Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සැත්කමක් කියන්නෙ ආර්ට් එකක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සැත්කමක් කියන්නෙ ආර්ට් එකක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සැත්කමක් කියන්නෙ ආර්ට් එකක්

June 15, 2025
463 Views

අපි සැත්කමකට බිය වන්නේ ඇයි?…හේතු කාරණා මෙන්න

● තමා නොදන්නා දෙයකට ඇති බිය

● පෙර පසු සහ සැත්කමේදී වෙන්නේ කුමක්දැයි නොදැනීම

● සැත්කමින් පසු ඇතිවන සංකූලතාවට ඇති බිය

● සැත්කම අතරතුරදී සිහි ලැබේදැයි ඇතිවන බිය

● සැත්කමින් පසු සිහිය නොලැබේ යයි සිතීම

● ගුප්ත විද්‍යාත්මක අනාවැකි නිසා සැත්කමට මුහුණ නොදීම

● ඥාතී මිත්‍රාදීන් විසින් මනස ව්‍යාකූල කිරීම

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය අංශයේ පීඨාධිපති, ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රෝහලෙහි පිළිකා රෝග අංශයෙහි ප්‍රධානී, පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා කීර්තිමත් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා සිය පැහැදිලි කිරීම ආරම්භ කරනු ලැබුවේ මෙසේ කියමිනි.

එනම් “සැත්කමක් යනු ආර්ට් එකක්” යනුවෙනි.

නමුත් එය වූ කලී මේ අසිරිමත් වූ මිනිස් සිරුර විච්ඡේදනය කර එහි රිද්මය යථාවත් කිරීමේ කලාව පමණක් නොවන බව ඔහු අපට මැනවින් පෙන්වා දුන්නේ ය. මේ ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලීය රෝහලෙහි පිළිකා රෝගය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රංග පෙරේරා මහතාය. ඔහු පවසන පරිදි අනෙක් බොහෝ දේවල්වල ඇති පරිදි වෛද්‍ය විද්‍යාව තුළ ද කොටස් දෙකක් තිබේ. එකක් විද්‍යාවය. අනෙක කලාවය. වෛද්‍ය විද්‍යාවට අදාළ විද්‍යාත්මක කරුණු පොත පතින් සහ විද්‍යාගාරය තුළින් ඉගෙන ගත හැකි වුවද, කලාත්මක පක්ෂය එසේ කළ හැක්කක් නොවන බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ සඳහා ප්‍රතිභාව, සතත්‍යාභාසය මෙන්ම නිසි ගුරුවරයා ද අවශ්‍යය. ඒ අනුව වෛද්‍යවේදීන්ට ද එහි වූ කලාව අධ්‍යයනය සඳහා නිසි ගුරුවරයකු සිටිය යුතුය. වෛද්‍යවරයකු සායනික පුහුණුවකට යොමු කරවනු ලබන්නේ ඒ උදෙසාය. විශේෂයෙන්ම රෝගියකුගේ හදවත දිනා ගැනීමේ කලාව ප්‍රගුණ කර ගැනීම පිණිසය.

මෙම පැහැදිලි කිරීම අපගේ ලිපිය උදෙසා අත්‍යන්තයෙන්ම ගැළපෙන කරුණක් වන්නේ මෙම ලිපිය ද වෛද්‍යවරයාගේ එකී කර්ත්‍යවයට අදාළව ලියැ වෙන්නක් වන බැවිනි. එනම් “රෝගියකු සැත්කමකට ඇති බිය නැති කර ගන්නේ කෙසේද?” යන්න පිළිබඳව ය.

මේ කාරණයට අදාළව ස්වකීය සීමාවාසික පුහුණුව තුළදී වෛද්‍ය රංග පෙරේරා ලැබූ එක් අත්දැකීමක් මෙසේ ය.

