වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට සුවිශේෂිත වටිනාකමක් ඇතිවන්නේ යම් සේද පොසොන් පොහොයත් එසේමය. බුදුසමය මෙරට ස්ථාවර කළ ද එය වඩාත් පෝෂිත තලයකට සේන්දු වූයේ පොසොන් පොහෝ දා මිහිදු මාහිමියන්ගේ මෙරටට වැඩීමත් සමඟය.
මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කරන්නට පෙරාතුව ප්‍රාග් යුගයේ ඇදහිලි සම්බන්ධව විමසීමක යෙදෙන විට එදා සමාජය යායුතු මාර්ගය නොදැන මංමුළා වූ පිරිසක් බව පෙනේ. බුදුසමය ව්‍යාප්තව තිබුණේ නම් ගස් – ගල් – ජලය – සඳ – හිරු – සත්ත්වයන් – අනංගයා – නාගයන් ආදිය වැඳුම් පිදුම්වලට ලක් නොවන්නේ මැයි.
කිසියම් අන්තයක් සඳහා යා යුතුය. අන්තවාදී හා අතිධාවනකාරී ස්වරූපයක් ගනු ලැබූ සමයක පොසොන් පොහෝදා මිහිඳු මාහිමියන් අප කෙරෙහි අනුකම්පාව උපදවා වැඩියේ මංමුළා වූ ස්වරූපයෙන් සමාජය ගොඩගැනීම සඳහාය. විමුක්තිය පතා විවිධ විශ්වාසයන්ට නැඹුරු වුවද එයින් ලත් විමුක්තියක් නොමැත. විමුක්තිය කරා යන්නට නම් සැබෑ දර්ශනයක්, මාර්ගයක්, පැහැදිලි චින්තනයක් තිබිය යුතුය. මේ ත්‍රිකය නොමැතිව විමුක්ති මාර්ගය සෙවීම අඳුරේ අතපත ගෑමක් බඳුය.
අදෘශ්‍යමාන බලවේග ඔස්සේ ස්වකීය දෘෂ්ටිය යොමු කිරීම මත කිසියම් විමුක්ති මාර්ගයක් නැතිනම් ලෝකෝත්තර මාර්ගයක් සෙවීම අපහසුය. මෙබඳු වකවානුවකයි මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩියේ. මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමෙන් මෙරට සමාජ පුනරුදයක්, පුනර්ජීවයක්, සමාජ පෙරැළියක් සිදුවූවා යැයි කීවොත් එය එතරම්ම නිවැරදිය.
එදා මුව දඩයමේ ගිය දෙවැනි පෑතිස් රජු හමුවීමෙන් අනතුරුව ‘ඇත්පද සුතුර’ හෙවත් ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය’ දෙසීමෙන් රජුගේ ඥානය කුමණ මට්ටමක පවතින්නේ දැයි දැනගැනීමට මෙය හොඳම අවස්ථාවක් විය. ඉතා සියුම් ඥානයකින් හෙබි රජුට ධර්මය දෙසීම මත ගම්-නියම්ගම්, දනව් – පසල් දනව්, පුර – විසල්පුර ආදිය ඔස්සේ ධර්මය ප්‍රචාරය කොට මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යයක් දෘෂ්ටියට ජනතාව යොමු කිරීමට මිහිඳු මාහිමියන් දැඩි පරිශ්‍රමයක් ගන්නා ලදී.
රජුගේ පූර්ණ රාජ අනුග්‍රහය එදා නොවූයෙන් මිහිඳු මාහිමියන්ට පමණක් මේ දැවැන්ත පරිවර්තනය කිසිසේත්ම සිදුකළ නොහැකිය. මිසදිටු ජන සමාජයක් එකවිටම සම්දිටු වූ බවට පත්කිරීම එතරම් පහසු කරුණක් නොවේ. යම් යම් මතවාදවල එල්බගෙන සිටි ජනකාය එම පටු මතවලින් බැහැර කිරීමට විවිධ ක්‍රමවේද උපක්‍රම භාවිතා කරන්නට සිදුවිය.
හේතුඵල දහම
සොබා දහමෙන් කිසියම් සහනයක් ලත් ජනකායක් හේතුඵල සම්මත දහමකට නැඹුරු කිරීම එතරම් පහසු කරුණක් නොවේ. මේ යථාර්ථය තේරුම් ගෙන අනුගාමිකයන් සමුදායක් තනන්නට මිහිඳු මාහිමියන්ට සිදුවිය. මහ වනපෙත් එළිපෙහෙළි කොට ගල්ලෙන් පවිත්‍රකොට මහ සඟරුවන වැඩමකොට ජනතාවට ධර්මය දෙසන්නට මං පාදවන ලදී. ධර්ම ග්‍රන්ථ කියවා රසාස්වාදයක් ලැබීමට නොහැකි, එම ධර්මය උකහාගැනීමට නොහැකි වූ ජනකාය එම දහම කෙසේ අවබෝධ කළයුතු ද යන ගැටලුවලට එදා මුහුණ දුන්නේය. අද වැනි සමාජයක් එදා නොතිබුණත් මේ තත්ත්වයට පත්වන්නට අතිශයින්ම බලපාන ලද්දේ එදා මිහිඳු මාහිමියන් ගෙනගිය ඉතා බුද්ධිසම්පන්න වැඩපිළිවෙළයි.
