ගාල්ල දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය ජම්බු කැටි ශ්‍රී සුගතාරාමය, සමගිවත්ත අභිනවාරාම තුන්බෝධි විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා හක්මණ පල්ලාවෙල දකුණ පිටවල්ගමුව ශ්‍රී නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, සමස්ත ලංකා සාමවිනිසුරු, ගාල්ලු මාතර හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පල්ලාවෙල සුමේධවංස නාහිමියන් යනු සසුන්කෙත ආලෝකවත් කරන මහා යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වී මෙම මස 10දා ඓතිහාසික පොසොන් පුර පසළොස්වක පොහෝ දිනට පුරා වසර 49ක් සපිරේ. ආදර්ශවත් පැවිදි දිවියක් ගත කරන අප නාහිමියන්ට ආශිර්වාද පිණිස විශේෂ පිංකම් මාලාවක් ද එදින සිදුකිරීමට කටයුතු යොදා ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
දකුණු ලක මාතර දිස්ත්‍රික්කයට අයත් දකුණු පල්ලාවෙල නම් සුන්දර ගම් පියසේදී අයි. සයින්දරා සහ කේ. ඒ. හර්මානිස් යන මව්පිය දෙපළට දාව 1956 නොවැම්බර් මස 15 වැනි දින මෙලොව එළිය දුටු මෙම පින්වත් කුමරු මවුපිය සහෝදර ඥාතීන්ගේ පූර්ණ ආශිර්වාදය මැද 1976 ජුනි මස 10 වැනි දින හක්මන දකුණු පල්ලාවෙල ශ්‍රී නිග්‍රෝධාරාමයේදී ප්‍රවෘජ්ජා දිවියට ඇතුළත් වූයේ පල්ලාවෙල සුමේධවංස යන ශාසනික නාමයෙනි. එහිදී උන්වහන්සේගේ ආචාර්ය වහන්සේ වූයේ දෙවාලේගම සුවණ්ණ ජෝති නාහිමියන්ය. පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසුව අධ්‍යාපන කටයුතු කෙරෙහි බෙහෙවින් රුචිකත්වයක් දැක් වූ මෙම තරුණ සාමණේරයන් වහන්සේ ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා පරිදි පොත්තේවෙලේ ජිනරාජ පරිවෙණස්ථානයට ඇතුළත් කරන ලද්දේ මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහාය. එලෙස වසර දෙකක් පමණ නොයෙක් දුෂ්කර බාධක මැද තම ඉගෙනුම් කටයුතු කළ සුමේධවංස හිමියන් ඉන්පසුව ඇතුළත් වූයේ අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පරිවේණස්ථානයටය. එහිදී ද ඉතා දක්ෂ ලෙස සියලු කටයුතු සිදුකරන ලද මෙම සාමණේරයන් වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල පුඤ්ඤසාර පරිවේණස්ථානයට ඇතුළත් වෙමින් එකී කටයුතු මනාව සිදුකරන ලදී. එහිදී බද්දේගම දේවරක්ඛිත, ගාල්ල විද්‍යාලෝක පරිවෙණාධිපතිව වැඩ විසූ අකුරැටියේ නන්දසාර වැනි උගත් මහා සංඝ පීතෘන්වහන්සේලා ඇසුරින් තම පැවිදි දිවිය ආලෝකය කරා යොමු කරගත් සුමේධවංස හිමියෝ 1984 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් භාග්‍ය සම්පන්න විය.
නොපසුබට උත්සාහය, අධිෂ්ඨානය ඔස්සේ ක්‍රියා කළ සුමේධවංස හිමියන් එකී විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද බොහෝ සේවාවක නිරත වූහ. එහිදී විශේෂයෙන්ම අනුරාධපුර අභයගිරි ආදී පුරාවිද්‍යා ස්ථානයන්හි කැණීම් කටයුතු සිදුකරමින් අධීක්ෂණ නිලධාරියෙක් ලෙස සුවිශාල මෙහෙවරක නිරත වූ බව සිහි කළ යුතුය. මෙකී කාලය තුළ එනම් 1992 වසරේදී
දංගෙදර සුගතසීල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූ සුමේධවංස තරුණ යතිවරයන් වහන්සේ එතැන් පටන් තම ශාසනික, අධ්‍යාපනික හා සමාජීය සේවාව පුළුල් කරමින් ක්‍රියාකරන්නට වූහ. එම කාලවකවානුවේදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද බෞද්ධ දර්ශන ඩිප්ලෝමාව ද ශාස්ත්‍රපති උපාධිය ද කැලණි විශ්වවිද්‍යාලයෙන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න වූ සුමේධවංස හිමියෝ 1993 වසරේදී පළමුව පාසල් ගුරුවරයෙක් ලෙස මොරටුව ශාන්ත මෙතෝදිස්ත විද්‍යාලයෙහි බොහෝ සේවාවක නිරත වූහ.
ස්වකීය ගුරු දේවයන් වහන්සේ වන දංගෙදර සුගතසීල නාහිමියන් එම කාල සමයෙහි බොහෝ ගිලන්ව වැඩ විසූ අතර උන්වහන්සේට ද සියලු ඇප උපස්ථාන සිදුකළ අතර 1994 වර්ෂයේදී නාහිමියෝ අපවත් වූහ. එලෙස තම ගුරු දේවයන් වහන්සේ අපවත් වීමෙන් පසුව ජම්බුකැටිය ශ්‍රී සුගතාරාම විහාරස්ථානයෙහි වැඩවාසය කරමින් එහි විහාරාධිපතීන් වහන්සේ ලෙස බොහෝ විහාරංග ගොඩනංවා ශිෂ්‍ය බාලාදීන් තනමින් තම රාජකාරි පාසල් සේවාව ද මනාව සිදුකිරීම බෙහෙවින් ප්‍රශංසනීයය. මෙකී කාලයෙහි දංගෙදර ජයවර්ධන විද්‍යාලයට මාරුවීමක් ගෙන සේවාවන් සිදුකරන අතරතුර දංගෙදර ජයවර්ධනාරාම මූල මහා විහාරය බොහෝ සෙයින් අභාවයට ගොස් තිබිණ. දහවල් දානය වැළඳීම සඳහා මෙම විහාරස්ථානයට වැඩම කළ සුමේධවංස ස්වාමීන් වහන්සේට එහි වැඩ විසූ පල්ලාවෙල සුමනවංස හා වලකුඹුරේ ධම්මරාම යන ස්වාමීන් වහන්සේලාගේ ආරාධනාවට අනුව 2015 අග භාගයේදී මෙම විහාරස්ථානයෙන් සියලු කටයුතු භාර ගැනීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාම සුළු කාලයක් තුළ මෙම පින්බිම රමණීය සියලු විහාරාංගවලින් පරිමිත බොදු සිත් පුබුදු කරන මහා විහාරස්ථානයක් බවට පත් කිරීමේ ගෞරවය නිතැතින්ම හිමි වන්නේ පල්ලාවෙල සුමේධවංස ස්වාමීන් වහන්සේටය.
එවැනි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි සසුන් කෙත බබළවමින් බොහෝ සේවාවක නිරත වූ සුමේධවංස මාහිමියන් 2023 වර්ෂයේදී අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකාය විසින් ‘සිරි සුමන ජෝත්‍යභිධාන සුගතශීලවංශාවතංස සුවණ්ණජෝත්‍යාලංකාර ශාසන කීර්ති ශ්‍රී සද්ධම්මවාංගීශ්වර’ යන ගෞරව නාමය සහිත ගාල්ල, මාතර, හම්බන්තොට තෙදිශාවේ මහා අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.
ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනේ ආචාර්ය
දර්ශනපති කනංකේ විජිත නන්ද හිමි