එවකට ඔහු පුහුණුව ලබමින් සිටියේ කළුතරය. ඔහුගේ පරීක්ෂාවට ලක්වුණු එක් වයෝවෘද්ධ රෝගියකු ගුද මාර්ගයේ පිළිකාවක් නිසා අනිවාර්යයෙන්ම සැත්කමකට බඳුන් කළ යුතු තත්ත්වයකට පත්ව සිටියේය. හැකි ඉක්මනින් එකී පිළිකාව ඉවත් කොට මළ කොටස් පහවීම පිණිස බෑගයක් සවිකළ යුතුව තිබුණද, මෙවන් වයෝවෘද්ධ පුද්ගලයකුගෙන් බොහෝ විට බලාපොරොත්තු විය හැකි පරිදිම ඔහුගෙන් පළ වූයේ ඊට දැඩි විරෝධයකි. මේ අවස්ථාවේදී වෛද්‍ය රංග පෙරේරාගේ කටයුතු අධීක්ෂණය කළ ගුරුවරයා ඔහුට පැවසුවේ “පුළුවන් නම් එයාව කැමති කරවා ගන්නකෝ” යනුවෙනි. තමන්ගේ ලොක්කා මේ ප්‍රකාශය කළේ ඉතාමත් සුහද ස්වරයෙන් වුවද, ඒ ප්‍රකාශය තුළ වූයේ එක්තරා විදියක අභියෝගයක් බව වෛද්‍ය රංග පෙරේරා තේරුම් ගත්තේය. වෛද්‍ය රංග පෙරේරා, වයෝවෘද්ධ රෝගියාගේ තරුණ පුතු තමන් හමුවට කැඳවා ගත්තේ එම ප්‍රශ්නයට මුහුණ දෙනු පිණිසය.

තම පියාගේ ගුද මාර්ගයේ ඇති පිළිකාව සැත්කමකින් ඉවත් කළ හැකි බවත්, එසේ කොට පිටතින් බෑගයක් සවිකර ප්‍රතිකාර කළ විට ඔහුට සුව පහසුව සිය මහලු විය ගෙවිය හැකි බවත් මා ඔහුට පෙන්වා දුන්නා” වෛද්‍ය රංග පෙරේරා පවසයි. “ඒ වගේම එසේ නොකරන්නේ නම් ඇතිවිය හැකි තත්ත්වය ගැනත් මම ඔහුට පැහැදිලි කළා.”

“එවැනි තත්ත්වයක් යටතේ සිදුවන්නේ ටික කලක් තුළ වැඩි දියුණු වූ පිළිකාව හේතුවෙන් ගුද මාර්ගයෙන් පිටවන රුධිරය සහ අශූචි සමග අන්‍යයන්ට මෙන්ම තමාට ද, තමාවම අප්‍රසන්න වන ජීවිතයක් ගත කිරීමට සිදුවන බව යයි මා ඔහුට පැවසුවා.”

මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් වයෝවෘද්ධ රෝගියා වෛද්‍යවරයාට සවන් දෙන්නට එකඟ වූ අතර, සාකච්ඡාව අවසන් වූයේ “මහත්තයත් ඔපරේෂන් එකට ඉන්නවද?” යන ප්‍රශ්නය නගමිනි. ස්වකීය අවසන් ප්‍රතිකාරය ලෙස සැත්කමකට මුහුණ දිය යුතු රෝගියකු නගන මේ අහිංසක ප්‍රශ්නය වූ කලී වෛද්‍යවරයකු තමාගේ කලාව මනාසේ ප්‍රගුණ කළ බවට ලැබෙන මහඟු සහතිකයකි. මේ අයුරින් වෛද්‍යවරයා විසින් රෝගියාගේ හදවත දිනා ගැනීමේ මෙහෙයුම සාර්ථකවීම පිළිබඳ ශල්‍ය විශේෂඥ රංග පෙරේරාගේ මෙම උදාහරණයට අමතරව, මෙම ලියුම්කරුට ද ඒ පිළිබඳ අත්දැකීමක් තිබේ. එය නම් 2009 වසරේදී පාදයක නහරයක් ඔස්සේ කේබලයක් යවා හදවතේ ලේ ගමනය යථාවත් කිරීමේ සැත්කමකට මා කැමති කරවා ගැනීමට එදා තරුණ වෛද්‍යවරයකු දැක්වූ මේ කියන හැකියාව පිළිබඳවය. එදා මේ සඳහා මා සමග වූ සංවාදය එම වෛද්‍යවරයා විසින් අවසන් කරනු ලැබුවේ “බය වෙන්න එපා, මමත් තියටර් එකේදී ඔයා ළඟ ඉන්නවා” යයි කියමිනි. මේ කාරණයේ වැදගත්කම වන්නේ මා ඒ මොහොත වන විට සැත්කමකට තබා ඇඟිල්ලකින් ලේ ගන්නා ආකාරය බලා සිටීමටවත් නුපුළුවන් තත්ත්වයේ බියකින් පෙළුණු පුද්ගලයකු නිසාය.

