කෝප් කමිටුවේදී වගකිවයුත්තන්ට කට උත්තර නෑ
Global Job Fair වැඩසටහනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වෙළෙඳ කුටිවලට වියදම බිලියන 1.2ක් ගිහින්
ඒත් ආදායමක් ඇවිත් නෑ..සල්ලි ගිය තැනකුත් නෑ
වෙළෙඳ කුටි සඳහා ආයතන 13ක අයදුම්පත් කැඳවා හතර දෙනෙක් තෝරාගෙන කැඳවා ඇත්තේ ආයතන දෙකක් විතරයි
ආයතන දෙකටම වැඩසටහන් බෙදාදීලා
දෙකේම අයිතිකරු එක්කෙනෙක්
එකම ආයතනයක් නම් දෙකකින් ඉදිරිපත් වෙලා ගේම ගහලා – එකම හිමිකරුවකුගේ නමින් ආයතන දෙකම රෙජිස්ටර්
මුලින් රුපියල් එක්ලක්‍ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත් වෙළෙඳ කුටියක් පස්සේ ලක්‍ෂ 5ක මුදලකට අරන්
රජයේ මුදල් වැය කරපු දේශපාලන ප්‍රොජෙක්ට් එකක්
ඇත්තටම මේ මුදල සාමාන්‍ය ජනතාවට බෙදුවා නම් මීට වඩා හොඳයි
කෝප් කමිටුවේදී කෝප් සභාපති කියයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන කෝප් කමිටුවේදී හෙළිවූ බොහෝ දෑ පිළිබඳව අප පසුගිය සතියේ අනාවරණය කළෙමු. ඒ එම කාර්යාංශය 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රට විරුවෝ” නිවාස ණය වැඩසටහන හා වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු නොකිරීමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු.මිලියන 100ක මුදල එම කාර්යාංශයට නොලැබීයෑම පිළිබඳවය. තවද එම කෝප් කමිටුවේ අනාවරණය වූ තවත් බොහෝ දෑ අප
පසුගිය සතියේ පළ කළෙමු. අප මේ සඳහන් කරන්නේ ද පසුගිය කාලය තුළ රටේ මුදල් නිකරුණේ අවභාවිතා කළ තවත් කතාවක් ගැනය.
රටපුරාම කළ වැඩසටහන්වලට මිලියන 1259ක් ගිහින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2024 වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වැඩි මුදලක් වියදම් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000කගේ සහභාගීත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම තුනක් පවත්වා ඇත. ඒ වෙනුවෙන් වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු.මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවාලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි රට පුරා පැවැත්වූ Global Job Fair වැඩසටහන සඳහා රුපියල් මිලියන 1259කට අධික මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වැය කර ඇත.
ඒ පිළිබඳව අනාවරණය වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධන පරීක්‍ෂා කිරීමට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛi නිශාන්ත සමරවීරගේ සහභාගිත්වයෙන් පසුගිය 23දා රැස්වූ අවස්ථාවේදීය.
එම කෝප් කමිටුව හමුවේ එම විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් නිරුත්තර වන්නේ ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ඔවුන් හරිහැටි නොදැන සිටීම නිසාය. පහත පෙළගැසෙන්නේ එසේ කෝප් කමිටුව හා කාර්යාංශ නිලධාරීන් අතර ඇතිවූ සංවාදයෙන් කොටසකි.
කෝප් සභාපති – මේ සමාගම් දෙකේම නම් දෙකයි ජාතික හැඳුනුම්පත් අංක දෙකයි එක සමානයි. ඒ කියන්නේ රන්දිප මීඩියා කියන එකයි සැරඅයිඩියා කියන ආයතන දෙකේම සමාගම් රෙජිස්ටර් එකට ගියහම එකම සභාපති කෙනෙක් තමයි ඒකේ ඉන්නේ. ඊළඟට ඔබතුමාලා පිළිගත්තත් නැතත් මේ කැබිනට් පත්‍රිකා ආපු දවසත් මේ වැඩසටහන පවත්වපු දවස් අතර පරස්පරයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ඔයාලා පිළිගත්තනේ. දැන් හේතු කියල වැඩක් නෑ. මෙච්චර බිලියන ගණනක ව්‍යාපෘතියක් වෙනුවෙන් ඒ මුදල වියදම් කරද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ. ඇත්තටම මේ මුදල සාමාන්‍ය ජනතාවට බෙදුවා නම් මීට වඩා හොඳයි.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – මේකේ සමස්ත වියදම කීයද?
