ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුදේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ යාත්‍රා වැටලීමේ මෙහෙයුමක යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් යාත්‍රාවලින් පැමිණි සංවිධානාත්මක පිරිසක් විසින් පහරදී අත්අඩංගුවට ගෙන තිබුණු යාත්‍රාවක් රැගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර අමාත්‍යවරයා නාවික හමුදාවට උපදෙස් දී තිබේ.
ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍රීය පරිසර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් නියෝගය නිකුත් කර තිබේ.
සිද්ධිය වූ වහාම නාවික හමුදාවෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. මෙම සිද්ධියේදී පිටින් පැමිණි පිරිසෙන් අයකු සහ නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා පැවැසීය.
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක නමුත් ධීවරයන් නීතියට අවනත වන බවත්, අත්අඩංගුවට ගත් යාත්‍රාව නාවික හමුදාවට පහරදී පැහැරගැනීමට තැත්කළ පිරිස ධීවරයන් නොවන සංවිධානාත්මක පිරිසක් බවට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවත් හෙතෙම කීය.
ඩිංගි බෝට්ටුවකින් කුච්චවේලි මුහුදේ නීති විරෝධී ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් 5 දෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබිණි. එම අවස්ථාවේ යාත්‍රා කීපයකින් පැමිණි පිරිසක් නාවික හමුදා යාත්‍රාව වෙත හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස මුදාගෙන පලායෑමට තැත් කර තිබිණි.
එහිදී නාවික හමුදාව රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙස ඔවුන්ට දැනුම් දී ඇත. එහෙත් පැමිණි සංවිධානාත්මක පිරිස කලහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැර ගැනීමට උත්සාහ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩිතබා තිබේ. නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා නිලධාරීන්ට පහරදී පොරබදා ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමන් මල්ලවාරච්චි – ත්‍රිකුණාමලය