පිළිකා රෝගය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රංග පෙරේරා

ඉන් දශකයක් ගෙවුණු තැන පිළිකා රෝගයකට ගොදුරුව මරණය අභියසට පැමිණි මා විශේෂඥ ශල්‍ය වෛද්‍ය අසේල සේනානායක සහ වෛද්‍ය විශේෂඥ රංග පෙරේරා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් බරපතල සැත්කම් දෙකකට බඳුන් කොට මගේ ජීවිතය යළි ආපසු රැගෙන ආවේත් සැත්කම් කලාවේ බල මහිමයෙන් මා සාර්ථක ලෙස ආශක්ත කර ගනිමිනි. සැත්කමකට රෝගීන් බිය වන්නේ ඇයිද යන්න පිළිබඳවත්, එම බිය නැති කර ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳවත් පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංග පෙරේරා මහතා සමග මෙම සාකච්ඡාවට එළඹෙන්නේ පුවත්පතෙහි ලේඛකයකු වශයෙන් පමණක් නොව “බිය සහ බියට මුහුණ දීම” යන කරුණු ද්විත්වය කෙරෙහි අත්දැකීම් ලත් පුද්ගලයෙකු ද වශයෙනි.

මෙම සාකච්ඡාවේදී අප මුලින්ම දැන ගැනීමට උත්සාහ ගනු ලැබුවේ සැත්කමක් යනු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ කවර ස්ථානයක පවතින්නක්ද යන්න පිළිබඳවය.

“ඉතා සරලව කෙටියෙන් කියනවා නම් එය රෝගීන් සඳහා වූ එක් ප්‍රතිකාර විධියක් ලෙස පෙන්වා දිය හැකියි. ඖෂධීය නොවන ප්‍රතිකාර ද සහිත මානසික රෝග හැරුණු කල ශාරීරික රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ඖෂධ ලබාදීම සහ සැත්කම් ප්‍රධාන කරුණු දෙක බවට පත් වෙනවා” ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා මහතා පවසයි.

නමුත් රෝගීන් සඳහා වූ ඖෂධීය ප්‍රතිකාර ලබාදීමේදීත්, සැත්කමකින් සුවය ලබා දීම යන කාරණයේදීත් පෙන්වා දිය හැකි ප්‍රධාන කරුණු දෙකක් ඇති බව ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා මහතා පවසයි.

“ඖෂධීය ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයාගේ හැකියාව වන්නේ නිවැරදිව රෝගය හඳුනාගෙන නියමිත ඖෂධ මාත්‍රාව, නිශ්චිත පරිදි ලබා දීමට කටයුතු කිරීමයි. සැත්කමකදී බලපාන්නේ එය සිදු කරන ශල්‍ය වෛද්‍යවරයා ශල්‍ය කර්මයක් උදෙසා දක්වනු ලබන හැකියාවයි.”

වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දෙන මෙම ශක්‍යතාවයන්ටම අදාළව දිගු ඇඟිලි, සමමිතික ශරීරය, සන්සුන් කටහඬ, සෘජු නාසය සහ දිදුලන සම ගැන පැරණි ආයුර්වේද ග්‍රන්ථයක් වන “සුශ්‍රැත සංහිතාවේ” සඳහන්ව ඇති නමුත් වර්තමානයේදී අදාළ හැකියාව පළපුරුද්ද විනා මේ කිසිවක් අදාළ නොවන බව හෙතෙම පෙන්වා දෙයි.

මෙම සාකච්ඡාවේ අප විසින් ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා මහතා වෙත යොමු කළ තවත් ප්‍රශ්නයක් වූයේ ශල්‍ය වෛද්‍යවරයකුට තමා විසින් කරනු ලබන සැත්කමක් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා යොදා ගැනීමේ අයිතියක් තිබේද යන්නය.

“එසේ කරනවා නම් රෝගියාට එම පරීක්ෂණය පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් සිදු කොට ඒ සඳහා වෙනමම අවසර ගත යුතුයි. ඊට අමතරව වෛද්‍ය පරීක්ෂණ සදාචාර මණ්ඩලයකින් ද (Ethical Review Board) පර්යේෂණය සඳහා අවසර ගත යුතුයි” ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

මේ හැරුණු කල ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ පිළිකාව සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන් වුවද, මොළය හෝ හෘදය වස්තුව ආශ්‍රීත පිළිකා සැත්කමකට යොමු නොවන බවය. ඉතාමත් හදිසි අවස්ථාවක රෝගියකුගේ ජීවිතයක් බේරා ගැනීමට වෙන මගක් නැති විටකදී පමණක් එවැන්නකට ඉදිරිපත්වීමට ඉඩ ඇති නමුදු, එවැනි වෛද්‍යවරුන් ඒ සඳහා පුහුණුවක් ලබා නැති බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම ලිපියේ ප්‍රස්තූතය වූ සැත්කමක් සඳහා රෝගියකු බිය වන්නේ ඇයිද යන ගැටලුව සම්බන්ධව කතා කිරීමේදී ඒ සඳහා කරුණු ගණනාවක් බලපාන බව වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

“එයින් පළමු වැන්න හඳුන්වන්නේ නොදන්නා දේට ඇති බිය වශයෙන්. ඒ කියන්නේ සැත්කමක් වශයෙන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔහු තුළ දැනුවත් භාවයක් නැතිකමයි. මේ නිසා මෙය කෙතරම් බරපතලද? තමාගේ සිරුරෙන් කොතරම් ලේ ගලා යයිද යන බිය ඔහු තුළ ඇති වෙනවා. එය රෝගියා අඳුරු ගුහාවකට යෑමට බිය වෙනවා වගේ හැඟීමක්.” “දෙවනුව පෙන්වා දිය හැකි කාරණාව වන්නේ සැත්කමකට පෙර මොකද වෙන්නේ, සැත්කම වෙලාවෙදී මොකද වෙන්නේ? ඉන් පසුව මොකද වෙන්නේ? යන කාරණා පිළිබඳව රෝගියකු තුළ බියක් ඇති වන බවයි.”

