ජීවන මඟේ 98 වැනි වියට පා තබන අයිරාංගනී සේරසිංහ පෙර දවසක දිවයිනට කියපු දේ
චිරං ජයතු… රංගධාරිනියනි…

ඇය අද සිය ජීවන ගමගේ 98 වැනි වියට පා තබයි. එතුමියට චිරං ජීවනය අපි පතමින් මීට පෙර දවසක ඈ ‘දිවයින’ට පැවසූ අදහස් උපුටා ගැන්මක් අපි ඉදිරිපත් කරනුයේ මේ ශ්‍රේෂ්ඨ රංගධාරිනියට පිරිනමන සුභාශිංසනයක් ලෙසිනි.
අයිරාංගනී රොක්සානා මීදෙනිය… මීදෙනිය රටේ මහත්තයාගේ දෙවැනි දියණිය ලෙස නවසිය විසිහතේදී උපන්නාය. මීදෙනිය මුදුගොමුව ගමේ මීදෙනිය වලව්වේ දිවි ගෙවූ ඕ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඒ කොළඹ බිෂොප් විද්‍යාලයෙනි. ඈ නවසිය හතළිස් හතේදී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ අයිරාංගනී එහි ඉංග්‍රීසි නාට්‍ය සංගමය කළ ‘ද සෙකන්ඩ් මිසිස් ටැන්කරේ’ නාට්‍යයේ රඟපෑවාය. ඒ ඇගේ පළමු රංගනය විය. ඇය එහි රඟපෑවේ මිසිස් ටැන්කරේගේ චරිතයයි.

ඉන්පසුව ඕ ඉංග්‍රීසි නාට්‍ය රැසකම රඟපෑවාය. ඒ මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික්ගේ මඟපෙන්වීම යටතේය. ‘ඇන්ටිගනී, බ්ලැක්චීෆන්, ට්වින්ස්, ගෝස්ට්ස්, ද ගවර්න්මන්ට් ඉන්ස්පෙක්ටර්, ද ත්‍රී සිස්ටර්ස්, ද හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා, මැක්බත්, ද කොකේෂියන් චෝක් සර්කල්, ඔතෙලෝ, ඇතුළු ඉංග්‍රීසි නාට්‍යවල ඈ රඟපෑවාය. ඇය තම වෘත්තීය ජීවිතය ඇරඹුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙසිනි.
ඉන්පසුව අයිරාංගනී කෙටි නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළාය. ඒ ‘රාමා සහ සීතා’, ‘පෝරිසාදයා’ යන නාට්‍ය දෙකය.
එකල අයිරාංගනීට හෙන්රි ජයසේනයන්ගේ ‘අපට පුතේ මඟක් නැතේ’ ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණ’ යන සිංහල නාට්‍ය දෙකේ රඟපෑමේ අවස්ථාව ලැබිණි.
ඉන් සිය කුසලතාව විදහා දැක්වූ අයිරාංගනී මහාචාර්ය ලුඩොවයික්ගේ උපදෙස් මත එංගලන්තයට ගියයා. එහි ‘ද බි්‍රස්ටල් ඕල්ඩ් වික් තියටර් ස්කූල්’ නම් පාසලෙන් රංගනය පිළිබඳ පුහුණුවක් ලැබුවාය. ඉන්පසුව අයිරාංගනී එංගලන්තයේම තිබෙන ‘සෙන්ට්‍රල් ස්කූල් ඔෆ් ස්පීච් ට්‍රෙි්නින් ඇන්ඩ් ඩ්‍රැමටික් ආර්ට්’ නමැති පාසලට බැඳී තවදුරටත් රංගනයේ විවිධ අංශ පිළිබඳ ප්‍රගුණ කළාය.
අයිරාංගනී මීදෙනිය එවක ප්‍රකට සිනමා නළුවකු වූ වින්ස්ටන් සේරසිංහ සමග විවාපත් වූවාය. එතැන් සිට ඈ අයිරාංගනී සේරසිංහ නම් වූවාය.
අයිරාංගනී සේරසිංහ සිනමාවට පිවිසියේ නවසිය පනස් හයේදීය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයේ කරලිනා හාමිගේ චරිතය ඔස්සේය.

එදා සිට අද දක්වා ඈ රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව අතිමහත්ය. දෙලොවක් අතර, බක්මහ දීගේ, සාගරයක් මැද, ගෝඩ් කිං, තුන්වැනි යාමය, දෙවැනි ගමන, හිමකතර, අවරගිර, ලොකු දුව ඇගේ විශිෂ්ටතම රංගනයන් දැකිය හැකි චිත්‍රපට කිහිපයකි.
