මානව හිමිකම් කොමිසමත් මානව හිමිකම් කඩයි
පොලිස් වධහිංසා නිසා තරුණයකුගේ ජීවිතයම විනාශ වූ හැටි – 02
මත්පැන් අලෙවිහලක හොරකමට තම පුතා අත්අඩංගුවට ගත්තද ඔහු ඒ කිසි දේකට සම්බන්ධ නැති බව ඩිල්ශාන්ගේ මව දැන සිටියාය. ඒ අනුව ඩිල්ෂාන්ගේ මව නීතිඥ සහාය ලබා ගැනීමට නීතිඥවරයකු සොයා ගිය අතර රුපියල් 50,000කට ආසන්න ගාස්තුවක් ගෙවීමෙන් පසු ඇයට නීතිඥ සහායක් ලබා ගැනීමට හැකියාව ලැබිණි.
තම පුතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරයාගේ උපදෙස් අනුව මව අගෝස්තු 26 වැනිදා එනම් ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන තුන් වැනි දවසේ පොලිස්පතිවරයා ඇමතූ ලිඛිත පැමිණිල්ලක් සකස් කළාය. එම පැමිණිල්ල මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිටත්, පොලිස් කොමිසමටත්, මාලිම්බඩ පොලිසියටත් ඇය පිටපත් කළාය. අදාළ පැමිණිල්ල සහ පිටපත් ඇය යොමු කරනු ලැබුවේ ලියාපදිංචි තැපෑල මගිනි. එම ලිපියේ මෙසේ ද සඳහන් කර ඇත.
“2020 අගෝස්තු 24 දින ඔහු ව්‍යාපාරික ස්ථානයේ සිටියදී මාලිම්බඩ පොලිසිය මගින් දුරකතන ඇමතුමක් ලබාදී ඔහු පොලිසියට ගෙන්වාගෙන ඇත. ඔහු නැවත පැමිණීමට ප්‍රමාදවීම නිසා මාගේ දියණිය පොලිස් ස්ථානයට ගිය අතර එහිදී ස්ථානාධිපතිතුමා ඇයට බැණ වැදී ඇය එළවා දමා ඇත. කෙසේ වුවද පුතාගේ යතුරු පැදිය සහ සෙරෙප්පු කුට්ටම පොලිසියේ තිබෙනවා දුව දැක ඇත. නැවත මා, මාගේ දියණිය සහ පුතාගේ මිත්‍රයන් 24 සහ 25 දින දෙකේම පොලිසියට ගිය අතර කිසිම අවස්ථාවක පුතා අපහට නොපෙන්වූ අතර උසාවියට ඉදිරිපත් කිරීමක් කළේ ද නැත. විශේෂයෙන්ම පොලිස් ස්ථානයේ දෙවැනි ලොකු මහත්තයා ඉතාම අශිෂ්ට, අසභ්‍ය වචනවලින් බැණවදිමින් මා පොලිස් ස්ථානයෙන් එලවා දමන ලදී. 2020 අගෝස්තු 26 එනම් අද දින පුතා මාතර පොලිසියට ගෙන ගොස් ඇති බව දැනගෙන මා සහ මාගේ දියණියන් දෙදෙනා මාතර පොලිසියට ගිය අතර එහිදී එම නිලධාරීන් සුහදව කතා කොට අප හට පුතා සමග පුද්ගලිකව කතා කිරීමට ද අවස්ථාව ලබා දෙන ලදී.