“ශල්‍ය කර්මයකින් පසු ඇතිවන සමහර සංකූලතා ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වන දේවල්. නමුත් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සංකූලතාත් ඇති විය හැකියි. රෝගියකු තුළ මේ පිළිබඳව බියක් ඇති වන්ටත් පුළුවන්. අපි රෝගියකුට මේ මේ තත්ත්වයන් යටතේ ශරීරයේ සමහර කොටස් හිරි වැටීමකට ඉඩ ඇති බව හෝ බඩ බුරුල් කර යෑමක් ඇති විය හැකි බව පැවසූ විට වුවද, සිදුවිය හැක්කේ මෙපමණක් ද යන ප්‍රශ්නය ඔවුන් අපගෙන් විමසනවා. ඒ වගේම තමයි සංකීර්ණ රෝගී තත්ත්වයක් ගැන පැවසූ විට “මට මේ රෝගය තිබෙන බව ඇත්තටම ඔබට විශ්වාස ද යනුවෙන්” වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන රෝගීන් බහුලව සිටිනවා. ඒ වාගේම තමයි රෝගියකු සැත්කමකට නිර්දේශ කළ විට “මේ සඳහා ඔපරේෂන් එක හැර වෙන මොකුත් ප්‍රතිකාරයක් නැතිද?” යනුවෙන් ඇසීම. ඒ හැරුණු කල සිහි නැති වුණාට පසු මොකද වෙන්නේ? යන බිය ද සමහරෙක් තුළ පවතිනවා. ඊටත් අමතරව තවත් සමහරෙක් තුළ ඇති වන බියක් වන්නේ ශල්‍යකර්මය සිදු කරමින් සිටින අතරතුරදී තමන්ට සිහිය ඒදැයි යන ගැටලුවයි.”

ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දෙන පරිදි වර්තමානයේදී ශල්‍යකර්මයක් අතරතුරදි රෝගියා සිහිසුන්ව තබා ගන්නේ ඔක්සිජන් සහිත විශේෂ වායු මිශ්‍රණයක් මගිනි. එන්නත් භාවිතා කරනු ලබන්නේ සිහිනැති කිරීමේ ආරම්භය සඳහා පමණි. මේ තත්ත්වය යටතේ සැත්කමක් අතරතුරදී රෝගියකුට සිහි එළඹීමක් සිදුවීම යනු ඉතාමත් කලාතුරකින් සිදු විය හැක්කකි. මේ මොහොත වන විට එවැනි එළඹීමක් සිදු වුවහොත් අක්ෂිගෝල ආශ්‍රීත යෙදවුමකින් ඒ බව දැකගත හැකි තාක්ෂණයක් ද ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය සතුව පවතින බව ඔහු පෙන්වා දෙයි.

මේ අරබයා රෝගීන් තුළ බියක් ඇති වීමට තවත් හේතුවක් ලෙස වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දෙන්නේ අනෙක් ප්‍රතිකාරයකදී මෙන් නොව, සැත්කම ආරම්භ වීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය රෝගියාට අහිමිවීමය. උදාහරණයක් ලෙස ඔහු පවසන්නේ පිළිකා රෝගය සඳහාම වූ තවත් ප්‍රතිකාරයක් වන කීමෝ තෙරපි ලබා දීමේදී රෝගියාට අවශ්‍ය නම් එය ප්‍රතික්ෂේප කර ආපසු යා හැකි බවය. නමුත් සැත්කමක් අතරතුරදී තමා සිටින්නේ වෛද්‍යවරුන්ගේ පිහිට මත පමණක් බව මෙන්ම මේ පිරිස නිවැරදිව සැත්කම නිම කරාවිදැයි යන්න ද සමහර රෝගීන් බියට පත් කීරීමට හේතු වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

සැත්කම අරබයා රෝගීන් බියට පත්වන තවත් අවස්ථාවක් ලෙස වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දෙන්නේ සරල සැත්කම් වන ඇපැන්ඩිසයිටිස් හෝ සිසේරියන් සැත්කමක් වැනි අවස්ථාවකට මුහුණ දීමේදී කෙනෙකුට ඇති වූ සංකූලතා නිසා පවා නැවත සැත්කමකට මුහුණ දීමට රෝගියකු තුළ සාධාරණ බියක් ඇතිවිය හැකි බවය.

