දෙවියන් ගැන සාහිත්‍ය
දෙවියන්ගේ කුමාරයා යැයි මහාවංශයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වන සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේව මාලිගාව පිහිටා තිබෙන්නේ රත්නපුරයේය. එය ජනකවියා දුටුවේ මෙසේය.
කන්ද උඩින් බැස්ස කලට පෙනේය උළු මාලිගාව
රෑ දාවල අඳුර නැතිව රන්කොත් බබළන සොබාව
බිම්බරකින් සෙනඟ ඇවිත් රටට සැදෙව් මාලිගාව
ලංකාවට තිලකය වෙයි සබරගමුවෙ මාලිගාව
පියගැටපෙළ නැග මුලින්ම පිවිසෙන්නේ ශාන්ති මණ්ඩපයටයි. මෙම කොටස මුර සේවා කටයුතු පැවැත්වීමටත්, බස්නායක නිලමේ සහිත නිලධාරි මණ්ඩලයට විවේක ගැනීමටත් වෙන්කර ඇති කොටසයි. ඉන්පසු මේ කොටසට මඳක් උසින් අඩි 50ක් පමණ දිග ශාලාවකි. එය දිග්ගේ නමින් හැඳින්වෙයි. මෙම දිග්ගෙයට අඩි 4ක් පමණ උසින් වැඩසිටින මාලිගාව හමුවේ. එය සඳුන් කූණම නමින් හඳුන්වනු ලැබේ. මෙහි පළමු කොටස මහ ගබඩාවයි. දෙවැනි කොටස දේවාභරණ තැන්පත් කරන කොටස. තුන්වැනි මහල සමන් දේව ප්‍රතිමාව වැජඹෙන ස්ථානයයි.
දොරටුවක් සහිත උස තාප්පයකින් වටවුණ පැරණි ළිඳකි. බොහෝ පැරණි දේවාලවල වගේම මහ සමන් දේවාලයටත් තිබෙනවා දෙවියන්ගේ කොඩිය. මේ කොඩියේ හරි මැද සමන් දෙවිඳුගේ රූපය දක්නට ලැබේ. එම රූපයේ එක අතක දුන්නක්, අනෙක් අතෙහි ඊතලයක් දරා සිටී. එම චිත්‍රයට ගැළපෙන මල්යහන් කවියක් මෙසේය.
සමන් එගිරි පරුවත මුඳුනේ වැඩ සිටිමින
එරන් දුන්න රන් හීයක් සුරත දරා ගෙන
නිවන් දකින දෙවියෙක් නැත – ඔබහැර කිසිවෙන
සමන් දෙවියො වැඩයහනට – දලුමුර කැපගෙන
සද්ධර්ම රත්නාවලියේ සඳහන් කාලි යකින්නගේ කතා වස්තුවේ සඳහන් වනුයේ බුදුන් වහන්සේ වැඩ සිටි සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ දොරටුව අබියස කිරිපලු රුකට අධිගෘහිතව මුරකරමින් සිටියේ සමිද්ධි සුමන දෙවියන් වගය. මේ කතා පුවත දාඨා වංශයේද සඳහන්ය.
අද අපට දක්නට ලැබෙන රත්නපුර මහ සමන් දේවාල භූමිය අනුරාධපුර පොළොන්නරු යුගවල දේවාලයක් නොවේ. බෞද්ධ විහාරයකි. සපරගාම විහාරය නමින් මේ ස්ථානය හැඳින් වූ බව සපරගමු වංශ කතාවේ සඳහන්ය. අතීතයේ මෙම විහාරයේ වැඩ විසූ සීලවංශ ස්වාමීන් වහන්සේ සිරිපා වන්දනාවේ යෙදී සිටියදී ගල්ලෙනක් තුළ තිබුණු සමන් දේව ප්‍රතිමාවක් දැක උත්සවශ්‍රීයෙන් පෙරහරකින් මෙම විහාරයට වැඩම කළ බවත් පසුව එම දේව ප්‍රතිමාවට පුද පූජා පැවැත්වූ බවත් කෝට්ටේ යුගයේ සම්පාදනය වූ ‘සමන් සිරිත’ ග්‍රන්ථයේ සඳහන්ය. මේ දේව ප්‍රතිමාව තැන්පත් කිරීමත් සමඟ මෙම විහාරය සමන් විහාරය නමින් ව්‍යවහාරවිය.