සභාපති – මේකේ සමස්ත වියදම බිලියන එකයි දශම දෙකයි හයක්. දැන් බලන්න මේකේ කුටි විකුණපු සල්ලි ගියපු තැනකුත් නෑ. ඒ සල්ලි කාර්යාංශයට ඇවිල්ලත් නැහැ. කුටි විකුණපු සල්ලි ඇවිත් තියෙනවාද උත්තර දෙන්න.
විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරී – නැහැ.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – බිලියන 1.2කට අමතර වෙනත් වියදම් මේකට තිබුණාද?
සභාපති – එතන බිලියන 1.26 ක් මෙතන තියෙනවා මිලියන හයසිය ගාණක්. මේ වැඩසටහන දෙකකට ගත්තු ඒවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරී- කුටි සම්බන්ධව ගත්ත මුදල තමයි බිලියන 1.26 ය.
සභාපති – එතකොට කුටිවලින් ලැබුණු ආදායම කීයද
විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරී – අපිට එහෙම ආදායමක් ආවේ නැහැ.
සභාපති – එතකොට ඔබතුමියලාට තිබුණේ වියදමක් විතරද?
විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරිනිය – ඔව්
සභාපති – හිටපු අතිරේක ලේකම්තුමා, එතකොට අර ඉවෙන්ට් මැනේජර් ඒකෙන් ආදායමක් උපයලා තියෙනවාද?
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය – නැහැ. අපි ඉවෙන්ට් මැනේජර් කෙනෙක් තෝරගන්නේ මේ සමස්ත ඉවෙන්ට් එකම ක්‍රියාත්මක කරන්න.
කෝප් සභාපති – ඉවෙන්ට් මැනේජර් කියන එක කවුද කියල අපි දන්නවා. ඒක නෙවෙයි අහපු දේට කියන්න.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – රුපියල් බිලියන 1.2ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වියදම් කරල තියෙනවා කිසිම ආදායමක් ලබාගන්නේ නැතිව. අපට දැනගන්න ඕන මේ ආදායම කුටි විකුණුවා කියලා ඔබතුමා කිව්වා. දැන් රුපියල් බිලියන 1.2 වියදම් කළාට ආදායමක් ඇවිත් නෑ. ඒකට ආදායමක් ආව නම් ඒ ආදායමට මොකද වුණේ කියන එක තමයි අපිට දැනගන්න අවශ්‍ය. ඔබතුමා කැමති විදිහකට ඔය ලියුම ආශ්‍රයෙන් අපට ඒක පැහැදිලි කරන්න.
හිටපු ලේකම් (විදේශ කටයුතු අමාත්‍යාංශය) – ආදායමක් අපට එන්නෙ නෑ මේ ඉවෙන්ට් එකෙන්.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – කාටද එතකොට ආදායම එන්නේ.
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- ඒක යන්නේ මේ ඉවෙන්ට් එක කරන කෙනාට.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ඇයි එයාට අපි ආදායමක් හදල දෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සල්ලි වියදම් කරලා.
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- විදේශ සේවා නියුක්ති කාර්යාංශය විතරක් නෙවෙයි. අපේ අමාත්‍යාංශයේ සියලුම වැඩසටහන් බැලුවොත් ඒවාට කොස්ට් එකක් තියෙනවා. ඒ කොස්ට් එක දරන්නේ ඒ මීඩියා ආයතනය. එතකොට ඒ අය මේ කුටි විකුණලා තමයි මේ ආදායම හොයන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය කුටි අරන්දීල තියෙන්නේ බලපත්‍රලාභී නියෝජිත ආයතනවලට. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සෙස් අරමුදලට. අපි කැබිනට් අනුමැතිය ඒ සඳහා අරන් තියෙනවා ඒ සඳහා වියදම් කරන්න.
