ශ්‍රී ලාංකිකයන් අදහන දෙවි දේවතාවුන් අතර ප්‍රමුඛස්ථානය ලැබී ඇති දේවතාවිය වන්නේ පත්තිනි මෑණියන්ය. ඉන්දීය සම්භවයක් ඇති මෙම දෙවඟන ඉන්දියාවේ කාවේරිපට්ටනම් ගමේ මනෛක්කන් නමැති මුතු වෙළෙන්දාට දියණිය වී කන්නගී නමින් උපත ලබා ඇත. මෙම නගරයේම හඳි තවත් ධනවත් මුතු වෙළෙන්දෙකුගේ පුත් වන කෝවලාන් හා විවාහ වී ඔහුගේ නිවසේ පදිංචියට ගිය කන්නගීට එහිදී අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ලැබුණි. කෝවලාන් ඉතා තදින් සංගීතය හා නර්තනයට ඇලුම් කළේය. ඔහු ඒ සඳහා නිතර නිතර නිවසින් පිටතට ගියේය. මේ අවධියේ කෝවලාන්ට මාධවී නමැති අතිශය දක්ෂ රූමත් නාටිකාංගනාවකගේ කලඑළි බැසීමේ උත්සවයක් ගැන දැනගැනීමට හැකි විය. ඔහු එම අවස්ථාවට සහභාගිවීමට එතැනට ගියේය. තම මංගල රංගනයෙන්ම කෝවලාන්ගේ මුළු සිතම පැහැර ගැනීමට මාධවීට හැකි විය. දින ගණනක් නිවසට නොගොස් රැඳී හිඳ අවස්ථාවක් ලද සැණින් ඔහු මාධවී මුණගැසීමට ඇගේ නිවසට ගියේය. කෝවලාන් ගැන අසා තිබුණ ද, ඔහු දුටු පළමු දසුනින්ම මාධවී ඔහුට ප්‍රේම කිරීමට පටන් ගත්තාය. කෝවලාන් වැඩි පුරම කාලය ගත කළේ මාධවී සමගය. දෙදෙනාගේ බැඳීම ශක්තිමත් වීමට දෙදෙනාම එකසේ කලාවට ඇලුම් කිරීම හේතු විනි. මේ සියල්ල දත් කන්නගී තම සැමියාගේ දුරස්වීම මැදිහත් සිතින් ඉවසුවේය. කෙසේ වෙතත් එදා ඉන්දියාවේ පුරුෂයන්ට තමන් කැමැති තරමක් බිරිඳන් තබා ගැනීමට හැකියාව ඇති බව ඈ දැන සිටියාය.
කන්නගී අමතක කළ කෝවලාන් මාධවී සමග පවුල් ජීවිතය ගෙන ගියේය. කාලයක් සමග ඔවුන් දෙදෙනාට මණිමේඛලා නමින් දියණියක ද ලැබුණි. මෙසේ කාලය ගතවන අතර කෙමෙන් කෙමෙන් මාධවීගේ රූපය මෙන්ම හැකියාව ද ක්‍රමයෙන් අඩු විය. දෙදෙනා අතර ගැටුම් නොහොඳ නෝක්කඩු ඇති වීමට පටන් ගත්තේය. මතභේද දුර දිග ගිය නිසා කෝවලාන් යළි ඔවුන් හැර දමා කන්නගී වෙත
ගියේය. ඔහු අද හෝ හෙට ආපසු ඒවියැයි බලා සිටි මාධවීට ඔහු ආපසු නො එන බව වැටහිණි. අයකු අත කෝවලාන්ට ආපසු එන ලෙස පවසා පණිවිඩ යැවූ නමුත් ඔහු නොඑන බව දැන ගත් මාධවී ශෝකය වාවාගත නොහැකිව මරණයට පත්විණි. මාධවී හා සිටි කාලයේ තමා සතු සියලු ධනය වියදම් වී ධනහීන අයකු බවට පත් කෝවලාන් තමා කළ කී දෑ නිසා රටට මුහුණදීමට නොහැකිව කන්නගී සමග දුර බැහැර පළාතකට යෑමට පිටත් විය.