නමුත් මෙවැනි අවස්ථාවකදී කළ යුතු හොඳම දෙය සැත්කමට “බැහැ” යි කීම නොව, තමා මුහුණ දුන් ගැටලුව පිළිබඳව ශල්‍ය වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම බව ඔහුගේ අදහසයි. අනෙක් පැත්තෙන් ගත්කල රෝගියා සැත්කමට බැහැයි කියන්නේ ඇයිද යන්නට පිළිතුරක් සොයා ගැනීම ද ශල්‍ය වෛද්‍යවරයාගේ වගකීමයි. මුල් අවස්ථාවේදී රෝගියා තුළ අසාත්මිකතාවයක් ඇති වුණේ කුමන බෙහෙත් වර්ගයක් නිසාදැයි ආදී කාරණා, පැරණි වාර්තා ඇසුරින් සොයා ගැනීමට වෛද්‍යවරයා සමත් විය යුතුය. මන්ද යත් සමහර විටක තමා අසාත්මිකතාවයට ලක්වූ බෙහෙත් වර්ගය පවා රෝගියා නොදැන සිටින්නට ඉඩ ඇති බැවිනි.

ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා ඊළඟට පෙන්වා දෙන්නේ සංස්කෘතික වශයෙන් අප තුළ වූ යම් යම් ගුප්ත විද්‍යාත්මක බලපෑම් ද සැත්කම් කෙරෙහි බියක් ජනිත කරවීමට හේතු විය හැකි බවය. උදාහරණයක් වශයෙන් හෙතෙම පෙන්වා දෙන්නේ මේ මොහොතේ මාරක අපලයක් ඇති බව කේන්දරයෙන් පෙනෙන බව පැවසීම නිසා රෝගියකු සැත්කමකට බියක් දැක්විය හැකි බවය. විශේෂයෙන්ම පිළිකා රෝගියකු වැනි අයකු ඒ අයුරින් අපල ගෙවන තුරු සැත්කම කල්දමා ගැනීම බරපතල ලෙස අනතුරුදායක බව හෙතෙම පෙන්වා දෙයි. සැත්කමකින් පසු තම ශරීරය කුමන ආකාරයට පත්වේද යන කාරණයද, කෙනෙකු තුළ ඒ සඳහා බියක් දැනවීමට හේතුවක් වී තිබෙන බව ඊළඟ කරුණ බව ඔහු පවසයි. උදාහරණයක් ලෙස කාන්තාවකගේ පියයුරු ඉවත් කිරීමට සිදුවීම පෙන්වා දෙන ඒ මහතා ඇය නිළියක හෝ නිරූපණ ක්ෂේත්‍රයේ සිටින තැනැත්තියක වී නම් තම සිරුර පිළිබඳව ඇතිවන හැඟීම නිසා සැත්කමකට බියක් ඇතිවිය හැක. කාන්තාවකට මෙන්ම පුරුෂයකු තුළ ද මේ ආකාරයට අතක් කකුලක් ඉවත් කිරීමෙන් පසු ඇතිවන තත්ත්වය ගැන හැඟීම සැත්කමකට බියක් ඇතිවීමට හේතුවක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

රෝගියකු සැත්කමක් පිළිබඳව බිය ඇති කරවන තවත් විශේෂ සාධකයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ වෛද්‍යවරයාගේ උපදෙස් ඉක්මවා ඥාතී මිත්‍රාදීන් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයන්ගේ අවිද්‍යාත්මක මති මතාන්තර විශ්වාස කරන තත්ත්වයට රෝගියා පත්වීමය. එසේම එක් එක් රෝගීන් තම තමන් ලැබූ රෝගී තත්ත්වයන් සඳහා තම තමන් ලැබූ නොයෙක් ආකාරයේ තාවකාලික වෛද්‍ය ප්‍රතිකාර හා බිය දනවන අදහස් ප්‍රකාශ කිරීම රෝගියකු සැත්කමකට බිය උපදවන කාරණා වීමට බොහෝ විට හේතුවේ. උදාහරණයක් වශයෙන් කෙනෙකුට බරපතල තත්ත්වයක් ඇති කරවන පිළිකා රෝගී තත්ත්වය හා කීමෝ තෙරපි ප්‍රතිකාරය ගැන ද නිරන්තරයෙන් කියවෙයි. එහෙත් යම් පිළිකා රෝගියෙකුට කීමෝ තෙරපි දෙනවාද නැතිද යන්න ගැන තීරණය කෙරෙන්නේ එම පිළිකාව පැතිරී ඇති තත්ත්වය අනුවය. සාමාන්‍යයෙන් පිළිකා රෝගයේ පළමුවැනි අවස්ථාවේදී බොහෝදුරට කීමෝ තෙරපි ප්‍රතිකාරය නොදෙන අතර, ඒ වෙනුවට දෙනු ලබන්නේ බෙහෙත් පෙත්තකි.

මෙවැනි රෝගියකු තවත් පිළිකා රෝගියකු අමතා “මට නම් කීමෝ දුන්නැහැයි කීම” නිසා ඇත්ත වශයෙන්ම එය අත්‍යවශ්‍ය රෝගියකු ද මෙම ප්‍රතිකාරයට පිටුපෑම තමාගේ ජීවිතය බරපතල අනතුරකට දමා ගැනීමකි.

එසේම මුදල් පමණක් තම එකම බලාපොරොත්තුව කරගත් වෛද්‍ය වෘත්තිකයකු “ඔබ අකමැති නම් කීමෝ නොදී ඉන්නම්” යයි කියමින් එවැනි රෝගියකු වෙනත් ප්‍රතිකාර ද ලබා දීමට ඉඩ තිබෙන අවස්ථා තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

මේ හැරුණු කල සැත්කම් නොකළාට ඕනෑම දරුණු රෝගයක් සුවපත් කළ හැකි වෙදැදුරන් පිළිබඳව කෙරෙන ප්‍රචාරයන්ද සැත්කම්වලට ඇති බිය වැඩිකරන අතරම, රෝගියා දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත් කරවන බව ඔහු පෙන්වා දෙයි.

ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දෙන විද්‍යාවට එරෙහි මිථ්‍යාවන් පැතිරීම සමාජය තුළ කොතෙක් ව්‍යාප්තව ඇතිද යත්, එය සමාජ විද්‍යාව පිළිබඳ උපාධි නිබන්ධනයකට සුදුසු තරම් කරුණුවලින් පිරී ඇති බව පෙනේ. “නමුත් එකම රෝගී තත්ත්වය එක එක පුද්ගලයා තුළ පැතිර ඇත්තේ විවිධ මට්ටම්වලින් බව අප අමතක නොකළ යුතුයි. ඒ නිසා එකම රෝගයකුට වුවත්, හැමටම ප්‍රතිකාර ලැබෙන්නේ එකම විදියකට නොවෙයි. කෙනෙකුට සැත්කමක් නොකළ යුතු රෝගයකට තවත් අයෙකුට සැත්කමක් කළ යුතු වන්නේ ඒ නිසා” බව විශේෂඥ වෛද්‍ය රංග පෙරේරා මහතා පෙන්වා දෙයි. මුදල් පිළිබඳ බියද සැත්කමකට මුහුණ දීමට බිය ඇති කරවන්නක් බව ඒ මහතා කියයි.

“අද සැලසුම් සහගතව කරනු ලබන සැත්කම් සියයට සීයක්ම දක්වා සාර්ථකත්වයට ළඟා වී සිටිනවා. ඒවායින් ඇතිවන වේදනාව නැති කිරීම සඳහා ඉතා හොඳ ක්‍රමවේද සකස් වී තිබෙනවා.”

“ලෝකයේ ඕනෑම දියුණු රටක ශල්‍ය වෛද්‍යවරුන්ට සමකළ හැකි වෛද්‍යවරුන් අප රටෙහි සිටිනවා. මා මුලින් කී පරිදිම සැත්කමක් යනු ආර්ට් එකක්.”

තිස්ස ප්‍රේමසිරි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විශේෂාංග

වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය

අතිරේක විශේෂාංග

භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි

අතිරේක විශේෂාංග

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

අතිරේක විශේෂාංග

බොලපැන් පූජාවෙන් පිදුම් ලබන සුමන සමන් දෙවියෝ

අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය…..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok