අම්පාර, රජගල ආරාම සංකීර්ණයෙන් සොයාගෙන ඇති ශිලා ලේඛනය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සනාථ කරන පැරණිම පුරාවිද්‍යාත්මක සාක්ෂිය බව පුරාවිද්‍යාඥයෝ පවසති. “අදින් අවුරුදු 2200කට කලින්, මූල බ්‍රාහ්මීය අක්ෂරයෙන් රජගල ලියන ලද ගිරි ලිපියක සඳහන් වෙනවා මේ ලංකාධීපයේ සමෘද්ධිය සඳහා වැඩම කළ ඉට්ඨිය තෙරුන්ගේ සහ මිහිඳු තෙරුන්ගේ ධාතු තැන්පත් කළ දාගැබයි කියලා” යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ගිරිකූලතිස්ස පබ්බත ලෙස අතීතයේ දී හඳුන්වන ලද මේ ආරාම සංකීර්ණය සද්ධාතිස්ස රජුගේ පුත්‍ර ලජ්ජිතිස්ස කුමරු විසින් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. රජගල වර්ග මීටර් 1085ක ප්‍රදේශයක පුරාවිද්‍යා ස්මාරක 700ක් පමණ හමුවී ඇති අතර ශිලා ලේඛන 80ක් පමණ සොයාගෙන තිබේ. හෙට පොසොන් පොහෝ දිනයයි. එය සිංහල බෞද්ධයන්ට ඉතා වැදගත්ය. මේ පොහොයට මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර වසර 2333ක් සම්පූර්ණ වෙයි. බුදුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයත් ඒ හා බැඳුණු සදාචාරයත්, සභ්‍යත්වයත් ලාංකිකයන්ට ලැබුණු අතිඋතුම් දිනය වන්නේ පොසොන් පුර පසළොස්වක දිනය යි. මිහිඳු මහරහතන් වහන්සේ සිංහල සභ්‍යත්වය ගොඩනැඟීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එනිසාම උන්වහන්සේ මෙරට වැසියෝ අනුබුදු ලෙස හඳුන්වති. එබැවින් අදවන් දිනෙක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව මතකය අවදි කිරීම, දන් පැන් දීම, මලක් පහනක් පිදීම හෝ පෙහෙවස් සමාදන්වීම වැනි උතුම් පිළිවෙතකින් උන්වහන්සේ පිදීම යුතුකමක් ම නොව එය අපගේ මිනිසත් බව ද වේ.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ එම ධර්මදූත පිරිස ලංකාවට වැඩම කිරීමට ප්‍රථම මිහිඳු මහරහතන් වහන්සේගේ මැණියන් වූ වේදිස දේවිය හමුවීමට වැඩම කළ බව වංසකතාවල සඳහන් වන කරුණකි. එම මෑණියන් වාසය කළේ එතුමියගේ මෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ ද ජන්ම භූමිය වූ වේදිසගිරි ප්‍රදේශයේ ය. මෙය පැරැණි ජම්බුද්වීපයේ අවන්ති දේශයට අයත් ය. මිහිඳු මහරහතන් වහන්සේ සිය මෑණියන් හමු වී වේදිසගිරි විහාරයේ සිට පොසොන් පුර පසළොස්වක දා ලංකාවට වැඩම කළ සේක. සයුරෙන් වට වූ මෙම කුඩා දිවයින දහමින් ඔද ගැන්වුවහොත් ලෝක සත්වයාගේ ශාන්තිය වෙනුවෙන් කෙතරම් මහඟු මෙහෙවරක් කළ හැකි දැයි නිවැරැදිව උපකල්පනය කරමින් ක්‍රියාකළ ප්‍රථම දූරදර්ශී චින්තකයාණෝ ද උන්වහන්සේ ම ය. අනෙක් පසින් මිහිඳු තෙරණුවෝ රූපකාය සම්පත්තියෙන් මෙන්ම උගත් බවින් හා බුද්ධිමත් බවින් ද පිරිපුන් යතිවරයාණන් කෙනෙක් වූහ.
මේ ධර්ම දූත පිරිසගේ ලංකාගමනය සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවන පෑතිස් නිරිඳුන්ගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා “පොසොන් සැණකෙළිය” නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙළිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍රව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසු මිහින්තලය – සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය. “මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී – ඍද්ධි බලධාරී පරසිත් දන්නා මහරහතන් වහන්සේලා බොහෝ වෙති” යි මිහිඳු හිමියෝ වදාළ හ. නැවත රජතුමා “ඔබ වහන්සේලා වැඩියේ කෙසේ දැ”යි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මාහිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ”යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය. දෙදෙනාගේ දැන හඳුනා ගැනීම කෙතරම් ප්‍රබල වූයේ ද යන්න සමන්තපාසාදිකාව පැහැදිලිව විස්තර කර දෙයි. පසු දින රාජමාලිගයට වැඩම කරන මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ඇතුළු රාජකීයන්ට ධර්ම දේශනා කරති. මෙලෙස දවස් ගණනාවක් රජමාලිගාවේ ධර්මය දේශනා කරන අතර ක්‍රමයෙන් පිරිස වැඩිවීම නිසා වෙනම ශාලාවක් පවා ඉදිකිරීමට සිදු වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ දක්ෂ ධර්ම කථිකත්වයත්, ආධ්‍යාත්මික ගුණ සමුදායත්, පිළිවෙළත්, රාජ්‍ය පාලනය, ආර්ථිකය හා ආගම් පිළිබඳව පැවැති දැනුමත් රජතුමාගේ වැඩි පැහැදීමට හේතු විය. මිහිඳු මහරහතන් වහන්සේගේ දුරදක්නා නුවණ නිසා රජතුමා විසින් ම ප්‍රශ්න නඟමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට ක්‍රියා කළ ආකාරයත්, මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට අවශ්‍ය මාර්ගෝපදේශ සපයමින් කටයුතු කළ ආකාරයත් වංශ කතාවලත් සඳහන් වේ. මිහිඳු මාහිමි – “මහරජ! ඔබ පණ්ඩිතයෙහි.” පවසන්නේද රජුගේ බුද්ධි මහිමය හොඳින් අවබෝධ කරගත් නිසාය.
මිහිඳු මහරහතන් වහන්සේ සිය මුළු දිවියම ගත කළේ ලක් වැසියනගේ හිතසුව සඳහා ය. සාංචියේ හමු වූ කැණීම්වල මිහිඳු හිමියන්ගේ හා යෝනක ධම්මරක්ඛිත හිමියන්ගේ පමණක් ධාතු නොතිබූ හෙයින් මුන්වහන්සේලා ඒ ඒ දේශයන් සඳහාම තම ජීවිත කාලය පුද දුන් බවත්, යළි සිය රටට නොපැමිණි බවත් හඳුනාගෙන තිබීම මෙයට නිදසුනකි. හතරවන සියවසේ ලංකාවේ රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගේ රන් පිළිමයක් කරවා එය මිහින්තලාවේ සිට අනුරාධපුරය තෙක් මහ පෙරහරකින් වඩමවා මුල්වරට මිහිඳු පෙරහරක් පවත්වන ලද බව මහාවංශයේ සඳහන් වී ඇත. දේවානම්පියතිස්ස රජතුමා අවුරුදු හතළිහක් රජකම් කළේ ය. එම කාලයේ දී මිහිඳු මහරහතන් වහන්සේ ද, තවත් සංඝයා වහන්සේ ද, සංඝමිත්තා මෙහෙණිය සහ තවත් මෙහෙණින් වහන්සේ ද ලංකාවේ බුදුදහම පැතිරවීමෙහි සුවිශාල මෙහෙයක් ඉටු කළහ. දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසුව ඊළඟට රජ වූයේ දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරෙකු වූ උත්තිය කුමරු ය. මිහින්තලේ ඇති ශිලා ලිපි තුනක ම උත්තිය රජුගේ නාමය සඳහන් වී ඇත. උත්තිය රජුගේ අට වැනි රාජ්‍ය වර්ෂයේ දී අප රටේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටු කළ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු විය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමේ පූජෝත්සවය ඉතාමත් පූජනීය ලෙසින් ඉටු කරන ලද්දේ උත්තිය රජතුමා විසිනි. මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහනයෙන් පසුව එම ධාතූන් වහන්සේලා තැන්පත් කර මිහින්තලේ සහ ලංකාවේ විවිධ පුදබිම්වල දාගැබ් සාදවන ලද බැව් ද මහාවංසයේ සඳහන් වෙයි. මිහින්තලේ එවැනි දාගැබක් පිළිබඳ තොරතුරු හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සොයාගන්නා ලදී. මිහින්තලා කඳු මුදුණේ මහා සෑය අසල මිහිඳු සෑය නමින් ප්‍රකට දාගැබ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කර සාදන ලද දාගැබකි.
