටුපස සිටි එම ජීවිතය විසින් රැකබලා ගනු ලැබූ ආදරණීයයන් පිරිසකට මෙම මරණය විසින් යළි කවර මිලක් ගෙවා හෝ ප්‍රතිපූර්ණය කළ නොහැකි අහිමි වීමක්ද, තනි වීමක් ද නිර්මණ්‍ය කරන නිසාවෙනි.

මියගිය නිලධාරියා සමග ගිය අද ඇප ලබා තම ප්‍රියයන් වෙත, දරුවන් වෙත නික්ම යන මෙම සැකකරුවන් අතරින් කවරෙකු හෝ තම හෘද සාක්ෂිය අවදි කොට දුස් අරමුණ වෙනුවෙන් තමන් මෙහෙයවන ලද නීති විරෝධී නියෝගය ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන ලද්දේ නම්, එම අවාසනාවන්ත මරණය වළක්වා ගැනීමට ඉඩ තිබිණි.

ධනය, බලය හෝ අන් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා දුෂ් අරමුණක් සහිතව නියෝග නිකුත් කරන කවර තරාතිරමක හෝ තැනැත්තකුගේ කවර මට්ටමක අනීතික නියෝගයකට හෝ එරෙහි වීමට තරම් ශක්තියක් සාමාන්‍ය පුරවැසියන් නිර්මාණය කරගනු ලැබුවහොත්, ඉතිහාසයේ සිදු වූ සහ අනාගතයේ සිදුවිය හැකි මෙවැනි අවාසනාවන්ත මනුෂ්‍ය ජීවිත අහිමි කිරීම් සහ අහිමිවීම් වළක්වා ගත හැකි බව අධිකරණය් නිරීක්ෂණයයි. මන්ද, අනීතික නියෝග කොන්දේසි විරහිතව, හැඟීම් විරහිතව සහ සියලු මනුෂ්‍ය වටිනාකම් පසෙකලා ඉටු කිරීමට කාට හෝ පවිච්චි වන මිනිසුන් අවසන් වූ පසු අනීතික අරමුණෙහි අනීතික ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීමට දුෂ් අරමුණු දරන්නෝ අපහොසත් වන හෙයිනි. මෙම සැකකරුවන් කවරෙකුට හෝ එවැනි නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමටත්, තීරණය කිරීමටත් මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය හඬ අවදි කරන්නට දක්වනු ලැබූ අපහොසත්භාවයේත් අවාසනාවන්ත ප්‍රතිඵලය වී ඇත්තේ වටිනා මනුෂ්‍ය ජීවිතයක අහිමි වීම බව සියලුම සැකකරුවන් අවධාරණය කර ගත යුතුය.

එවන් ශක්තිමත් භාවයක් එම සැකකරුවන්ට තිබුණේ නම් මියගිය නිලධාරියාගේ දරුවන් ද, ප්‍රියයන් ද මෙම සැකකරුවන්ගේ ප්‍රියයන් සහ දරුවන් මෙන්ම සතුටින් සිටින බව නොඅනුමානය. එම සතුට එම දරුවන්ට ද, එම ප්‍රියයන්ට ද අහිමි කරනු ලැබුයේ වරදට එරෙහිව මනුෂත්වයේ නාමයෙන් මිනිසකු සේ සිතන්නට ද, තීරණ ගන්නට ද, හඬ නගන්නට ද මෙම සැකකරුවන් දක්වන ලද අපොහොසත්භාවය විසින්ය යන පශ්චාත්තාපය සහ සමනය කළ නොහැකි හෘද සාක්ෂියේ වේදනාව මෙම නීති කෘත්‍යයෙන් ඔබ්බට වුවද, එම සැකකරුවන්ගේ ජීවිතය පුරා පවතිනු ඇතැයි සාමාන්‍ය පුරවැසියකු ලෙස මම සිතමි. එසේ හෙයින් මෙවැනි වරදක් තමන් අතින් හෝ තම පාලනයේ ඇති කවර තරාතිරමකදී හෝ සිදු නොවීමට වගබලා ගත හැකි නම් සහ කවර තත්ත්වයේ හෝ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම සම්බන්ධව මෙම සිදුවීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නොව, වඩා යහපත් මනුෂ්‍ය ප්‍රවේශයකින් කටයුතු කළ හැක්කේ නම්, මෙම වරදේදී එම සැකකරුවන් පෙළෙන එම හෘද සාක්ෂියේ වේදනාව මදක් හෝ සමනය කර ගැනීමට ඔවුනට හැකියාවක් ලැබෙනු ඇතැයි සැලකිල්ලට ගනිමි.”

මාතර මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන් එම මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය තවමත් මෙම සිද්ධියේ සැකකරුවන්ට අවදිවී නැති බව නම් හොඳින් පෙනේ. මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ ඉහත සඳහන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා යොමු කිරීම වටී. ඒ තවමත් ඇතැම් පොලිසිවලදී නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සහ මනුෂ්‍යත්වය නොසලකා කටයුතු කිරීම සිදුවන බැවිනි.

තරිඳු ජයවර්ධන

(දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ කමිටුවේ කටයුතු වාර්තා කිරීම සඳහා යෑමට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට අවස්ථාව ලබාදෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිය ද පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

18 hours ago
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

ප්‍රාදේශීය පුවත්

මිලාගිරිය ශාන්ත පාවුළු දැරියන්ගේ දන්සල

ප්‍රාදේශීය පුවත්

වගාව එපා කියන කණ්ඩලම ගොවියෝ !

ප්‍රාදේශීය පුවත්

වධහිංසා වින්දිතයාට වෙඩි…වෙඩිල්ලට මිතුරා බිලි

ප්‍රාදේශීය පුවත්

දොස්තරගේ පරණ කාර් විජිතය…වෛද්‍ය උපාලි සූරියආරච්චි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok