කිරි දෙනුන් 15,000ක් ආනයනය කිරීමට අදාළව මුළු කොන්ත්‍රාත් වටිනාකමින් රුපියල් එකසිය හැත්තෑහතර කෝටි අනූහය ලක්ෂ හැත්තෑදෙදහස් හයසිය අනූහතක මුදලක් (1,749,672,697) සැපයුම්කරු වෙත ගෙවීමට කටයුතු කර තිබුණ ද ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් මෙම වර්ෂයේ (2025) පෙබරවාරි මස වන විට ද රජයට ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.
නිසි අධ්‍යයනයකින් තොරව හා අදාළ මූලික කාර්යයන් ඉටුකිරීමට පෙර මෙම අත්තිකාරම් මුදල ගෙවා තිබූ අතර එම මුදල නැවත අය කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. කිරි දෙනුන් 15000ට අදාළ මුළු කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 20ක අත්තිකාරම් මුදලක් සැපයුම්කරු වන ඔස්ට්‍රේලියාවේ වේලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට් ආයතනය වෙත ගෙවා තිබුණි.
එමෙන්ම මෙකී අත්තිකාරම් මුදල වෙනුවෙන් පිළිගත හැකි කාර්යසාධන සුරක්ෂණයක් තබා ගැනීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය විසින් කටයුතු කර නොතිබුණි. කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව විදේශ සමාගමක් වෙත ගෙවනු ලැබූ මෙකී නිශ්කාර්ය වියදම කාර්යසාධන සුරක්ෂණයක් තබාගෙන තිබුණා නම් යම් ලෙසකින් එම මුදල ආවරණය කර ගැනීමට ඉඩ තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
මීට පෙර කිරි ගවයින් ආනයනය කිරීමේ දී පැවැති විවිධ ගැටලු හා අලාභයන් හඳුනා ගෙන ඒ සඳහා නිරීක්ෂණ මෙන්ම එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට අදාළ නිර්දේශයන් විගණනය මගින් ලබා දී තිබුණි. ඒ පිළිබඳ නොසලකා කිරි ගවයින් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලබා දී තිබුණි. එමෙන්ම වසර 10කට පමණ පෙර තෝරා ගන්නා ලද මෙකී සැපයුම්කරු නැවත ප්‍රසම්පාදනයක් සිදුනොකර කිරි ගවයින් ආනයනය කිරීමට තෝරාගෙන තිබුණි.
කිරිදෙනුන් 2500 ක් 2018 වර්ෂයේ දී ආනයනය කිරීමට සැලසුම් කර තිබිය දී එම වර්ෂයේදී ම මෙම කිරි දෙනුන් 15000 ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලබා දී තිබුණි.
කිරි දෙනුන් ගෙන්වීම සඳහා කෝටි 174කට අධික නිශ්කාර්ය වූ අත්තිකාරම් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිමය හෝ විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. නිශ්කාර්ය ලෙස ගෙවා ඇති මුදල සැපයුම්කරුගෙන් නැවත අය කර ගැනීම කටයුතු කළයුතු බවත් එසේ අයකර ගැනීමට නොහැකි නම් මේ සඳහා නිරීක්ෂණයන්, නිර්දේශයන් සහ අනුමැතිය ලබාදුන් පාර්ශ්වයන්ගෙන් අය කළ යුතු බවටත් විගණනය මගින් නිර්දේශ කර ඇත.
ලලිත් චාමින්ද