වඳුරො, රිළව් නොකන්නෙ දඹල, බණ්ඩක්කා, නිවිති විතරයි…
වගා හානියට නිලධාරීන්ගෙන් කිසිම පිළියමක් නෑ…
මේ කන්නයේ බී ලූනූ වගාව වැඩියි…
බී ලූනූ කිලෝවට 200වත් නොලැබුණොත් කපෝතියි…
සංචාරකයෝ ආවොත් බලාගෙන හිටිද්දි මේ ගම දියුණු වෙනවා…
දුන්නබිඳුණු වැව අවට කුරුලු පාරාදීසයක්…
කණ්ඩලම දියවර ගම්මානය අලුත් ය. ඒ ගමට තවම වයස අවුරුදු 27කි. ‘ජන දිවියට අත්වැලක් – නිවහනකට උරුමයක්’ නිවාස ව්‍යාපෘතිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ‘දියවර ගම්මාන’ විවෘත කර ඇත්තේ 1998 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වැනිදා ය.
දඹුල්ල නගරයේ සිට කිලෝ මීටර් 13ක් පමණ දුරින්, සීගිරිය හන්දියේ සිට කිලෝමීටර් 08ක් දුරින් කණ්ඩලම ප්‍රදේශයේ පිහිටි ‘දියවර ගම’ නොදියුණු ගම්මානයක් වුවද සොබා සිරියෙන් අතිශය පොහොසත්ය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 449/E කණ්ඩලම ග්‍රාමසේවා කොට්ඨාසයේ පිහිටි දියවර ගම්මානය, කැප්ඇළ, විසිපහ, හතළිහේ කොළණිය, පනහේ කෑල්ල මෙන්ම කුඹුක්කදන්වල, රංගිරිගම, කිඹිස්ස, දමන, ලේනව, සීගිරිය ඓතිහාසික ප්‍රදේශය. සීගිරි පර්වත මාලිගය නිර්මාණය කර ඇති කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද ‘දුන්නබිඳුණු වැව’ පිහිටා ඇත්තේ ද දියවර ගම කෙළවරයේය. කාශ්‍යප රජු දඩකෙළියේ යන අතරතුර මුව රංචුවක් දැක දුන්නෙන් විඳීමට උත්සාහ කරනවිට දුන්න කැඩී ගොස් ඇත. ඒ මොහොතේම මහසෙනෙවිට කතා කොට එම ස්ථානයේ වැවක් ඉදිකර ‘දුන්නබිඳුණු වැව’ ලෙස නම් කරන්නට රජු විසින් අණ කර ඇති බව රංබණ්ඩා සහ අනුලා කුමාරිහාමි අප සමග පැවසූහ. පැරැණි වැව ඩී.එස්. සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බවත්, අද දකින්න ලැබෙනුයේ පිළිසකර කරන ලද වැව බව ද ඔවුහු අප සමග පැවසූහ. කඳු වළල්ලකින් වට වී රක්ෂිත වනපෙදෙසකට මායිම් වී ඇති දුන්නබිඳුණු වැව අවට කුරුලු අභය භූමියක් වැනිය. සංචාරක කුරුල්ලන් මෙන්ම මෙරටට ආවේණික කුරුලු විශේෂ රාශියක් ජීවත් වන එම පරිසරය තුළ සමනලුන් වර්ග රාශියක් ජීවත් වන බව ද ප්‍රදේශවාසියෙක් අප සමග පැවසුවේය. හේ ඉන්දිකය. වගාවට අමතරව කුලී රස්සාව ආදායම් මාර්ගයක් කරගෙන සිටින ඔහුව අපට මුණගැසුණේ කොළඹයායවත්ත ප්‍රදේශයේ දීය.