සමන් දෙවියන් උදෙසා දේව මන්දිරයක් මේ ස්ථානයේ බිහි වූයේ දඹදෙණි යුගයේය. කලිකාල සාහිත්‍ය සර්‍වඥ පණ්ඩිත දෙවැනි පරාක්‍රම බාහු රජුගේ ඇමැතිවරයකු වූ ආර්ය කාමදේව ඇමැතිවරයා සබරගමු පළාතේ මැණික් ගැරීමේ කාර්යය ආරම්භ කළේය. සමන් විහාරයට පැමිණ ඔහු දෙවියන්ට භාරවූයේ මැණික් ලැබුණහොත් රජුගේ අනුමැතිය ලබාගෙන මේ ස්ථානයේ දේව මන්දිරයක් ඉදිකරන බවටයි.
ගතවී ගියේ ටික දිනකි. කැකිරි ගෙඩියක් තරම් වූ ලොකු වටිනා මැණිකක් ලැබුණු බව පොත පතෙහි සඳහන්ය. මහ රජුගේ අනුමැතිය හා සහයෝගයෙන් මහ සමන් දේවාලය බිහිවිය. එතෙක් සමන් විහාරයේ වැඩ සිටි දේව ප්‍රතිමාව මෙම අභිනව දේව මන්දිරයේ තැන්පත් කරන ලදී. මේ සබරගමු මහ සමන් දේවාලයේ දෛනික පූජා කටයුතු දිනපතා සිදු වුවද සිරිපා මළුවේ පිහිටි සමන් දෙවොලේ පුද පූජා පවත්වනුයේ සිරිපා වන්දනා සමයේ පමණි. රත්නපුර මහ සමන් දේවාලයේ දිනපතා තේවා මුර තුනක් පවතී. එය හැන්දෑ, මධ්‍යම, අලුයම් වශයෙනි. ආලත්ති බෑමේ චාරිත්‍රය ආලත්ති අම්මලා විසින් සිදුකෙරේ. එය රාජනියමයෙන් සිදුවූයේ මෙහි පමණක් නොවේ. මහනුවර දළදා මාලිගයේ සහ කතරගම පිහිටි මහා දේවාලයේද එදාමෙදා තුර සිදුකෙරෙන චාරිත්‍රයකි. ආලත්ති බෑමෙන් පසු මුරුතැන් පූජාව සිදුකෙරේ. සමන් දෙවිඳුට නැතුවම බැරි පූජාවක් ලෙස හැඳිකැවුම් පිදීම දිනපතා සිදුකෙරේ.
තවත් අපූරු පූජාවක් වෙත ඔබේ අවධානය යොමු කළ යුතුය. නිදා සිටි කපුමහතාගෙන් දෙවියන් ඇසුවේ කෝ බොල පැන්? තිගැස්සී අවදි වූ කපු මහතා මේ පුවත දේවාල භාරකාරත්වයට දැනුම් දුන්නේය. වහාම රාජකාරි මණ්ඩලය ගෙන්වාගෙන ශබ්ද පූජා මධ්‍යයේ උඩුවියන් පාවාඩ සහිතව පැන් වැඩීමේ පූජාව සිදුකළෝය. එදා මෙදා තුර එම පූජාව හඳුන්වනු ලබන්නේ “බොලපැන්” පූජාව ලෙසය. මේ උතුම් පූජාව සිදු කරනුයේ සවස තුනට පමණය.
වර්තමානයේ මෙම පූජාව සිදුකිරීම ඇසළ පූජෝත්සව සමයේ පමණක් සිදුකෙරෙන වග දැන ගන්නට හැකිවිය.
ඔබ සැමට සමන් දෙවිඳු කරුණාවයි !
නිමල් කුඩාතිහි කතරගම