සිංහලයන්ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකට ම මුල් වූයේ මිහිඳු මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිව යුතු ය. මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල පවා සිංහල සැදැහැතියාගේ ගතට සිතට ලබාදෙනුයේ විශාල සැනසිල්ලකි. මිහිදු හිමි අතීතය මෙරට සිංහල බෞද්ධයා කිසිවිටක අමතක නොකරන බව පැහැදිලිය. එය තව වසර පන්දහසක් ගියත් සිහිකළ යුතුය. බුදුරදුන්ගේ නිර්මල ධර්මයේ මෙන් ම අනුබුදු මිහිඳු හිමියන්ගේ යෝධ සෙවණැල්ල සිංහල බෞද්ධ සංස්කෘතිය වසා පැතිරී ඇති නිසා එය සැමදා සිහි කළ යුතුය. ගෞතම බුදුරදුන් වදාළ දහම අනුගමනය කළ ද තම අවසන් නිෂ්ඨාව වන නිවන මෙතේ බුදුරදුන් හමුවේ සාක්ෂාත් කිරීමෙහිලා උනන්දුවන සිංහල බෞද්ධයෝ අනාගතවංශ දේශනාව අනුව යමින් මෙතේ බුදුරදුන් දැකීම පිණිස හේතුවන පින්කම්වල නිරත වීමට උත්සුක වී ඇති අයුරු අනාගතවංශයෙන් පැහැදිලි වේ. ලංකාවාසී ජනයාගෙන් සාතිශය බහුතරයක් සිංහලයන් වූ අතර ඒ සියල්ලෝම පාහේ පසුව ක්‍රමයෙන් බෞද්ධයන් බවට පත් වූ අතර ප්‍රධාන හා බහුතර සංස්කෘතිය සිංහල බෞද්ධ එකක් බවට පත්විය. බුදු දහමේ ආභාෂය ලැබී සිංහල සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියක් බවට පත් වුව ද එහි ඇතැම් අංග එයට ආවේණික වූ ඒවා ලෙස සැලකිය හැකි ය. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතිය කවරේදැයි හඳුනාගැනීමේ දී මෙම වෙනස වටහා ගැනීම අවශ්‍ය වේ. මෙරට පාලකයන් අනිවාර්යයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතවිය යුතු අතර එය නොසලකා හරින්නේ නම් ඔවුන් ද විනාශ වන බව දත යුතුය. එය වර්තමාන පාලකයින් ද හොඳින් දන ගත යුතුය.
මීට වසර 2300කට ප්‍රථම මිහිඳු මහරහතන් වහන්සේගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්ම ශ්‍රවණයට කාලඝෝෂා කළ හ. සාමණේරයන් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්ම දේශනා කළසේක. ඒ ධර්ම ඝෝෂාව කිසිවකුට ආපසු හැරවිය නොහැකිය.
● චතුර පමුණුව