වැ.බ. විගණකාධිපති – ඔබතුමා වගකීමෙන්ද ඕක කියන්නේ.
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- ඔව්.
වැ.බ. විගණකාධිපති – මම එහෙනම් පොඩි කාරණාවක් කියන්නම්. දැන් ඔබතුමා කිව්වා නේද මේ ඉවෙන්ට් මැනේජර් කළේ ඒ රෝල් එක කියලා.
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- නෑ නෑ මේ සමස්ත ක්‍රමය.
සභාපති – ඔබතුමා කිව්වනේ මේ කුටි මිලදී ගත්තේ කාගෙන් කියලද කිව්වේ.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – මෙතුමා කිව්වේ ඒ කුටි අරන්දීල තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කියලයි.
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- විදේශ සේවා නියුක්ති කාර්යාංශය කුටිවලට වියදම් කළා කියන එකේ තේරුම බලපත්‍රලාභී නියෝජිත ආයතන මේ තැන්වලට යොමු කළා කියන එක.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – කාර්යාංශය ඒක පිළිගන්නවාද?
වැ.බ. විගණකාධිපති – එහෙම නම් මට පැහැදිලි කරන්න. මගේ ළඟ තියෙනවා ඉන්වොයිස් එක. කුටි විසිපහකට අදාළව ලක්‍ෂ පහ ගාණේ මිලියන 12.5ක් ඔය ඉවෙන්ට් මැනේජර් කියන රන්දීප මීඩියා ප්‍රයිවෙට් ලිමිටඩ් එකට ගෙවීමක් කරලා තියෙනවා. ඒක මොකක්ද කියල කියන්න.
හිටපු ලේකම් (විදේශ කටයුතු අමාත්‍යාංශය)- ඔව් ඒක තමයි.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ලේකම්තුමා, මං හිතන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපට පැහැදිලි කරන්න මේ ලේකම්තුමා කියනවා ඒජන්සි වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිලියන 1.2ක් වියදම් කරලා කුටි මිලදී ගත්තා කියලා. ඒකනේ ඔබතුමා කියන්නේ හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- බිලියන 1.2 කියලා මම කියන්නේ නැහැ.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර- හරි කොච්චර හරි වියදම් කරලා කුටි මිලදී ගත්ත කියනවානේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ කාරණය පිළිගන්නවාද? සාමාන්‍යාධිකාරි තුමා මොකක්ද මේ ගැන කියන්නේ.
සාමාන්‍යාධිකාරි (විදේශසේවා නියුක්ති කාර්යාංශය) – ඒ ඒජන්සි ආයතන වෙනුවෙන් ඒ කොස්ට් එක සෙස් ආදායමෙන් දරන්න කියලා ඒ අනුව අපි කැබිනට් අනුමැතිය සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මත ඒජන්සි ආයතනවල ස්ටෝල් කොස්ට් එක (වෙළෙඳකුටි පිරිවැය) කාර්යාංශයෙන් දැරුවා.

පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – සෙස් අරමුදලෙන් කොච්චර මුදල ප්‍රමාණයක්ද ඒක…?
විදේශසේවා නියුක්ති කාර්යාංශය – මිලියන 542.8 යි කුටි 920 ක් සඳහා.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ඒක වෙනම කාරණයක් ඇයි ඒක කළේ කියන එක. තවත් බිලියන හත්සියයක් තියෙනවානේ කාර්යාංශයට වියදම වශයෙන්. හරිනේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය – ඒ තියෙන්නේ අනික් දරපු වියදම්. ඒ කියන්නේ සහභාගි වූ අයගේ ඉඳුම් හිටුම්, කෑම බීම, ශිෂ්‍යත්වය වගේ ඔක්කෝම.
සභාපති – ඔය රන්දීප මීඩියා කියන සමාගමට වෙනම ගාණක් ගෙව්වද?
විදේශ සේවා නියුක්ති කාර්යාංශය- නැහැ.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – රන්දීප මීඩියා මොකක්ද කළේ. කුටිය ගන්නෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නම්. ඒකට වියදම් කළෙත් කාර්යාංශයෙන් නම්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය – රන්දීප මීඩියා පාවිච්චි කළේ අපි ගාල්ලටයි යාපනයටයි විතරයි.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – මොකක්ද එයාලගේ කාර්යය. මැනේජ් කරනවා කියලා මොකක්ද එයාලා කළේ.
