පොසොන් සඳකිරණ බෝ ගසේ තුරුවදුලු අතරින් වැලිමළුව සිපගන්නා මේ පිංබර මොහොතෙහි අනුබුදු මිහිඳු මාහිමියන්ගේ සදානුස්මරණීය සසුන් මෙහෙවර අරබයා දහසකුත් එකක් පිං සිතුවිලි අප මනසට ගලා එයි. ක්‍රි.පූ. තුන්වැනි සියවසෙහි දඹදිව ධර්මාශෝක රජුන් දවස උන්වහන්සේ මෙරටට වැඩමකර වන ලද්දේ අද්විතීය සංස්කෘතික දූතයෙකු වශයෙනි.
උන්වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ පුතණුවෝය. අවුරුදු විස්සේදී පමණ මිහිඳු කුමරු මොග්ගලීපුත්තතිස්ස මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදිබිමට සැපත් වූහ.
මජඣන්තික මහතෙරුන් කර්මාචාර්යත්වයට තබා උතුම් උපසපම්භූමියට ද පත්වූහ.
මිහිඳු මාහිමියන් මෙරටට සැපත් වූ කාලපරිච්ඡේදයෙහි මෙරටවාසීහූ ග්‍රාම්‍ය පුදසිරිත්වලට නැඹුරුව සිටි බව මහාවංශය සඳහන් කරයි. එකි පුද සිරිත් අතර වෘක්ෂ වන්දනය, දේව වන්දනය, යක්ෂ යක්ෂණී වන්දනය මුල්තැන ගත් බව පෙනේ. එසේම විවිධ ස්වරූපයේ පුද පූජා හා උත්සවද පැතිර පැවතිණ. තවද දළඳා සමිඳුන් සැමරීම සඳහා පැවැත්වූ විසිතුරු පුද පෙරහැර කිහිපයක් පිළිබඳව ද මහාවංශයෙහි තොරතුරු සටහන්ව තිබේ.
පොසොන් සඳත් සමග පෙළසැදෙන වල්පොල පොසොන් මහා පෙරහැර මුළුමහත් ජාතිය වෙනුවෙන්ම ඉටුකෙරෙන කෘතවේදී මෙහෙවරක් බව විශේෂයෙන් සිහිපත් කළ යුත්තකි.
දශක නවයකටත් වඩා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මේ අසිරිමත් මහා පෙරහැර ක්‍රි.ව. 1929දී පමණ සාමාරම්භ කරන ලද්දකි. එවක වල්පොල සංගම් ශාලාවේ සිට ප්‍රධාන ගමේ විහාරස්ථානය වූ විමලරත්නාරාම මහ වෙහෙර දක්වා පැවැත් වූ මල් පෙරහැර මේ පෙරහැර මංගල්‍යයෙහි සමාරම්භයයි. වල්පොල පොල්පිතිමූකලාන කොස්පැලෑන යන තෙගම්වාසීන්ගේ උදාර කැපවීම හා පරිත්‍යාග නිසාම වසරින් වසර දියුණුවෙන් දියුණුවට පත්වෙමින් මේ වනවිට බස්නාහිර පළාතේ ඇති අති දර්ශනීය පෙරහැරක් බවට පත්වී තිබේ.
මෙම පෙරහැරෙහි මුල් යුගයෙහිදී වැඩමකරවන ලද මිහිඳු ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ සුප්‍රකට චිත්‍ර ශිල්පි සාර්ලිස් සිල්වා මහතා විසිනි. එසේම දැනට කොහොඹ අරටුවෙන් නෙළන ලද දැවමය ප්‍රතිමාව ප්‍රථමයෙන් පෙරහැරේ වැඩමවනු ලැබූයේ බුද්ධජයන්ති වසරෙහිදීය.
අසිරිමත් මෙකී දර්ශනීය මහා පෙරහැර 96 වෙනි වතාවටත් පොසොන් මස 9 වෙනි දින වීථි සංචාරය කෙරෙති. පෙරහැරෙහි හැඩතල ඔප්නගමින් උඩ පහත දෙරටෙහි කලාකරුවන් සිය ගණනක් රංගනයෙන් අලංකාරවත් කෙරෙන අවට ගම්වල දූ දරුවන් විශාල පිරිසක් විවිධ නෘත්යාංගවලින් පෙරහැර අසිරිය දෙගුන තෙගුන කෙරෙති. මේ පොසොන් පෙරහැර මුළු රටටම අලෝකයකි.
ශත වර්ෂයකට ඉතා ආසන්න මේ උතුම් වල්පොල මහා මිහිඳු පෙරහැර මේ වසරේහි ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. ශ්‍රී බාලාණිවෘද්ධිවර්ධන සංගමයේ මෙකී උදාර පරිශ්රමයට මැති ඇමැති තුමන්ලාගේත්, පළාත් සභා, ප්‍රාදේශීය සභා නගර සභා, සහ ගම්පහ මහ දිසාපතිතුමන්ගේ සහ රාගම පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ හා කාර්ය මණ්ඩලයේත් ලබාදෙන සහාය ඉතා අගේ කළ යුත්තකි. තවද බාලාභිවෘද්ධි සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයටත්, අපේ ආශීර්වාදය හිමිවිය යුතු අතර මිහිඳුමාහිමි ප්‍රතිමාව වැඩමවන රථය තැන්පත් කිරීම සඳහා අගනා ප්‍රතිමා
ගෘහයක් සාදවා පූජා කළ එච්.ඩී. ධර්මරත්න මැතිතුමාද පිං දීමෙන් සිහිපත් කරමු.
තවද අතිපූජ්‍ය කලුවලගල විමලසාර පණ්ඩිත ස්ථවීරයන් වහන්සේගේ කැපවීමෙන් අප විහාරස්ථානය සකලංග සම්පූර්ණ පුදබිමක් වූවා සේම උන්වහන්සේගේ කාරුණික අවවාද අනුශාසනා මැද ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතියද දිනෙන් දින දියුණුවට පත්වේවා යයි ආශීර්වාද කරමු.
අගගමහාසද්ධම්ම ජෝතික ධජ
ආචාර්ය වල්පොල විමලඤාණ අනුනාහිමි
ගංගාරාම මහා විහාරය,
පෑලියගොඩ.