යශෝරාවය සුදු හාමිනේ ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූ ඈ පසුව දූ දරුවෝ හි ඩල්සි ලෙස ද ප්‍රේක්ෂක ප්‍රසාදය ලබාගත්තාය. ඇතැමුන්ට ඇය තවමත් සුදු හාමිනේය. නැතිනම් ඩල්සිය.
පිළිගත් ජාත්‍යන්තර ආයතනයකින් විධිමත්ව රංගනය පිළිබඳ හැදෑරූ ප්‍රථම ශ්‍රී ලාංකීය නිළිය වන අයිරාංගනී සේරසිංහ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරියක ලෙස ද කලක් කටයුතු කළාය. සොබාදහමට සැබෑ ලෙස ආදරය කරන අයිරාංගනී සේරසිංහ නම් වූ මේ ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය අවුරුදු හතරක කාලයක් ටයිම්ස් ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කළාය. අයිරාංගනී සේරසිංහ එහි කාන්තා පිටුවේ සංස්කාරකවරිය ද විය.
“ඉස්සර වගේ නොවේ. පඩි නඟින්නත් අමාරුයි. චන්න පෙරේරාගේ චිත්‍රපටයේ කන්දක් උඩට නඟින්න වුණා. අනේ ඉතින් තරුණ ළමයි හතර පස්දෙනෙක් මාව පුටුවක වාඩි කරවලා කන්ද උඩටම උස්සගෙන ගියා. දැන් ඉස්සර කළ දේවල් කරන්න බැහැ. අපි වයසයිනේ.”
යශෝරාවය, දූ දරුවෝ සහ මෑතදී ඔබ රඟපෑ නාට්‍ය අතර වෙනසක් දකිනවාද?
ඔව්. ප්‍රේක්ෂකයන් කැමැති පරණ ටෙලි නාට්‍යවලට නේ. යශෝරාවය, දූ දරුවෝ ගැන අදත් කතා කරන්නේ ඒ නිසානේ. අනෙක එදා ටෙලි නාට්‍ය හැදුවේ හොඳින් කාලය අරගෙන. අධ්‍යක්ෂවරයාට වුවමනා විදිහට. ඒත් අද සල්ලි නිසා ක්ෂණිකව ටෙලි නාට්‍ය හැදෙනවා. ඒ නිසා අද ටෙලිනාට්‍යවල ගුණාත්මක බව අඩුවෙලා.
අලුත් පරපුරට අවවාද උපදෙස් දෙන්නේ නැද්ද?
නෑ. මම කාටවත් උපදෙස් දෙන්න යන්නේ නැහැ. මගෙන් මොනවා හරි ඇහුවොත් කියාදෙනවා. නැතුව මම යන් නෑ ඒ අයට කියාදෙන්න. අනෙක මමත් ඒ තරම් දෙයක් දන්න කෙනෙක් නෙවෙයිනේ.
නිළියක වීම ගැන සතුටුද?
මම ඉස්සර චිත්‍රසේන ළඟ නැටුම් ඉගෙන ගත්තා. වජිරාත් පොඩි ළමයෙක්. මගේ පන්තියේමයි හිටියේ. පෙළක් වෙලාවට මට හිතෙනවා නැටුම් පැත්තෙන් ගියා නම් හොඳයි කියලා. නිළියක වීම ගැන අසතුටක් නෑ. මම කරන්නේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියන එකනේ ලොකුම දේ. චිත්‍ර අඳින අය ඒක කරන්නේ කැමැත්තෙන්. සින්දු කියන අය ඒක කරන්නේ කැමැත්තෙන්. අපේ රටේ කලාකාරියක වීම ගැන අපි ආඩම්බර විය යුතුයි. මේක අප උපන් රටයි.
ජාතික මට්ටමෙන් ඇගයුම් උපහාර ලැබුණද?
මට ලොකුම දේ තමයි සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර. ඒ ජනතා සම්මානය මට සතුටක්. පාරෙදි මාව දැකලා ළඟට ඇවිත් මා එක්ක කතා කරනවා. රඟපෑම් ගැන හොඳ කියනවා. ඒක කොයිතරම් දෙයක්ද? මම කාලයක් එංගලන්තයේ හිටියා. ඒ රටේ මොන විදිහේ නිර්මාණයක් කළත් ඇති වැඩක් වුණේ නෑ. මේ ඉන්නේ අපේ රටේ මිනිස්සු නෙවේනේ කියා හිතෙනවා. ඒත් අපේ ජනතාවගේ සුවඳ මම ආදරය කරන ගම සියල්ලටම වඩා වටිනවා.