ග්‍රාම රාජ්‍ය සංකල්පය
වර්තමානයේ කතාබහට ලක්වී ඇති ග්‍රාමරාජ්‍ය සංකල්පය අපට ප්‍රථමයෙන්ම හඳුන්වාදෙන ලද්දේ බුදුරදුන්ය. මෙය අලුත් සංකල්පයක් නොවේ. බුදුරදුන් මුලින්ම කළේ බුද්ධත්වයට පත්වී සඟ සැට නමක් බිහිකොට ගම්වල නායකත්වය සඟරුවනට භාරකිරීමයි. එදා ගමේ නායකත්වය භාරකරන ලද්දේ සංඝරත්නයටයි. ධර්මකාමී, අර්ථකාමී, සමාජ සාරධර්මකාමී සමාජයක් තැනීමට ප්‍රථමයෙන්ම ඉවහල් වන්නේ සඟරුවනයි. ඒ පදනමේ පිහිටායි එදා ගමත් – නගරයත් සදාචාරවාදී සමාජයක් ගොඩනැඟීමට ඉවහල් වූයේ. ඒකාබද්ධ කරන ලද්දේ මේ මගෙහි යමින් මිහිඳු මාහිමියන් කෙළේත් මේ න්‍යායයි. එම න්‍යාය ප්‍රායෝගික තලයකට ඇදගෙන ගොස් ගම කේන්ද්‍රකොට ගෙන ගමේ නායකත්වය සඟරුවනට පවරන ලදී. ඒ අනුව ගල්ලෙන් පරිශ්‍රය විහාර බවට පරිවර්තනයවී මහා විහාර බිහිවීම දක්වා දිවගියේය. මේ දැක්ම මතයි අනුරපුර මහාවිහාර හා අභයගිරි විහාරද්වය ඇතිවූයේ.
සිංහල මහා වංසය
ඕනෑම දේශයකට වංස කතාවක් අනිවාර්යයෙන්ම අවශ්‍යය. මහානාම මාහිමියන් අතින් සිංහල මහවංසය ලියැවුණේ එහි ඵල වශයෙනි. ප්‍රථමයෙන් මහා විහාරය ඉදිවී විශාල වශයෙන් සමාජ-ආගමික-ආර්ථික-සංස්කෘතික- දේශපාලනික විපර්යාසයකට බලපෑමක් ඇති කෙරිණි.
ධර්ම දේශනයෙන් අනතුරුව ධර්ම ග්‍රන්ථ ලියන්නට පෙලඹුණේ ශ්‍රවණගෝචර ශෛලියට ආදේශ වශයෙන් අක්ෂිගෝචර ශෛලියක් අරඹමිණි. ශ්‍රවණ ශෛලියෙන් ඈත්වී අක්ෂිගෝචර හෙවත් ඇසින් බලා රස විඳීමේ එම ධර්මය උකහා ගැනීමේ මාවතට දොරටුව විවර විය. එතැන් පටන් ධර්ම ග්‍රන්ථ බිහිවන්නට වූයේ පොදු ජනතාව වඩාත් ධර්මයට නැඹුරු කිරීමේ පරම අටියෙනි.
කුහුල ඇතිකිරීමේ ධර්ම ග්‍රන්ථ
එදා යතිවරු මේ උදෙසා ද විධිවේදයන් අනුගමනය කළ බව පෙනේ. එම ක්‍රමවේදය විධිවේදය වූයේ ජනකාය කෙරෙහි කුහුල නැත්නම් කුතුහලය ජනිතවීමට මානසික තත්ත්වයක් උදාකිරීමයි. අමාවතුර බිහිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. බුදුසිරිත මේ ග්‍රන්ථවලට ප්‍රස්තුතය විය. බුදුරදුන්ගේ නව අරහාදී බුදුගුණ අතුරෙන් පුරුෂධම්ම සාරථි ගුණය පාදක කොටගෙන ගුරුළුගෝමී, අමාවතුර ලියුවේත් කඨෝර බස්වහරක් යෙදුවේ ජනතාව කෙරෙහි කුහුල ඇති කිරීමේ පරමාර්ථයෙනි.