“කුරුල්ලන් ගැන පර්යේෂණ කරන පරිසරවේදීන් නිතර ඇවිත් ෆොටෝ ගන්නවා අපි දකිනවා. මේ අවට ගම්මානවල මිනිස්සුත් නිවාඩු දවස්වලට ඇවිත් වැව අවට සිරි නරඹනවා. සමහර කාලවල සවස්වරුවට වැව අවට සමනලුන්ගෙන් පිරෙනවා. මුව රංචු එනවා. ඒත් නිතරම අලි, ඇත්තු ගැවසෙන නිසා ගමේ මිනිස්සු එන්නෙ, යන්නෙත් බයෙන්. අලි නම් අපේ හතුරො වගෙයි. වගා බිම්වලට කරන හානිය කියල වැඩක් නෑ. නිලධාරීන්ට කියල, කියල දැන් අපිට එපා වෙලා. ඒ වගේම මොනරු, වඳුරො, රිළව්, දඬු ලේන්නු කාපාලු හැත්තක්. අපේ වෛරක්කාරයන් වගෙයි…” ගමේ ගැටලු වචන කිරීමට තවත් ගම්වාසීන් කිහිපදෙනෙක් නොවිසිලිමත්ව බලා සිටින අයුරු පේනේ. එහෙත් අපි හඬ ඉස්මතු කළෙමු.

ධීවර ගමේ පදිංචි බහුතරය කණ්ඩලම වැව අවට පදිංචිකරුවන් ය. ඒ හැර මෙරට විවිධ ප්‍රදේශවලින් පැමිණ පදිංචි වී සිටින පවුල් ද විශාල සංඛ්‍යාවක් තිබේ. මේ වනවිට ඒ ගම්වාසී බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. ඉවත දමන දණ්ඩක් වුවද මුල් අඳින පසක් සහිත දියවර ගම ඇතුළු අවට ගම්මානවල ප්‍රධාන වගාව බී ලූනූ ය. එහෙත් අර්තාපල්, කැරට්, ලීක්ස් නොමැතිව සෙසු සියලුම එළවළු වගා කරන බව එගම්වාසීහු අප සමග පැවසූහ. මේ වනවිට එළවළු මෙන්ම පලතුරු ද වගා කරන බව ගොවීහු පැවසූහ. පෑවිල්ල කාලයට වගා කිරීමට ජලය නොමැතිවීම, සතුන්ගෙන් වගාවට සිදු වන හානිය කාලයක සිට දැවෙන ගැටලු බව ද ඔවුහු පැවසූහ. පොදු හඬ අතරින් කමල්ගේ හඬ ඉස්මතු විය.
“මේ ගම්වල ගොවීන්ට ආර්ථික ප්‍රශ්නවලට වඩා දරාගන්න බැරිම ගැටලුව සතුන්ගෙන් සිදුවන හානිය. අපේ ගම්වල මිනිස්සු පොල්, තැඹිලි පැළයක් ගෙවත්තකවත් වගා කරන්නෙ නෑ. වැඩක් නෑ. තැඹිලි, කුරුම්බා වලුපිටින් රිළව් කනවා. වඳුරො, රිළව් නොකන්නෙ දඹල, බණ්ඩක්කා, නිවිති විතරයි. බණ්ඩක්කා කරලෙ බූව නිසා නොකනවා ඇති කියලා අපි හිතනවා. ඒත් දඹල, නිවිති නොකන හේතුව ගැන තවම දන්නෙ නෑ. ඒ වගේම නිවිති කිසිම සතෙක් කන්නෙ නෑ. ඒ බෝගවලට සතුන්ගෙන් වෙන හානිය අඩු නිසා ගොඩක්ම ගොවීන් දඹල, බණ්ඩක්කා වගා කරන්න උනන්දු වෙනවා. ඒත් ලාභය අඩුයි. හොඳ අස්වැන්නක් සහ වැඩි ලාභයක් ගන්න පුළුවන් බී ලූනූවලින්. මේ පොළොව බී ලූනූ වගාවට කදිමයි. ඒ නිසා කාලයක ඉඳලා මේ ගම්වල ජනප්‍රියම වගාව බී ලූනූ. කන්න දෙකයි. අතරට වගාවක් කරන්නත් පුළුවන්. ඒත් බී ලූනූ වගාවේ නඩත්තුව වැඩියි. වියදම අධිකයි. මොනරුන්ගේ හානියත් වැඩියි. ආර්ථික අර්බුදය කාලේ තෙල්, පොහොර මිල වැඩිවීමත් එක්ක බී ලූනූ වගාවෙන් ගොවීන් ඈත් වුණා. පහුගිය කන්නයේ බී ලූනූවලට හොඳ මිලක් තිබුණු නිසා මේ කන්නයේ හුඟදෙනෙක් බී ලූනූ වගා කළා. ඒත් වියදම වැඩියි. ලූනූ අක්කරයක් වගා කරන්න