අද ඉන්න පරපුර නිතරම ප්‍රවීණයන්ගෙන් දොස් අහනවා. ඔබත් නව පරපුරේ දොස් දකින කෙනෙක්ද?
හුඟදෙනෙක් අලුත් ළමයින්ට බනිනවා. මට නම් මේ ළමයින් හරිම හොඳයි. එයාලා එක්ක වැඩ කරන්න ලේසියි. සමහර ප්‍රවීණයන් කියනවා අලුත් ළමයින් හිතන්නේ තමා ගැන විතරමයි කියලා. මට නම් එහෙම දැනිලා නැහැ. ඒ ළමයි දර්ශන තලයේදී මාවත් හොඳින් රැක බලාගන්නවා. මට හරිම කරුණාවන්තයි. කීප දෙනෙක් ඇති වැරදි කරන. සමාජයේ විවිධ චරිත තියෙනවනේ.
මගේ ලොකු පුතා කලකට පෙර අනතුරකින් නැති වුණා.
ඒ වේදනාව මට දරාගන්න බෑ. ඒත් බුදු දහම අනුව මම ඒක යටපත් කරගත්තා. පොඩි පුතා මාව බලා ගන්නවා. ගෙවල් ඉඩම් තිබුණා. ඒවා බොහොමයක් විකුණලා දැම්මා.
ඔබ පරිසරවේදිනියක්. ඒ ගැන කතා නොකරම බැහැ.
මට හරිම බයක් දැනෙනවා අපේ රට ගැන. අපේ රටට පුදුමාකාර සොබාදහමක් ලැබිලා තියෙනවා. ඒක රත්තරන් හැන්දකින් බෙදලා තියෙන්නේ. අපේම මෝඩකම් නිසා මේ සොබාදහම විනාශ වේවි කියන බය මට තියෙන්නේ. අපේම මෝඩකම් නිසා මේ සොබා දහම විනාශ වේවි කියන බව මට තියෙනවා. සංචාරක කර්මාන්තය ගැන අද කතා කරනවා. ඒත් සංචාරකයන් බලන්න කැමැති දේ අපි විනාශ කරනවා. වනාන්තර, ගස් කොළන් කපා දමනවා. මම අවුරුදු හතරක් සංචාරක මඟ පෙන්වන්නියක් විදිහට වැඩ කළ කෙනෙක්. අපේ රටට එන සංචාරකයෝ කතා කරන්නේ රටේ ගොඩනැඟිලි ගැන නොවේ. උඹලගේ රටේ කොයිතරම් කොළපාට තියෙනව ද කියලයි අහන්නේ. ඒ රටවල කොළපාටේ විවිධත්වයක් නෑ. ඒත් අපේ රටේ වනාන්තරවල හරිත වර්ණය විවිධයි. සංචාරකයන්ට ඒ ගැන පුදුමයි. වායුගෝලය, හිරු රැස්, ජලය, වෘක්ෂලතා හැම එකක්ම හැදිලා තියෙන්නේ අවුරුදු කෝටි ගණනක් තිස්සේ එකට. අපිත් තවම හැදෙනවා. වසර කෝටි ගණනකට පෙර සිටි මිනිසා නොවෙනේ අද. අප අපේ හැඩරුව වෙනස්. මේක හරියට මකුළු දැලක් වගේ. ඒ දැලේ පුරුක් එකකට එකක් ඇදිලා තියෙන්නේ. එකක් කැඩුණොත් මුළු මකුළු දැලම දුර්වල වෙනවා. හුළඟකට ලේසියෙන්ම කැඩිලා යනවා. අපි සත්ත්ව ප්‍රජාව විනාශ කර දමනවා. අපිට හොඳ නෑ කියා හිතුණට සමහර සතුන් ලෝකෙ පැවැත්මට අවශ්‍යයි. ඒත් අපි නොදන්නා කමට උන්ව විනාශ කර දමනවා. ගහකොළ වගේම වගුරු බිමත් අත්‍යවශ්‍යයි. ඒත් අද වගුරු බිම් ගොඩකරලා එක එක නාඩගම් කරනවා. මේ විනාශයේ ප්‍රතිඵල දැනෙන්න පටන් ගන්නේ අද නොවේ. අනාගතයේදී.
අජිත් අලහකෝන්