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය- කුටිය සකස් කරන්නේ ඒ අය. ඒකට අවශ්‍ය පහසුකම් සපයන්නේ එයාලා.
වැ.බ. විගණකාධිපති – මේ කුටි 920ක් අරන් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මම ඒකේ ඉන්වොයිස් එකේ පේමන්ට් එක ගැන කිව්වා. ඒකෙ කුටි 25කට රන්දීප එකට මිලියන 12.5ක් ගෙවලා තියෙනවා. අනිත් ගෙවීම් ඒ විදිහට තමයි ගෙවලා තියෙන්නේ දැන් නම් දෙකක් කියවුණේ රන්දීප හා අනෙකුත් සමාගමේ ඉන්නේ එකම අධ්‍යක්‍ෂකවරු. මේ සමාගම් එකම කෙනෙකුට අයිති. මේ සමස්ත කුටිවලට අදාළ ගෙවීම් කරලා තියෙන්නේ සමාගම් දෙකකට. ලේකම්තුමා කියන විදිහට ඉවෙන්ට් මැනේජර් පහසුකම් සැපයීමයි දෙකම කරල තියෙනවනේ. අපි පැහැදිලිව ඇහැව්වේ ඉස්සෙල්ලා එක්ලක්‍ෂ හැත්තෑදහසට ගත්ත එක ලක්‍ෂ පහකට ගිහිල්ලා තියෙනවා එකම කුටි.
කෝපා සභාපති – අපි මෙහෙම ඇහුවොත්, ඔබතුමියගේ පැත්තෙන් කියන්න දැන් මීට කාර්යාංශය ප්‍රසම්පාදන කැඳවීමක් කළාද? මිල ගණන් කැඳෙව්වාද?
විදේශ සේවා නියුක්ති කාර්යාංශය – නෑ. කාර්යාංශයේ මිල ගණන් කැඳවීමක් කළේ නැහැ.
කෝපා සභාපති – ඔබතුමියල කරල තියෙන්නේ මෙතනින් කිව්වම සල්ලි ටික ගෙවපු එක විතරයිනේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය- අපිට ලේකම්තුමාගෙන් ලිඛිතව අනුමැතිය ඇවිත් තියෙනවා මේ ආයතනයට ගෙවන්න කියන එක.
කෝපා සභාපති – දැන් මේ ආයතනය තෝරා ගන්නේ එතකොට කවුද?
විදේශ සේවා නියුක්ති කාර්යාංශය- තෝරා ගන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය.
කෝපා සභාපති – ලේකම්තුමා මේ ආයතනය තෝරාගැනීම සඳහා ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද?
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය – පුවත්පත් දැන්වීමක් දාලා අමාත්‍යාංශයේ සියලු කටයුතුවලදී සම්බන්ධීකරණය හැටියට ලියාපදිංචි කරගන්නවා.
කෝප් සභාපති – ඒ කියන්නේ ඕල්රෙඩි රෙජිස්ටර් ආයතනයක් ද මේක අමාත්‍යාංශයේ ?
හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය – අමාත්‍යාංශයේ රෙජිස්ටර් වෙච්ච එකක් නෙවෙයි. මේක පුවත්පත් දැන්වීමකින් තමයි කරන්නේ. අපිට 16දෙනෙක් එනවා.
සභාපති – දැන් ඔය මගේ මූලිකම ප්‍රශ්නය වුණේ අනුමැතියයි වැඩසටහනයි අතර තියෙන පරස්පරය. ඔබතුමා කිසිම සාධාරණ කාරණයක් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළේ නැහැ. ඒ කියන්නේ වැඩසටහන අතරේ තමයි මේකට කැබිනට් අනුමැතිය ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ එකම ආයතනයක
(අදාළ කුටි 920 පිළිබඳව සභාපතිවරයා ලිපියක තොරතුරු ඉදිරිපත් කරයි.)