මේ යන අතරමඟ යුවළට තාපස තුමියක් මුණ ගැසුණේය. ඔවුන් සමග එක්ව තාපසතුමිය ද එම නගරයේ නැවතිණි. මේ වනවිට මුදල් අගහිඟකම් තදින්ම දැනුණු යුවළ, කන්නගීගේ පියා දුන් ඉතා ඉහළ මිලකින් යුතු රන් පා සලඹ විකිණීමට තීරණය කළෝය. කෝවලාන් එම සලඹ ද රැගෙන රජ ගෙදර රන්කරුවා සොයා
ගියේය. රන් සලඹ දුටු රන්කරු මෙහි අගනා බව දැන තමා ගැන රජතුමා තුළ ඇති සැකය දුරුකර වීමට හොඳ අවස්ථාවක් ලද බව සිතා රජ බිසවගේ නැති වූ පා සලඹ ලැබුණු බව රජතුමාට සැළ කළේය. කරුණු කිසිවක් නොවිමසා කෝවලාන්ගේ හිස ගසා දැමීමට අණ කළේය. කෝවලාන් මරා දැමූ බව දැනගත් කන්නගී තම සැමියා සොරකු ලෙස හිස් ගැසුම් කෑමට ලක්වීම ගැන ශෝකයෙන් හා නපුරු රජුගේ තීරණය ගැන කෝපයෙන් රජ මැඳුර බලා පිටත් විය. රජතුමා හමුවට පැමිණි කන්නගී සොරා රන්කරුවා මිස කෝවලාන් නොවන බව පවසා තමා පැලඳ සිටි සලඹ ගලවා රජු ඉදිරියේ පොළොවේ ගැසුවාය. එයින් ගැලවී විසිවුණ මැණිකක් මුහුණේ වැදී රජු මරණයට පත් විය. මහත්වූ ශෝකයෙන් කන්නගී වම් පියවුර කඩා පඬිපුර ගිනි ගනීවා යනුවෙන් අදිටන් කොට බිම ගැසුවාය. ඒ සමගම ගිනි ජාලාවකින් පඬිපුර වැසී ගියේය. කුඩා දරුවන්, මහලු අය, බ්‍රාහ්මනයන්, පතිවත රකින ස්ත්‍රීන් හා එළදෙනුන් පමණක් නොදැවී ඉතිරි විය. කන්නගී මධුරාපුර වටා තුන් වරක් පැදකුණු කරමින් ශාප කරමින්, වුවද ගින්නෙන් ආරක්ෂා විය යුතු අයට එවන් විපතක් නොවන ලෙසට සත්‍යක්‍රියා කළාය.
ගින්නෙන් පඬිපුර අළු විය. ඉන් පසු කන්ලගිය මධුවෙන් පිරි වැවක් මවා ගින්න නිවා දැමීය. මේ වනවිට කන්නගිය දිස් වූයේ වම්පස ශරීරය නිල් පැහැයෙන්ද, දකුණු පස ශරීරය රන්වන් පැහැයෙන් ද බැබළි බැබළීය. වමතේ රන් නෙළුමක් ද දකුණත අසිපතක් ද වම් පාදයේ සිහින් මෙන්ම සියුම්ව කැටයම් කරන ලද හඬ නංවන පා සලඹක්ද දකුණු පාදයේ ජයග්‍රාහී සොල්දාදුවන් පලඳන ලොකු පා සලඹක් ද විය. මේ වනවිට කන්නගිය දිස්වූයේ දේවතාවියක් ලෙසිනි. මේ මොහොතේ එපුර අරක්ගත් දේවතාවා දිස්වී කෝවලාන්ගේ ආත්මය දෙව්ලොව සිටින බවත් තුදුස් දිනයකින් පැමිණ ඇය ද කැඳවාගෙන දෙව්ලොවට යන බවත් පැවසීය. කී ලෙස සියල්ල සිදුවිය. දිව්‍ය රථයකින් කන්නගිය දෙව්ලොව කැඳවා ගෙන ගියේය. මේ බව සැලවී සෙන්ගුට්ටුවාන් එf`ඩ්ර රජ පැමිණ තොරතුරුවල නිවැරදි බව වටහාගෙන කන්නගියගේ ප්‍රතිමාවක් තනවා එහි අභිෂේක සඳහා අවට රටවල රජුන් හට ද ආරාධනා කළේය.
ලක්දිව පත්තිනි මෑණියන් ඇදහීම මුල්වරට පටන් ගන්නේ ගජබා රජු සමයේය. ගජබා රජගේ මිත්‍ර චෝල රජුගේ ඇරයුමකට ඉන්දියාවට ගිය ගජබා රජුට පත්තිනි සලඹ ප්‍රධානය කෙරුණි.