“එහිදී ඔහු මාගේ දියණියන් දෙදෙනාට පවසා තිබුණේ මාලිම්බඩ පොලිසියේ දී මෙච්චර දවසක් ගුටි කෑ බවත්, අදත් ගුටි කෑමට බැරි බවත්, නොකළ වරදකට ගුටි කෑමට නොහැකි බවත්ය. පසුව ඔහු මා හට පැවසුවේ මාලිම්බඩ පොලිසියෙන් ඔහුට පහර දුන් බවත් අතේ ආබාධයක් ඇති බවත් අද රෑට මං කොතැනකට රැගෙන ගිහින් පහර දේවීදැයි නොදන්නා බවයි. මාගේ පුතා වරදක් කර ඇත්නම් නීතියෙන් ඔහුට දඬුවම් ලබා දිය යුතු නමුත් මේ ආකාරයට දින ගණන් පොලිස් ස්ථානවල තබාගෙන අමානුෂික ලෙස පහරදීම බරපතල කෲර අමානුෂික සහගහන අපරාධයක් බැවින් මේ පිළිබඳ නිසි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිමි” යනුවෙන් එම ලිපියේ ඇත.
මෙම බරපතල කරුණු සහිත ලිපිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලය වෙත ලැබෙන්නේ අගෝස්තු 27 වැනිදාය. ඒ වන විට තත්ත්වය තවදුරටත් වෙනස්වී තිබුණු අතර ඩිල්ෂාන්ට පොලිසියෙන් තවදුරටත් පහරදී තිබිණි. ඒ අනුව 27 වැනිදා ඩිල්ෂාන්ගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලය වෙත ගියාය. මාතර කාර්යාලයට ගොස් එහි නිලධාරීන් හමුවී තම පුතාට පොලිසියෙන් පහර දෙන බව දැනුම් දුන්නාය. ඒ වන විට ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන දින හතරක් වී තිබිණි. පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතු ඩිල්ෂාන් දින හතරක් තිස්සේ පොලිසියේ තබාගෙන පහරදෙනවායැයි දැනුම්දීමේ බරපතලකම අනුව මානව හිමිකම් කොමිසම කළ යුතුව තිබුණේ වහාම අදාළ පොලිසිය වෙත නිලධාරියකු යවා පරීක්ෂා කර බැලීමයි. නමුත් එසේ සිදු වූයේ නැත. ඒ වෙනුවට කළේ ඩිල්ෂාන්ට පහර දෙමින් සිටි මාතර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේතුංග වෙත දුරකතන ඇමතුමක් ලබාදී කරුණු විමසීමය.



ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන සිටින බව පිළිගත් පොලිස් පරීක්ෂකවරයා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වාචිකව ලැබෙන පැමිණිල්ලක් වුවද විධිමත් පැමිණිල්ලක් වුවද, කොමිසමේ මාතර කාර්යාලයේ නිලධාරීන් කළේ විධිමත් පැමිණිල්ලක් කරන ලෙස මවට නැවත දැනුම්දීමය. ඒ වන විට පොලිස්පතිගේ පැමිණිල්ලේ පිටපත ද මානව හිමිකම් කොමිසමට ලැබී තිබිණි. මෙහි බරපතල තත්ත්වය ගැන සැලකිල්ලට ගෙන ඔවුන් අපේක්ෂා කරන විධිමත් පැමිණිල්ල කුමක් යන්න පහදා දී ඒ අවස්ථාවේම පැමිණිල්ල සටහන් කරවාගෙන අවශ්‍ය කටයුතු කරනවා වෙනුවට මාතර කාර්යාල නිලධාරීහු මෙය තවත් එක් හුදු පැමිණිල්ලක් ලෙස සලකමින් කටයුතු කළහ.
2020 ඔක්තෝබර් 15 දින එම මාතර කාර්යාලය ඩිල්ෂාන්ගේ මවට ලිපියක් යොමුකරමින් විධිමත් පැමිණිල්ලක් කරන ලෙසත්, එසේ නොකළොත් පැමිණිල්ල ඉවත දමන බවත් දැනුම් දුන්නාය. ලිපිය ලද ඔක්තෝබර් 16 වැනිදා වන විට ඩිල්ෂාන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබිණි. එහෙත් ඩිල්ෂාන්ගේ මව මානව හිමිකම් කොමිසමට ගොස් ඒ ගැන විමසා සිටියදී මානව හිමිකම් කොමිසම ඔවුන්ගේ පහසුවට තොරතුරු රැස්කිරීමට සකස් කර ඇති පෝරමය ලබාදී එය පුරවා එවන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ඔක්තෝබර් 21 වැනිදා ඩිල්ෂාන් විසින් පුරවන ලද පෝරමය මානව හිමිකම් කොමිසම වෙත ගෙනැවිත් භාර දුන්නේය.
මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව පැමිණිල්ලක් නැතුව වුවද කොමිසමට විමර්ශන ආරම්භ කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව එනම් කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් මිදීමේ අයිතිවාසිකම කිසිම හේතුවක් නිසා සීමා කළ නොහැකි අයිතිවාසිකමකි. එවැනි අයිතිවාසිකමක් කඩ වෙමින් පුද්ගලයකුට පහර දෙමින් සිටින බවට ලිඛිතව ලිපියකින් දැනුම්දී තිබියදී මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලය පැමිණිලි අංකයක් ලබාදී විමර්ශන ආරම්භ කරනවා වෙනුවට වින්දිතයන් තවත් අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ඩිල්ෂාන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර අපේ රටේ නීතිය අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළයුත්තේ මූලික අයිතිවාසිකම් කඩවී මාසයක් ඇතුළතදීය. මානව හිමිකම් කොමිසමට මාසයක් ඇතුළත පැමිණිල්ලක් කර ඇත්නම් එම කාලය ගණන් බලන්නේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශය ලබාදී මාසයේ ඉතිරි කාලයයි. ඩිල්ෂාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී වගඋත්තරකරුවන් විරෝධතාවක් මතුකරමින් ඩිල්ෂාන්ගේ මූලික අයිතිවාසිකම් නඩුව මාසයක් ඇතුළත ගොනු කර නැති බව කියා සිටි අතර ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් කොමිසමෙන් වාර්තාවක් කැඳවීය. ඒ අනුව 2022 ජනවාරි 21 වැනිදා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් යැවූ අතර එහි ඔවුන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් කොමිසමට ලැබුණේ 2022 ඔක්තෝබර් මාසයේ බවයි. ඒ අනුව මාසයක් ඇතුළත නඩු නොපැවරීම සහ මානව හිමිකම් කොමිසමට මාසයක් ඇතුළත පැමිණිලි නොකිරීම මත මූලික අයිතිවාසිකම් නඩුව නිෂ්ප්‍රභ විය. ඩිල්ෂාන්ගේ මව 2022 අගෝස්තු 26 වැනිදා සහ 27 වැනිදා මානව හිමිකම් කොමිසමට ලිඛිත සහ වාචික වශයෙන් පැමිණිලි කර ඇති බව හා ඒවා විධිමත් පැමිණිලි බව ඩිල්ෂාන්ගේ නීතිඥවරයා ද අධිකරණයට දැනුම් දී නොතිබිණි.
අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වූ ඩිල්ෂාන්ට එම සහනය ලබා ගැනීම අවහිර විය. මානව හිමිකම් කොමිසමට ඩිල්ෂාන් පැමිණිල්ල කර වසර 05ක් වුවද තවම එම පැමිණිල්ල විභාග කර තීන්දුවක් ලබාදීමට මානව හිමිකම් කොමිසම අපොහොසත්වීම ‘සිස්ටම්’ එකේ ඇති ගැටලුව මනාව පෙන්නුම් කරයි.
ඩිල්ෂාන්ගේ මව ඩිල්ෂාන් අත්අඩංගුවේ සිටියදීම යොමු කළ පැමිණිල්ලට අනුව පොලිස්පතිවරයා අපරාධ විමර්ශනයක් ආරම්භ කළ යුතු වුවද එවැනි අපරාධ විමර්ශනයක් ආරම්භ කළේ නැත. ඊට පහළ පොලිස් නිලධාරීන් එනම් පොලිස් අධිකාරීවරයා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යන අය ද ඩිල්ෂාන්ගේ පැමිණිල්ල භාර ගත්තේ නැත. නීතිය ක්‍රියාත්මක වන රටක නම් ඩිල්ෂාන්ට දරුණු වධහිංසා කිරීම ගැන පැමිණිලි භාර නොගත් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ද අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු වුවද මේ රට ලංකාව නිසා ඔවුන්ට එරෙහිව කිසිම අපරාධ විමර්ශනයක් සිදු වූයේ නැත.
