ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයන් 240ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත භාරදීම පෙරේදා (29 දා) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙම අවස්ථාවේදී අධිකරණ ඇමැතිවරයා මෙසේ අදහස් පළ කළේය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත්කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නෑ. මේ පිළිබඳව රජය විසින් කමිටුවක් පත්කළා. ඒ කමිටුවට අදහස් හා යෝජනා ලබාදෙන ලෙස අපි ප්‍රසිද්ධ ඉල්ලීමක් මහජනතාවට කළා. ඔබ විසින් ලබාදුන් යෝජනා සාධනීය ලෙස අපි භාරගෙන අදාළ කමිටුවට ඉදිරිපත් කරනවා. අපි ජනතාවට හොඳින් සවන් දෙන රජයක් බව කිව යුතුයි. බලයට ඒම සඳහා අපි ලබාදුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරනවා. ඒ සදහා ද අදහස් ලබාගැනීම සිදු කරනවා. ජාතිවාදය ආගම්වාදය හෝ වෙනත් කරුණක් හේතු කොටගෙන මර්දනය සඳහා භාවිතා කිරීමට මේ පනත සකස් කරන්නේ නැහැ. ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී මෙවැනි පනතක් අත්‍යවශ්‍යයි. ලෝකයේ වෙනත් රටවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් තිබෙනවා. ඒ පනත් මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ඒ රටවල් විසින් සකස් කර තිබෙනවා. රට ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවැනි පනතක් පැවතිය යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.
සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට පැමිණි සිවිල් සංවිධානවල නියෝජිතයෝද මෙහිදී අදහස් පළ කළහ.