රුපියල් ලක්‍ෂ 05කට වැඩි මුදලක් වියදම් වෙනවා. ඇට කිලෝවක්ම රුපියල් 30,000ක්, 40,000ක් වෙනවා. වල් මර්දන බෙහෙත් ගහන්න ඕනෑ. දීලිර, කෘමි නාශක දවස් 10න් 10ට ගහන්න ඕනෑ. දවස් 3න් 3ට වතුර යොදන්න ඕනෑ. නඩත්තුවත් වැඩියි. මේ වෙනකොට වෙළෙඳපොළේ ආනයනික බී ලූනූ කිලෝව රුපියල් 160ටත් තියෙනවා. ඒ වගේ මිලකට බී ලූනූ දෙන්න වුණොත් අපි කපෝතියි. අවමය රුපියල් 200ට වත් ලූනූ කිලෝවක් දීගන්න පුළුවන් වුණොත් පුංචි සහනයක් තියෙනවා…” හේ බුලත්විටක් ගුලි කළේ ය. වම්බොටු වගාවකට වතුර ඉහමින් සිටි වියපත් ගොවියෙක් අසලට අපි ගියෙමු. හේ රංබණ්ඩාය. ඔහුගේ සංසාර සෙවණැල්ල වූ අනුලා කුමාරිහාමි ද අසල සිටින්නීය.
“සෑම ගොඩ බෝගයක්ම මේ පොළොවේ හදන්න පුළුවන්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටත් කිට්ටු නිසා අලුත්පිට අස්වැන්න වෙළෙඳපොළට දෙන්නත් පුළුවන්. අද උදේ මම වම්බොටු, බණ්ඩක්කා ගෙනිච්චා. වම්බොටු කිලෝව රුපියල් 320ට දෙන්න පුළුවන් වුණා. බණ්ඩක්කා කිලෝව 130යි. හොඳ මිලක්. මේ වගේ මිලක් තියෙනවා නම් ගොවීන් සතුටින්. ඒත් අලුත් පරම්පරාව වගා කරන්න කැමැති නෑ. ෆෝන් අරගෙන ඔබ, ඔබ ඉන්නවා ඇරෙන්න ගත මහන්සි කරන්න කැමැති නෑ. පවුලක් වෙලා, දරුමල්ලො ලැබිලා ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණාම තමයි කැත්ත, උදැල්ල අතට ගන්නෙ. ඒත් කැමැත්තෙන් නෙමෙයි, කරන්න වෙන දෙයක් නැති නිසයි. අපේ කාලේ මිනිස්සු ගොවිතැනට බැස්සෙ දේව රාජකාරියක් කියලා හිතාගෙන. ඒ කාලේ වගාවට සිදු වෙච්ච හානියත් අඩුයි. වනසතුන්ගෙන් මෙච්චර හානි වුණෙත් නෑ. දැන් නම් වනසතුන් කරන්නෙම හතුරුකම්. ඒ සතුන් මෙච්චරට ම අපිත් එක්ක විරසක වුණේ ඇයි කියල හිතාගන්නවත් බෑ. උන්ගෙ වාස භූමි ගොවීන් අල්ලගෙන කියන කතාව මම පිළිගන්නෙ නෑ. සතුන්ට ජීවත් වෙන්න ඕන තරම් කැලෑව තියෙනවා. කැලෑවේ උන්ට කෑම නැති ගැටලුව නම් තියෙනවා. අදාළ ආයතන ඒ ගැන සොයාබලා මහ කැලෑවේ පලතුරු, තැඹිලි, පොල් ගස්, අලි, ඇතුන් කන්න කැමැති ගස් වැල් හිටවන ව්‍යාපෘතියක් කරන්න ඕනෑ…” උදැල්ල උස්ස ගැනීමට පුළුවන් වයසෙ සිට පොළොවත් සමග ඔට්ටු වෙච්ච රංබණ්ඩා මාමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෙවතු වගා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගෙන ද තිබේ. එම ජයග්‍රහණයට පිරිනැමුණු ටැක්ටර්ය අදටත් හේ පාවිච්චි කරනුයේය. මේ වනවිට 63 වැනි වියේ පසු වන රංබණ්ඩා පිරිමි දරුවන් තිදෙනෙකුගේ පියෙකි. එක් දරුවෙක්වත් ගොවිතැන් නොකරන බව හේ පැවසුවේ කනගාටුවෙනි. දරුවන්ට බරක් නොවී අදටත් වගා කරගෙන ඔවුන්ගේ අඟහිඟකම් ද සම්පූර්ණ කරන බව පැවසුවේ ආඩම්බර ස්වරයෙනි.
වගා බිම්වලට අලි කඩා වදිනුයේ මහ රෑටය. අලි වෙඩි පත්තු කර හෝ උන්ව එළවා දැමීමට හැකි ය. වඳුරො, රිළව්, දඬු ලේන්නු, මොනරු රංචුවක් කොරටුවකට රිංගූවිට කරන හානිය අතිශය විශාලය. ලූනූ, තක්කාලි වගාවේ ප්‍රබල හතුරො දලු කන මොනරුන්ය. වඳුරො, රිළව් සෑම වගාවකට හතුරෝය. ජලය හිඟකම, වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි බහුල වුවද දියවර ගමේ ඉඩම්වල මිල ඉහළය. අවුරුදු 20ට පෙර රුපියල් 50,000ට වැඩි නොවුණු ඉඩම් අක්කරය මේ වනවිට රුපියල් ලක්‍ෂ 50ට වැඩි බව ගොවීන්ගේ අදහස ය. එමෙන්ම එම ප්‍රදේශවල ඉඩම් මිල ඉහළ ගොස් ඇත්තේ නගරයේ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුම වැඩිවීමත් සමගය.
‘අවුරුදු 23ට පෙර මාත් එක්ක ආපු සුද්දා දඹුල්ල නගරයෙන් බැහැපු ගමන් කිව්වේ ‘බලපන් මේ නගරයෙන් ඉඩමක් ගන්න. මම සල්ලි දෙන්නම්. තව අවුරුදු කිහිපයක් යනකොට මේ ප්‍රදේශ හොඳට දියුණු වෙනවා…’ පිටරටක කෙනෙක් දැකපු දේ එදා මම දැක්කෙ නෑ. දඹුල්ල නගරයෙන් මම ඉඩම් ගන්න ගියේ නෑ. සුද්දගෙ බල කිරීමට කුඹුක්කදන්වල ගමෙන් ඉඩම් අක්කර තුනහමාරක් ගත්තා. 1998 අවුරුද්දේ ඒ ඉඩම මම ගත්තෙ රුපියල් ලක්‍ෂ 2කට. එතකොට රැකියාව කළේ ප්‍රංශ කොම්පැනියක. මට ඉඩම අරගෙන දීපු කැනේඩියානු ජාතිකයා එක්ක ලංකාව වටේම ඇවිදලා තියෙනවා. මගේ දැන උගත්කමට, උපාධියට ඒ සුදු මහත්තයා ලොකු වටිනාකමක් දුන්නා…” කමල්ගේ මුවින් පිට වූ අවසාන වචන කිහිපය දෙසවනේ රැඳෙනවිට මම වික්‍ෂිප්ත වෙමි.

නිශාන්ත කමල් ජයසූරිය උපන් ගම කළුතරය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික කළමනාකාරණ උපාධිධාරියෙකි. ඔහුගේ බිරිඳ ද උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන සිටින්නී ය. කළුතරින් කණ්ඩලමට පැමිණි ඔවුන් නිදහස් පරිසරයට වශී වී මේ ප්‍රදේශයේ පදිංචි වී ඇත. කැනේඩියානු කොමිපැනියෙන් ඉවත් වී හේ පෞද්ගලික ආයතන කිහිපයක රැකියා කර අවසානයේ ගොවිතැන තෝරාගෙන ඇත. මේ වනවිට ඔහුට වයස අවුරුදු 53කි. දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නීය. දෙවැනි දියණිය උසස් පෙළට සූදානම් වෙමින් සිටින්නීය. දෙදෙනාම අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. දියණියන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට කමල් මේ වනවිට කුලී වැඩ ද කරන්නේය. එහෙත් තමා සහ පවුලේ සාමාජිකයන් අසීමිත සතුටකින් ජීවත්වන බව හේ පැවසුවේය.