තමන් මුහුණ දුන් සිද්ධිය ගැන ඩිල්ෂාන් ආයතන ගණනාවකට ලිපි ලියූ අතර අවසානයේ 2021 දී මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ ලිපියක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කළේය. එම විමර්ශනවලට අනුව සාක්කිකරුවන්ගෙන් සහ සැකකාර පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැණිනි. අදාළ විමර්ශන උද්ධෘත නීතිපති වෙත යොමු කිරීමෙන් පසු නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වධහිංසා පනතේ චෝදනා කියාදී සැකකාර පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි. ඒ අනුව චෝදනාව කියා දී 2023 දෙසැම්බර් මාසයේදී සැකකාර පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැණිනි. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ නැත.
2023 දෙසැම්බර් මාසයේදී සැකකාර පොලිස් නිලධාරීන්ට චෝදනාව කියාදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඩිල්ෂාන්ගේ ජීවිතයේ ඊළඟ අභාග්‍ය සම්පන්න කාලය උදාවිය.
එදා 2024 ජනවාරි මාසයේ දිනයකි. ඩිල්ෂාන් තමන්ගේ දුරකතන අලෙවිහලේ සාමාන්‍ය පරිදි කටයුතු කරමින් සිටියේය. එදින සවස පුද්ගලයකු පැමිණ ඡායා පිටපත් ලබා ගැනීමට තිබේදැයි ඩිල්ෂාන්ගෙන් විමසීය. තම කඩයේ ඡායා පිටපත් ලබා ගැනීමේ හැකියාවක් නැතැයි ඩිල්ෂාන් දැනුම් දුන් අතර ඒ අනුව පුද්ගලයා පිටව ගියේය.
රාත්‍රී 7ට පමණ ඩිල්ෂාන්ගේ මිතුරකු කඩයට පැමිණි අතර ඩිල්ෂාන් තම මිතුරා කඩය බලා ගැනීමට තබා ඩිල්ෂාන් අසල කඩයකට පිටවී ගියේ. ඔහු පිටවී ගොස් මිනිත්තු දෙක තුනක් ඇතුළත යතුරු පැදියක් පැමිණ ඩිල්ෂාන්ගේ කඩය ඉදිරිපිට පාරේ නතර කළේය. එහි පිටුපස සිටියේ කලින් ඡායා පිටපත් ගැනීමට පැමිණි පුද්ගලයා ය. ඔහු යතුරුපැදියෙන් බැස ඩිල්ෂාන්ගේ කඩයේ ඩිල්ෂාන් සිටි ස්ථානයට ගියේය. මිනිත්තුවක් එක හමාරක් ඇතුළත ඔහු අත තිබූ ගිනිඅවියෙන් ඩිල්ෂාන් සිටි ස්ථානයේ සිටි ඩිල්ෂාන්ගේ මිතුරාට වෙඩි පිට වෙඩි තැබීය. පසුව වෙඩික්කරු පලා ගියේය. ඩිල්ෂාන්ගේ මිතුරා මරණයට පත්විය.
විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ ඩිල්ෂාන් යැයි වරදවා වටහාගනිමින් ඩිල්ෂාන්ගේ මිතුරාට වෙඩි තබා ඇති බවයි. එදා සිට අද වන තෙක් ඩිල්ෂාන් සිටින්නේ පොලිස් ආරක්ෂාව යටතේය. ඩිල්ෂාන්ට වෙඩි තැබීමට සැලසුම් කළ පිරිස් සහ වෙඩික්කරුවන් තවම අත්අඩංගුවට ගෙන නැත.
අවසන් කොටස ලබන සතියේ…
තරිඳු ජයවර්ධන