මහා පරිමාණයෙන් පොහොර ආනයනය කරන පොහොර හිමියන් විසින් කෘතීම ලෙස වෙළෙඳපොළ තුළ යූරියා ඇතුළු පොහොර හිඟයක් සූක්ෂමව නිර්මාණය කරමින්, විශාල ලෙස මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව ‘ජාතික ගොවිජන එකමුතුව’ කියයි.
මේ වනවිට වෙළෙඳපොළ තුළ යූරියා මිටියක් රුපියල් 8000ක් 8900ක් අතර මිලකට අලෙවි වුවත්, පසුගිය සතියේ එම මිල ගණන් පැවැතියේ රුපියල් 7500ක්, 7750 ක් අතර මිලක බවද කියන ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙය පොහොර ආනයනය කරන කූට වෙළෙඳුන්ගේ ක්‍රියාවක් බවද චෝදනා කරයි.
ලෝක වෙළෙඳපොළ මේ වනවිට යූරියා පොහොර ටොන් එකක මිල ඩොලර් 290-320 ක් අතර පැවැතියත්, අධික බදු නිසාවෙන් අධික මිලකට පොහොර ගැනීමට ගොවියාට සිදුව ඇතැයි ද හෙතෙම පවසයි.
රජය විසින් කෘෂි යෙදවුම් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් යූරියා පොහොර මිටියක් රුපියල් 4000කට අඩුවෙන් ගොවියාට මිලදී ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කරයි.
මේ වනවිට යල කන්නය යටතේ මුළුමනින්ම පාහේ කුඹුරු වපුරා අවසන්ව ඇතත්, මහවැලි ජලාශ යටතේ වගා කරන ලද කුඹුරු සුළු,මධ්‍යම, මහා වාරිමාර්ග යටතේ වගා කරන ලද කුඹුරු ඇතුළු සියලු කුඹුරුවලට ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක පොහොර ලබාගැනීම ගැටලුවක් වී ඇතැයි ද කියා සිටී.
සුජීව තත්සර