පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තීන් පහකට අයත් වෘත්තීය සංගම් පහක් දෙවැනි දිනටත් ඊයේ (06දා) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක කර තිබූ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩපණව, රෝගීහු අපහසුතාවට ලක්වූහ.
පරිපූරක වෛද්‍ය සේවාවේ සම සෞඛ්‍ය උපාධිධාරී ගැටලුව සහ කොතලාවල විශ්වවිද්‍යාලීය වෛද්‍ය උපාධිධාරී ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය 05 දා සිට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.
කෙසේ වෙතත් දීප ව්‍යාප්ත මෙම අඛණ්ඩ වැඩ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (06දා) සවස් වනතුරුත් තීරණයක් ගෙන නොතිබිණි.
“පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තීයවේදීන් ආරම්භ කළ මේ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (06දා) අවසන් කිරීමට නියමිතව තිබුණත්, සෞඛ්‍ය ඇමැතිවරයාගේ සාදර අනුග්‍රහයෙන් මෙය තවදුරටත් දීර්ඝව කරගෙන යෑමට සිදුව තිබෙනවා. අපි නැවත වතාවක් ජයතිස්ස ඇමැතිවරයාට කියනවා ඔහු ගත් වැරදි තීරණ නිසා මෙය අඛණ්ඩව ගෙන යන්න සිදුවූ බව. ඇමැතිවරයා වට මේස සාකච්ඡාවකින් හෝ ප්‍රසිද්ධ වේදිකාවේ හෝ අප සමග සාකච්ඡාවට පැමිණිය යුතුයි. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය මෙයට මැදිහත් විය යුතුයි” යැයි ඊයේ (06දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.
“සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඇමැතිවරයා මෙම වර්ජන ක්‍රියාමාර්ගය විසඳීමට මැදිහත්ව නොසිට ඔවුන්ගේ ලෝකවල ජීවත්වීම මෙම වර්ජනය දිග්ගැස්සීමට හේතු වුණා. මේ තත්ත්වය තුළ රටේ සෞඛ්‍ය සේවාව, සෞඛ්‍ය වෘත්තිකයන් වගේම රෝගීනුත් බරපතළ අර්බුදයකට ලක්වන්නක්” යැයි එම බල මණ්ඩලයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ ට සඳහන් කළේය.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයට අයත්, වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තීය සංගම් පහක් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට එක්ව සිටියහ.
පිළිකා රෝහල්, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව ඇතුළු අත්‍යවශ්‍ය රෝහල් සේවා බාධාවකින් තොරව සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කළ බව එම බල මණ්ඩලය සඳහන් කළේය.
සුජීව තත්සර