සිංහල සංගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලයා වූ ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාලයන් දැයෙන් සමුගෙන 2025.07.07 වැනි දිනට වසර 38කි.
1987 ජූලි 07 වැනිදා දැයෙන් සමුගත් ජෝතිගේ දේහයට ගෞරවය පුදන්නට ලක්ෂ ගණනක ජනතාවක් මාලිගාවත්ත “ප්‍රදීපා” ශාලාවට රොක් වූහ. ජනතා පෝලිම “ප්‍රදීපා” ශාලාවේ සිට බේස්ලයින් පාර තෙක් දිගු විය. එමෙන්ම 1987 ජූලි 09 වැනිදා ඉතිහාසයේ ශ්‍රී ලාංකික කිසිදු කලාකරුවකු වෙනුවෙන් පෙළනොගැසුණු මහා ජන ගංගාවක් සවස් වරුවේ බොරැල්ල කනත්ත වෙත ගලා ආහ.
ජෝති සිය අවසාන ගීත කිහිපය ගායනා කළේ කතරගම ගම් උදාවේදීය. සුදු පැහැති යුරෝපීය ඇඳුමෙන් සැරසී වේදිකාව මත තම ජනප්‍රිය ගීත කිහිපයක් අත් පුඩි ගසමින් නටමින් ජෝති ගායනා කළ අතර එහි සංගීතය සැපවූයේ දිවංගත සංගීත ශිල්පී ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ “ෆෝචූන්ස්” වාදක මණ්ඩලයයි. ඔහු අවසන් වරටත් සුවහසක් රසික – රසිකාවියන් එම මොහොතේ අමන්දානන්දයට පත් කළේය.
ජෝතිගේ එදා මුල්ම තැටියකට නැඟුණු ගීතය වී ඇත්තේ එකල ප්‍රවීණ සංගීතවේදීයකුව සිටි ‘ස්ටැන්ලි ඔවාර්’ සංගීතවත් කළ “මගෙ රන් රාජිනී’ නම් ගීතයයි. ජෝති මුලින්ම ගීත ගායනයට පිවිස ඇත්තේ එවකට ප්‍රවීණ ගායිකාවකව සිටි වසන්තා සන්දනායක ගැයූ “මහවැලි නදියේ අසබඩ සැදි ඒ මහියංගණ ථූපේ” නමැති ගීතයේ පසුබිමින් ඇසෙන “තොටියෝ… ඕ ඕ තොටියෝ… ඕ ඕ නමැති උස් හඬින් ගැයෙන සිහින් ගීත කණ්ඩය ගායනා කිරීමෙනි.
කුඩා අවධියේ දෙමටගොඩ පර්ත් පාරේ පදිංචිව සිටි ජෝතිපාල පළමුව පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ කුප්පියාවත්තේ “ඉන්ඩස්ටි්‍රයස්” නම් පාසලෙනි. දැනට නාලන්දා විදුහල පිහිටා ඇත්තේ එම භූමියේය. ඉන්පසු “ලෝරන්ස්” විදුහලට ඇතුළත් වූ ජෝති ඉගෙනීමට වඩා සංගීතය කෙරෙහි නැඹුරු විය. චිත්‍රපටවලට ඔහු විසින් ගයන ලද ගීත ඉතා සාර්ථක වූයේ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟ පෑ නළුවන් සියල්ලන්ටම උචිත කට හඬක් ඔහු සතුවීම නිසාය. එදා දිවංගත සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් ඔහු හඳුන්වා ඇත්තේ “තිරයේ හඬ :ීක්‍ඍෑෑභ ඪධෂක්‍ෑ* ලෙසිනි.
වචනාර්ථයෙන්ම ජෝති යනු අලෝකයයි. ඔහු මැනවින් සිය කටහඬින් අනුන් ආකර්ෂණය කළේය. ඊටත් වඩා ජෝති අලෝකවත් කළේ මිත්‍රත්වයයි. එයට හොඳම නිදසුන නම් 1977 මහ මැතිවරණයයි. එදා ජනප්‍රිය නළු විජය කුමාරණතුංගයන් කටාන ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන විට කලාකරුවන් හැටියට විජයකුමාරණතුංගයනට විරුද්ධව මැතිවරණ කටයුතුවල නොයෙදීමට ජෝති පෙරමුණ ගත්තේය. ඔහු එදා සැබෑ මිතුරකු ලෙස විජයට දුන් සහතිකය අවංකව ඉටු කළේය.
එමෙන්ම ජෝතිගේ ජීවිතයෙන් මිත්‍රත්වයට දැක්වූ ගෞරවය ඔහුගෙන් මනාව පිළිබිඹු විය. ජෝති සිය අවසන් කැමැති පත්‍රය ලියා දුන්නේ ලංකාවේ අසහාය නළු විජය කුමාරණතුංගයන්ට හා සිනමා ක්ෂේත්‍රයේ නළුවන් රැසකගේ ඇඳුම් නිර්මාණය කළ මෝස්තර ශිල්පියකු වූ ෂෙල්ටන් ජයසිංහ මහතාටය. ජෝතිගේ අන්තිම කැමැත්ත ඉටුකිරීමට සිදුවූයේ ෂෙල්ටන් ජයසිංහට පමණි. ජෝති මළගම දිනයේ විජය කුමාරණතුංග ලන්ඩන් චාරිකාවක නිරත වී සිටියේය.
එදා විජයට කිරීමට ඉතිරිව තිබී ඇත්තේ ලන්ඩන් බෞද්ධ විහාරයේදී “ප්‍රිය ආදරි නාවේ ඇයි” යන ජනප්‍රිය ගීතය ගායනා කළ එන්. කරුණාරත්න, ප්‍රේමා ගණේගොඩ ඇතුළු කලාකරුවන් පිරිස සමග සඟ සතු දනක් පිරිනමා ජෝතිට පිං පැමිණවීම පමණි.
ජෝති ගායකයකු පමණක් නොව, ජනප්‍රිය නළුවකු ද විය. ඔහු සිංහල චිත්‍රපට ගණනාවක රඟපාමින් දක්ෂ නළුවකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වීය. “ඇතුල්වීම තහනම්, අබිරහස, ගීතා, සුජීවා, සුනේත්‍රා, ශාන්ති” යන චිත්‍රපට ඉන් කිහිපයකි.
භාරතයේ ජනප්‍රිය ගායකයකුව සිටි “මොහොමඩ් රාෆී” වරක් ලංකාවට පැමිණි අවස්ථාවේදී ජෝති ගැන මෙසේ පවසා ඇත. ”ලංකාවේ එක් ගායන ශිල්පියෙක් ඉන්නවා. ඔහුගේ නම ජෝතිපාල. ඔහුගේ ඇතැම් ගීත මම ඇහුවා. මේ ලංකාව ඔහුට පුංචි වැඩියි. ඔහු ඉපදිය යුතුව තිබුණේ ලංකාවේ නොවෙයි. මහා භාරතයේයි” යනුවෙනි.
ජෝති වැනි සැබෑ මිනිස්කමින් පිරිපුන් සුන්දර කලාකරුවකු කලා ලොව අද සොයා ගැනීම ඉතා අසීරුය. ගායන ලොව අදත් ජෝති නැති හිඩැස පිරවීම ඉතා අසීරුය. පදික වේදිකාවේ සිට රජ වාසල දක්වා පියමං කිරීමට ජෝතිට හැකි වූයේ එම නිසාය. ඔහු අපෙන් සමුගෙන අවුරුදු 38ක් ගත වුවද අදත් ලොකු, පොඩි කාගේත් හදවත් තුළ ඔහු පිළිබඳ මතකය රැඳී ඇත. ජෝති වැනි නිහතමානී මනුෂ්‍යත්වයෙන් අගතැන්පත් සුන්දර කලාකරුවකු නැවත මේ දෙරණ බිහි නොවන බව අපට විශ්වාසය.
ලූෂන් එඩ්වඩ් පෙරේරා