“තෙවන වැඩසටහන සඳහා ඉවෙන්ට් මැනේජර් ලියාපදිංචි කිරීමට අමාත්‍යාංශය මගින් තොරතුරු කැඳවා 13 දෙනෙකුගෙන් යුත් අයදුම්පත්වලින් හතර දෙනකු තෝරාගෙන රැස්වීමට කැඳවා තිබූ අතර රන්දීප සහ සැරඅයිඩියා පමණක් සහභාගි වී තිබුණි. එහිදී දෙදෙනාට සමසමව වැඩසටහන් බෙදාදීමට යෝජනා වී ඇත. නමුත් 2024 ජනවාරි 30 දින රන්දීප ඉවත් වී ඇත.”
කෝප් සභාපති – ඒ කියන්නේ මේ සමාගම් දෙකම එකයි. ඒක අපි දැන් පෙන්නුවානේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් මනුවර්ණ – සභාපතිතුමා ඕක හරි නම් කවුද කියලත් කියන්න පුළුවන්. ඔය ආයතන කාගෙද, ඕකෙ කවුද හිටියෙ කියල තිතටම කියන්නද? ඔය කියන සමාගම් 16න් අන්තිම දෙන්නෙක් තේරුණේ කොහොමද කියලත් කියන්නම්.
සභාපති – ඔව්. මෙතුමා කියන්නේ දැන් EOI එක ඉදිරිපත් කරන්නෙත් මේ ආයතනය කියලයි.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ඒක ලේකම් තුමා පිළිගන්නවානේ.
සභාපති – එතකොට මේ කියන පුවත්පත් දැන්වීම් දාලා මේක තෝරගත්තා කියන්නේ ඒවා වෙන්නේ මේ වැඩසටහන යන අතරේනේ මේ ඔක්කෝම වෙන්නේ.
පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – EOI එක දාලා මේක කරන්නම් කියල කියපු ආයතනයට තමයි මේක දීල තියෙන්නේ.
විදේශසේවා නියුක්ති කාර්යාංශය (මූල්‍ය අංශය) – මීට කලින් මේ ගැන ඔඩිට් එකෙන් ගත්තහම එතනදී එදා විගණකාධිපතිතුමා අපෙන් ඇහුවා මිලියන පන්සිය හතළිස් දෙකක ප්‍රසම්පාදනයක්. මේකට කැබිනට් කමිටියක් ගිහින් තියෙනවද කියලා. මම කිව්වා අපි ළඟ ඒ සම්බන්ධ තොරතුරු නැහැ. ඔක්කොම කම්කරු අංශයේ තියෙන්නේ කියලා. ඒ සම්බන්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඔඩිට් එකක් කරනවා කියලා ගිය පාර කිව්වා.
වැ.බ. විගණකාධිපති – ඒ කරල තමයි මේ නිරීක්‍ෂණ ගැන දැන් කතා කරන්නේ.
කෝප් කමිටුවේ මන්ත්‍රී – කෝප් සභාපතිතුමා මේක කෝටි 120 වියදම් කරලා රහසේ කරපු දේශපාලන ප්‍රොජෙක්ට් එකක්නේ. අපිට බැරිද මේක අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න.
සභාපති – අනිවාර්යයෙන්ම පුළුවන්. දැනට මේ පිළිබඳව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ විභාග වෙමින් පවතිනවා.
කෝප් කමිටුවේ අනාවරණය වන්නේ Global Job Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවය. තවද අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවද එහිදී හෙළිවිය. මෙකී වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂික අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන්කර ඇති බවත්, රු.මිලියන 1259ක මුදලක් තරම් සුවිසල් මුදලක් ඒ සඳහා වැයකර ඇති මෙම වැඩසටහනේ අරමුණ ඉටුකරගත හැකි වූයේද යන්න කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් ඇසීය. එමෙන්ම මෙම වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී වෙළෙඳ කුටියක් රුපියල් එක්ලක්‍ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්ත ද පසුව කුටියක් ලක්‍ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසීය. අවසානයේදී අනාවරණය වන්නේ ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ රටේ මුදල් අරමුණකින් තොරව නිසිලෙස සැලසුම් නොකරන ලද වැඩසටහන්වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ඇති බවය
රමින්ද මාවතගේ