ඉන් අනතුරුව බුත්සරණ අර කුහුල තුනී කළේය. බුදුරදුන්ගේ නව අරහාදී බුදුගුණ එම ග්‍රන්ථයට අන්තර්ගතකොට බුදුරදුන් යනු කවරෙක් ද? ඒ දහම ජීවිතයට බලපාන්නේ කවරාකාරයෙන් ද? ලෞකිකත්වයෙන් ලෝකෝත්තර මාර්ගයට යෑමට ඉවහල් වන්නේ කුමන අයුරින් ද? වෙනත් ආගමික දහම් අතර බුදුගුණ බුදුසිරිත වෙසෙස් තැනක් ගන්නේ කුමන ලක්ෂණ මත ද යන්න සම්බන්ධයෙන් හොඳ විවරණයක් මේ මගින් සපයන ලදී.
වැවයි – කෙතයි – දාගැබයි
වෙහෙර විහාර දාගැබ් තනා සඟරුවන ඒ ආශ්‍රිතව වෙසෙන්නට භූමිකාව සකසා ජනතාවත්, සඟරුවනත් අතර සමීප සම්බන්ධතාවක් ඇති කිරීමට කටයුතු කරන ලදී. වැව – දාගැබ – කෙත ආශ්‍රිත අපේ සංස්කෘතිය ගොඩනැඟුණේ ඒ අනුවය. සිංහල ලකුණ මෙයයි. අපට පොසොන් පොහොය කියා දුන්නේය. වැවක් තනා එයින් ගොඩදමාගත් පස්වලින් දාගැබක් නිර්මාණය කරන ලදී. වැව ආශ්‍රිත ජලයෙන් කෙත්යායක් ඉදිකිරීම මත මිනිසා ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීමේ කාර්යයට නැඹුරු විය. කුසගින්නේ සිට ධර්මය උකහා ගැනීමට ගෝචර කර ගැනීමට නුපුළුවන. බුදුරදුන් ද පුද්ගලයන්ට ධර්මය දේශනා කළේත් මේ පරමාර්ථයේ පිහිටාය. කසීභාරද්වාජ බමුණාට බණ දෙසුවේ කුස පුරවාය. කුසගින්නේ සිටින පුද්ගලයකුට මොන බණද? මේ සාරාර්ථය පදනම් කොටගෙන රට බත බුලතින් සරුසාර කිරීමට අදිටන් කොටගත් මිහිඳු ධර්මය නැත්නම් පොසොන් දර්ශනය මිනිසා මානසික වශයෙන් ද විපර්යාසයකට බඳුන් කළේය.
සංවේදී මිනිස් සමාජයක් බිහිවිය. රළු-පරළු ගතිවලින් දුරස්ථ වී ඉවසීමේ ගුණය පුරුදු පුහුණු කළේත් පොසොන් දර්ශනයයි. හැඩි දැඩි ගලකට ජීවයක් ලබාදුන්නේ මේ හේතුව නිසාය. සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල් පමණක් නොව බුදුරදුන්ගේ අප්‍රමාණ ගුණසමුදායෙන් අංශුවක් නැත්නම් කණිනිකාවක් ගලකට ආරෝපණය කොට ශෛලමය බුදුරුවක් නිර්මාණය වූයේත්, මිනිසා සංවේදී වූ හෙයිනි. හිඳි බුදු පිළිම, හිටි බුදු පිළිම, සැතපෙන බුදු පිළිම පමණක් නොව නාග රූකම්, බහිරව රූකම්, පුන්කලස්, නාග – මනුෂ්‍ය රූකම් ආදී විවිධ ශෛලමය නිර්මාණ බිහිවූයේ ද පොසොන් පොහෝදා උදාවූ නව සංස්කෘතිය හේතු කොටගෙනය.
සඳකඩපහණට පිවිසුණු සැදැහැවතුන් මුරගල-කොරවක්ගල පසුකොට පියගැටපෙළ සංකීර්ණයට බුදුරුව වඳින්නට ගියේ නිවන පසක්කර ගැනීමේ අටියෙනි. පොසොන් දර්ශනයෙන් නව ශිෂ්ටාචාරයක් ද බිහිවිය. රාජ්‍ය පාලනයකට නැඹුරු වී වැඩවසම් පාලන තන්ත්‍රයක් බිහිවුව ද එය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගනු ලැබුවේ බුදුසමයේ ආභාසයෙනි. පාලනය රජු වටා කේන්ද්‍රගත වුවද මැති-ඇමැතිවරුන් පරිපාලනයට ඒකාබද්ධ කොටගෙන පාලනයේ දැහැමි ස්වරූපයක් ගන්නා ලදී. රාජ නාමාවලියක් අපට අන්තර්ගත විය. රාජාවලිය ලෙස හඳුන්වන්නේ එයයි.