මධුරා පුර වැසියන් සමූහයක් සමග පත්තිනි සලඹ මෙරටට ගෙනැවිත් තිබෙනුයේ ඔරුවක ආධාරයෙන් බව කියවේ. මේ ජල යාත්‍රා රට තුළ ඇති ප්‍රධාන ඔයක් වන මා ඔය දිගේ පැමිණ මීරිගමට නුදුරු ස්ථානයක රාත්‍රී ලැගුම්ගත් බවත් මා ඔය පිටියේ අසල ගසක සලඹ රඳවා විවේක ගත් ඔවුන් පසු දින එම සලඹ ආපසු ගැනීමට තැත් කළ ද නොහැකි විය. එම අතු දෙබල කෙටේරියකින් කපා එම ස්ථානයේ මා ඔය ඉවුරේ ගල් ගුහාවක තැන්පත් කර මධුරා පුරින් ආ පිරිස එහි නවතා එයට පුද පූජා කිරීමට අණ කළ බවත් සඳහන්වේ. මධුරාපුරින් ආ පිරිස නැවතුණ ස්ථානය මදුරුපිටිය ලෙසත් සලඹ තැන්පත් කළ ස්ථානය කෙටේරියෙන් කැපූ තැන කෙටේවත්ත ලෙසත් ජනප්‍රවාදවල සඳහන් වේ. දැනට ලංකාවේ ඇති එකම ටැම්පිට පිහිටුවා ඇති පත්තිනි දේවාලය මෙම කෙටේවත්ත දේවාලයයි. එය පැරණි ගුහාව වසා දමා ඒ මත ඉදිකර ඇති බව සැලයි. එම ස්ථානයේ තැන්පත් කළ සලඹ පත්තිනි යාදින්නේ සඳහන් ලෙස අඹේපුස්ස, දූනගහ, ගල්කන්ද, එල්ලක්කල ආදී ස්ථාන රැසකට ඍද්ධියෙන් වැඩ දැනට නවගමු දේවාලයේ වැඩ සිටින බවට ජනප්‍රවා ද ඇත.
කෙසේ නමුත් පත්තිනි මෑණියන් හා ගෙතුණු ජනප්‍රවාද බොහොමයක් ඇත. පත්තිනි දෙවඟන කකුසඳ බුදුන් දවස බොලඳ නම් සිටුවරයාට දාව තිරිමා නම් කුලඟනගේ කුස ඉපදී සත් හැවිරිදි වියේ දී කකුසඳ බුදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දෙන දානයක් දැක පැහැදී කඨින චීවර දහසක් සෙසු පිරිකර තුන් දහසක් පූජා කළ බව කියවේ. තම යෙහෙළියක් කකුසඳ බුදුන්ට මී අඹ පිළිගැන්වූ බව දැක ඒ අතර තිබූ කුණුවූ මී අඹ ගෙඩියක් ගෙන පැළකර මී අඹ ගෙඩියක ඉපදීමට ප්‍රාර්ථනා කළ බව කියවේ. ඒ අනුව පත්තිනි මෑණියන්ගේ සත්වන උපත එය වේ. පඬි නුවර මහ නිරිඳුගේ සුවිසල් මී අඹ වනයේ ප්‍රමාණයෙන් විශාල මී අඹ ගෙඩියක් හටගෙන ඇති බව දැක ඒ බව උයන්පල්ලා රජුට සැලකිරීමෙන් පසු එතැනට පැමිණි රජු දුනුවායන්ට එය දුනුවලින් විද කඩා දෙන මෙන් අණ කළේය. සියල්ලෝම අඹයට විදීමට අපොහොසත් කල මහලු වේශයක් ගෙන පැමිණි සත් දෙවිඳු එය විද බිම හෙළීය. අඹ ගස දෙස උඩ බලා හිටි රජුගේ ඇසට අඹ කිරි විසිවීමෙන් එක ඇසක් අන්ධ විය. එයින් කෝපයට පත් රජු අඹය පහුරක තබා ගං දිගේ පාකර හරින්නට අණ කළේය. ගංගාවේ පහළ ස්නානය කරමින් සිටි තවුසකු මෙය දැක අඹ ගෙඩිය තම අසපුවට ගෙන ගියේය. දින සතකින් පසු අඹය පුපුරා රූමත් කුමරියක බිහි විය. මෙම කුමරිය පත්තිනි දේවිය වූ බවද උපත් කතාවේ කියවේ. තවද පත්තිනි දේවිය මතු බුදු බව පිණිස පිරිමි බව පතා තුසිත දෙව් ලොව ඉපිද ඉදිකටු හිසක් මත දුෂ්කරක්‍රියාවේ යෙදෙන බවට ද විශ්වාසයක් ඇත.
මහනුවර ප්‍රදේශයේ පත්තිනි මෑණියන් ගැන දැඩි විශ්වාසයක් පැවතිණි. පත්තිනි මෑණියන් උදෙසා මහනුවර ප්‍රදේශයේ බොහෝ දේවාල ප්‍රමාණයක් ඉදිවී ඇත.