“මේ ගම්වල මහා පරිමාණ ව්‍යාපාරිකයො නෑ. රජයේ, පෞද්ගලික ආයතනවල රාජකාරි කරන අයත් ගොඩක් නෑ. බහුතරය ගොවියෝ, කුලීකරුවෝ. පවතින ජීවන වියදමත් එක්ක වගා කරලා විතරක් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපේ ගම්වල ගැහැනු, පිරිමි දෙගොල්ලොම කුලී වැඩටත් යනවා. ගෑනු කෙනෙක්ට 1750 යි. පිරිමි කෙනෙක්ට 2500යි. 3000 යි. එහෙම හම්බ කරලත් ජීවත් වෙන්න මදි. විශේෂයෙන්ම දරුවන්ට උගන්වන්න ගොඩක් සල්ලි ඕනෑ. සීගිරිය, කණ්ඩලමට එන විදේශිකයන්ව දුන්නබිඳුණු වැව අවට කුරුල්ලෝ, සමනල්ලු පෙන්වන්න අරගෙන එනවා නම් අපේ ගමේ මිනිස්සුන්ටත් අමතර ආදායම් මාර්ග හදාගන්න පුළුවන්. පාර අද්දර තියාගෙන තැඹිලි, කුරුම්බා ගෙඩි, පලතුරු ටිකක් හරි කපලා විකුණන්න අවස්ථාව ලැබෙනවා. අපේ ගම්වල හුඟ දෙනෙක් අත්කම් නිර්මාණකරණයට දක්ෂයි. ඒ අයට හොඳ වෙළෙඳපොළක් ගොඩනැඟෙනවා. කාබනික කොරටුවක ගමේ රසට කෑම වේලක් හදලා විදේශිකයන්ට අලෙවි කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් නිලධාරීන් අපි හිතන විදිහට හිතන්නෙ නෑ. අපි කියන දේ තේරුම් ගන්නෙ නෑ. මේ ගම්මාන සංචාරකයන්ට විවෘත කරන්න කියන්නෙ කෝටි, ප්‍රකෝටිපතියන් වෙන්න නෙමෙයි. පනං හතරක් හොයාගෙන, දරු පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න…” පෙළගැසෙන කතාවට අදහස් එකතු කළ ගොවීන්ගේ සහ කුලීකරුවන්ගේ පොදු හඬ එසේ නිවී යද්දී මට මෙසේ සිතිණි.
එදා වේල සොයාගැනීමට නොහැකිව පීඩා විඳින සීගිරිය අවට මිනිසුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට කදිම විසඳුම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම බව සැබෑය. එහෙත් සීගිරි ගල, පිදුරංගල ගල, කණ්ඩලම වැව, තල්තොටේ වැව, දුන්නබිඳුණු වැව පෙන්වා සීගිරිය, කණ්ඩලම සංචාරක පරාදීසයක් කළ නොහැකි. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් විදේශීය සංචාරකයන්ට දින දෙක, තුනක් නතර වී වියදම් කරමින් විනෝදවීමට අවස්ථාව සලසා දියයුතුය. එහෙයින් සීගිරියට පැමිණෙන සංචාරකයන්ට හිතේ හැටියට විනෝදවීමට ඇවැසි පරිසරය නිර්මාණය කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතුය. එම වගකීම ඉටු කිරීමට අදාළ ආයතනවලට ආර්ථික ශක්තියක් නොමැති නම් පෞද්ගලික ව්‍යවසායකයන් ලවා හෝ සීගිරිය, කණ්ඩලම සංචාරක පුරවරයක් බවට පත් කළ යුතුය. බැද්දෙ පිපින මල් ලෝකය දකිනුයේ එවැනි පරිවර්තනයක් තුළ පමණි. ‘බණ්ඩාරවෙල ඇල්ල’ වැනි සංචාරක පුරවරයන් තව, තවත් නිර්මාණ වනුයේ දැක්මක් සහිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළ පමණි.

තරංග රත්නවීර