සමාජවාදයේ කේන්ද්‍රීය තැන්න ලෙස සැලකෙන පන්සල, බුදුරුව, බුදුගේ, බෝගස, බෝධි ප්‍රාකාරය, දාගැබ ආදී සංකේතවලින් උපලක්ෂිත කළේ බුද්ධ චරිතයයි. බුදු සමයයි. ගතත් සිතත් ප්‍රබෝධවත් වී හඳුන්කූරු සුවඳ දසත පැතිරී අප කෙරෙහි ඇතිවන පහන් සංවේග ලෝකෝත්තර මගට දොරටුව විවර කරන්නෙකි. සිවු දිසාවෙන් එන ජනකායට විහාරගෙයි දොරටු හතරක් විවෘත වී ඒ දොරටුවල සඳකඩ පහන් සතරක් ද, මුරගල් ද කොරවක් ගල් ද නිර්මාණය වී පැන් දෝවනය කිරීමට පැන් කලස් සතරක් භාවිතයට තැබුවේ ද මුව දෝවනය කොට අත් පා වතුරෙන් පිරිසිදු කොට බුදුගෙයට යෑම සඳහාය. මල් දෝතට ගෙන පාවහන් ගලවා පහන් සිතින් බුදුගෙයට යන්නට අපට ඉගැන්වූයේ මිහිඳු දර්ශනයයි පොසොන් දහමයි.
නව නිර්මාණ කෙරෙහි අප යොමු කළේත් මිහිඳු දර්ශනයයි. සමාජ සංවර්ධනය අරබයා නව ප්‍රවේශයකට අපේ විඥානය යොමු කිරීම ද මිහිඳු සංස්කෘතියෙන් ඇති වූ තවත් ප්‍රතිඵලයකි. එකින් එක පරිච්ඡේද අප ගොනු කළහොත් සමාජය විවිධ පැතිකඩාශ්‍රිතව යොමු වන්නට වූයේත් මිහිඳු ධර්මය හේතුකොට ගෙනය.
පොසොන් පොහෝදාට
සුදෝ සුදුවතින් සැරැසී මිහින්තලේ උපාසක-උපාසිකාවන් සිල් සුවඳ විහිදුවන්නේ මිහිඳු මාහිමියන්ට උපහාරයක් වශයෙනි. ධර්මය විහිදුවන්නට, ව්‍යාප්ත කරන්නට උපස්ථම්භක වූ මිහින්තලාව කේන්ද්‍රස්ථානයකි. පොසොන් පොහෝදා දෙනෝදාහක් දනෝ මිහින්තලාවට අතුරු සිදුරු නොමැතිව එක්රැස් වන්නේ මිහිඳු මාහිමියන්ට උපහාර දක්වන්නටය. ඒ සමගම තමන්ගේ ජීවිතයට අර්ථයක් ඇතිකර ගැනීමේ පරමාර්ථයෙනි. අර්ථවත් ගමන අර්ථපූර්ණ කරගැනීමට විෂය වන මිහින්තලයට පිවිසෙන පියගැටපෙළ සමාධිගත ජීවිතයකට මූලාරම්භයයි. පඩි පෙළ මතින් එක නැග ඉහළ මාලයට යන්නකු නිතැතින්ම භාවනාවට යොමුවීම ද නිසැකයෙන්ම සිදුවන්නකි.
අඹ ගසක් පාදකකොට ගෙන අඹ සංවාදයෙන් ඇරැඹි අපේ ගමන්මග අපේ ඉතිහාසයක් ලියන්නට පන්හිඳ පත්ඉරුවල දිවයන්නට මුල්විය. එදා මෙදාතුර ගමන්මග දෙස බලනවිට අපට එක් අතකින් විශ්මයට කරුණකි. අහස් සිඹිනා මහා දාගැබ් ඉදිවී මහා සයුර පරයාලන මහ වැව් තැනී මුනිගුණ දිගන්තය අරායන පිළිම ඉදිවී මහා වනපෙත්, කෙත්වතු බවට පෙරැළී මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව ප්‍රගුණ කරන්නට මිහිඳු මාහිමියන් පෑ ප්‍රාතිහාර්ය ලියන්නට කොළ ප්‍රමාණවත්ද?
මිහිදු මාහිමියන් නිසා නිපන් නිධන් පුරාවස්තු තවමත් රජගල පොළොව යට වැළලී ගොසිනි. අද දින පාදා ඇත්තේ ඒවායින් එකක් පමණි. තුනෙන් දෙකක්ම පොළව යටය. ලොව වැඩිම පුරාවස්තු සමුදායයකට උරුමකම් අප කියන්නේ ද මිහිඳු මාහිමියන්ට පින් සිද්ධ වෙන්නටය.

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති
ශාස්ත්‍රපති පණ්ඩිත අරම ධම්මතිලක නාහිමි