අංකෙළි ක්‍රීඩාව ද පත්තිනි මෑණියන් උදෙසා කරන ක්‍රීඩාවක් බව කියවේ. මෙය ඇසළ මස පැවැත්වෙන උත්සවයකි. උයන් කෙළ සඳහා ගිය පත්තිනි මෑණියන් හා පාලඟ කුමරු හට දැණුන සපුමල් සුවඳ සොයා ගිය ගමනේදී අවාරයේ පිපුන සපුමල් කිණිත්තක් සපු ගසක ඉතා උසක ඇති බව දැක කෙකි දෙකක් ආධාරයෙන් එය නෙළා ගැනීමට යෑමේදී කෙකි දෙක පැටලුණි. ඉන් පසු වූයේ කෙකි පැටලුම් හැර ගැනීමට සිදුවීමයි. පත්තිනි දේවිය ප්‍රමුඛ ගැහැනු කණ්ඩායම හා පාලඟ කුමරු ප්‍රමුඛ පිරිමි කණ්ඩායම කෙකි දෙපැත්තට අදිනවිට පිරිමි පිලේ කෙක්ක කැඩී ගියේය. ඉන් මහත් සතුටට පත් පත්තිනි දේවිය ප්‍රීති ඝෝෂා නැඟීය. පත්තිනි දේවිය වෙනුවෙන් අංකෙළිය පැවැත්වූවත් එය භාර ගන්නේ පත්තිනි දේවිය නොව පාලි නම් යක්ෂණිය බව පත්තිනි හෑල්ලේ සඳහන්වේ. මේ පාලි යකින්ණිය පෙර සැමියා සොයා මඟට බැස ගිය කන්නගියට වෙහෙස නිවා ගැනීමට නැවතුණ වෙල්ලිය අම්බලමේදී මුණ ගැහුණ අම්බලමට අධිගෘහිත යක්ෂණියයි. එදින පත්තිනි මෑණියන් වන කන්නගියගෙන් තම පුද පූජාවලින් කොටසක් පිළිගැනීමට වරම් ලැබූ බව කියවේ. අංකෙළිය පත්තිනි මෑණියන් උදෙසා පැවැත්තුව ද එයට සහභාගි විය හැක්කේ පිරිමි පාර්ශ්වයට පමණි.
බොහෝ අනුහස් ඇති පත්තිනි මෑණියන් හට පඬුරු බැඳ භාර හාරවී ඒවා ඔප්පු කර පුද පූජා පවත්වති. කිරි අම්මා දානය, ඔලිඳ කෙළිය, වැල් කෙළිය, අං කෙළිය, පොල් කෙළිය ආදිවූ බෝවන රෝග පැතිරෙන අවස්ථාවන්හි සිදුකර යහපත සුවය ප්‍රාර්ථනා කරති. තවද ගජබා රජ ඇරඹූ පත්තිනි පෙරහර ද වර්තමාන දළදා පෙරහැරේ දේවාල පෙරහැරේ ආරම්භයක් ලෙස සැලකේ. දෙමට මලෙන්, ගිනි දලුවෙන්, නයි කඳුළින්, විදුලියෙන්, පිනි බිඳෙන්, සිනා රැල්ලෙන්, මවිත අඹෙන්, සලු පොටෙන්, නුග පත්‍රයෙන්, කඳුරු පොත්තෙන්, හේනෙන් උපත ලබා නාග මාණික්‍යයක් දරා ගෙන පුන් කළසක් තබාගෙන පත්තිනි මෑණියන් ජීවමානව වැඩ වාසය කරන බව ජන විශ්වාසයේ පවතී.
අද ද ලක්දිව සියලු දෙනාට ම සෙත් සඳමින් විරාජමානව නවගමුවේ රන් දෙවොලේ වැඩ සිටින පත්තිනි මෑණියන්ගේ පිහිට පතා දහස් ගණනක් වන සෙනඟ නිතර පැමිණේ.
දලුමුර කරඬුව අතකින් අරගෙන
පිරිවර දෙවියන් සමගින් මනමෙන
සිහිකර නරලොව සතහට සෙතදෙන
සුර පුරවන් පත්තිනි සඳ වඩිමින

පාරම්පරික ප්‍රවීණ ජ්‍යෙතිෂවේදීනි
අයි.එස්. රණසිංහ
AIPAA නියෝඡ්‍ය ජාතික සංවිධායක 2/29, 2 මාවත, පොල්වත්ත
වේයන්ගොඩ
0718-468621, 0711-061131