කුඩා ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන මාස එකහමාරක් තිස්සේ නෑ:
කන්ටේනර්, සූර්ය පැනල සහ සුළං ශක්තිය යන වචන පාර්ලිමේන්තුවේ අද වන විට තහනම් වචන වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඊයේ සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. හෙතෙම මෙසේද පැවසීය.
පාර්ලිමේන්තුවේ දැන් තහනම් වචන කීපයක් තියෙනවා. කන්ටේනර් කියනකොට ආණ්ඩු පක්ෂයෙන් නැගිටලා කියනවා අද ඕක නෙමෙයි මාතෘකාව කියලා. ඒ වගේම සුළං බලය, සූර්ය පැනල ගැන කියනකොටත් ආණ්ඩුව කියනවා අද ඕක නෙමෙයි මාතෘකාව කියල. දැන් ඒවා තහනම් වචන. රටම දන්නව රතු ලේබල් තිබ්බ කන්ටේනර් තුන්සිය විසි තුනක් පැන්නුවා කියලා. කස්ටම් එකේ නිලධාරීන් කිව්වා මේවායෙ තිබ්බෙ ආයුධ ද මොනාද කියලා ඒ අයට සැකයි කියලා. දැන් අර්ජුනා මන්ත්‍රීවරයා කියනවා ඒවයේ තිබ්බේ ප්‍රභාකරන්ගේ ආයුධ කියලා. බැලුවහම මේ කතාවල ගැලපීමක් තියෙනව.
අද වෙනකන් ආණ්ඩුව කියන්නේ නෑ මේ කන්ටේනර්වල තිබ්බෙ මොනවද කියලා.
අපි දිගින් දිගටම මේ ගැන පැමිණිලි කළා. ඒ වගේම පරීක්ෂණ ඉල්ලුවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. අන්තිමට මේ ගැන පැමිණිලි කරපු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාව සීඅයිඩී එකෙන් ගෙන්නලා. ඒක හරියට පණිවිඩකරුට වෙඩි තැබීමක් වගේ වැඩක්. හරි නම් කළ යුත්තේ අමාත්‍යවරයයි නියෝජ්‍ය අමාත්‍යවරයයි නිලධාරිනුයි ගෙන්නලා ප්‍රශ්න කරන එකයි.
ඒ වගේම කුඩා ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන (ඇව් ගෑස්) මාස එකහමාරකින් ආණ්ඩුව ගෙන්නලා නෑ. ගුවන් නියමුවන් පුහුණු කරන පාසල් මේ නිසා අපහසුතාවයට පත්වෙලා. සංචාරක කර්මාන්තයටත් මේක බලපානවා. මේක ආණ්ඩුවේ නොහැකියාව ද කියලා අපි ප්‍රශ්න කරනවා.
අනුරාධ හිරිපිටියගේ