ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැලකීමේ දී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ගනිමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන්වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදුකරනු ලබන මෙවැනි අර්ථවත් ක්‍රියාකාරකම් ද බෙහෙවින් හේතු සාධක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙරට සංචාරයක නිරතව සිටින ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සංවිධානය කළ විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය. උත්සවය පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සදහා වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය සක්‍රීයව දායකත්වය දක්වන බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා මෙරට ජීවත්වන සමස්ත ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් උදාකර දීම සදහා වත්මන් රජය නිරතුරුව කැපවී ක්‍රියා කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආරාධනාවක් අනුව මෙරටට පැමිණි යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් පිරිස දින පහක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වූ අතර එම කණ්ඩායම මඩකලපුව, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නිරීක්ෂණයේ ද නිරත විය.
ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ස්වීඩනය, ඕස්ටි්‍රයාව, බෙල්ජියම ඇතුළු තවත් රටවල් කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු නියෝජිතයන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ සභාපතිනි අරුණි මාර්සලින්, විධායක අධ්‍යක්ෂ ආචාර්ය රුචිත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළුව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.