රත්නපුරේ කහවත්ත මැණික්වලට ප්‍රසිද්ධ ය; ඊළඟට මිනීමැරුම්වලට ප්‍රසිද්ධ ය. පෙරේදා සවස (02දා) සවස රැකියාව නිම කොට නිවෙස බලා යමින් සිටි 26 හැවිරිදි තරුණියකගේ ගෙල කපා මරා දමා ඇගේ ගෙල බැඳි රන් මාලය කොල්කෑමේ සිද්ධියක් වාර්තා වූයේද රත්නපුරයට නුදුරු කුරුවිට ප්‍රදේශයෙනි. 2012 දී කහවත්තේ කොටකෙතන නමැති ගමේ දී එක දිගට කාන්තාවන් 17 දෙනකු මරාදමන ලදී. සමහරකු දූෂණය කර මරා තිබිණ. තවත් අවස්ථාවක දී මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් මවක් හා දුවක් ඝාතනය කර තිබිණ. මේ ඝාතන දෙක අංක 8 වන ඝාතනය සහ අංක 9 වන ඝාතනය ලෙස හඳුන්වන ලදී. ඝාතකයෝ කිසිවෙක් එකිනෙකාට සම්බන්ධ නැත. ඝාතන රැල්ල වසර කිහිපයක් එක දිගට තිබිණ. අන්තිමේදී කහවත්තේ මැණික් ඉඩම් පවා ගණන් බැස්සේ ය. සමහරු කොටකෙතන අතහැර දමා වෙනත් ප්‍රදේශවල පදිංචි වූහ. ඒ දවස්වල කිසිම ගැහැනියක් හවස 5.00 න් පස්සේ පාරට බැස්සේ නැත. තවත් ටික කලක් යන විට කොටකෙතන ගමේ කාන්තාවෝ පාරේ යෑමෙන් වැළැකී ගෙවල් තුළම සිටින්නට පටන් ගත්හ. ඝාතන දාමය වැළැක්වීම දුෂ්කර බව වැටහුණු කල්හි කොළඹ පොලිස් මූලස්ථානය විසින් කරන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කහවත්තට බැස්සවීම ය. වාස් ගුණවර්ධන ස්වකීය ජීප් එකෙන් දෙතුන් පාරක් කොටකෙතන හරහා ගිය විට ඝාතන සියල්ල නැවතිණ. එහෙත් කර්ම ශක්තිය කොතරම් නරක ද යත් අද වාස් ගුණවර්ධන සිටින්නේ හිරේ ය. කප්පම් ලබාගැනීම පිණිස මුස්ලිම් තරුණයකු ඝාතනය කිරීමට සම්බන්ධ වීම නිසා ඔහුට ජීවිතාන්තය දක්වා හිර ගෙදර ලැගීමට සිදුව ඇත. වාස් ගුණවර්ධන පිළිබඳ සිද්ධිය අල්ලන ලද්දේ පළපුරුදු සී.අයි.ඩී.කාරයකු වන ශානි අබේසේකර විසිනි.
කොටකෙතන අංක 8 සහ අංක 9 දරන මිනීමැරුම් දෙක සිදුවන්නේ මෙසේ ය. මරාදමන ලද දෙදෙනා මව සහ දුව ය. මේ දුව රත්නපුරේ ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් උගත් දක්‍ෂ දැරියකි. දැරිය හැමදාම අල්ලපු ගෙදර ත්‍රීවීලරයේ නැඟී පාසල් ගියාය. ඒ යන අතර පාරේදී හමුවන අංකල් කෙනකුට භාරදීම සඳහා අල්ලපු ගෙදර ඇන්ටි විසින් ඇයට හැමදාම පාර්සලයක් දෙන ලදී. දිනක් පාර්සලය ලැබුණ ද දැරිය පාසල් ගියේ නැත. ඒ අතර මේ පාර්සලය ගැන සැක සිතූ දැරියගේ මව එය විවෘත කළාය. බත් පාර්සලයක් ලෙස සකස් කරන ලද එම පාර්සලයේ තිබුණේ කුඩු පැකට් ය. මේ පිළිබඳ බලවත් කෝපයට පත් දැරියගේ මව අල්ලපු ගෙදර ඇන්ටිට දොස් පැවරුවාය. ඉන් පසු දෙගොල්ල අමනාප විය. මේ අතර අල්ලපු ගෙදර ඇන්ටිගේ ඥාතියකු වූ ජේලර් තරුණයකු වෙනත් වරදකට පොලිසියෙන් අල්ලන ලදී. ඔහු නිතර යන එන ඇන්ටිගේ ගේ පරීක්‍ෂා කළ පොලිසියට කුඩු තොගයක් හසු විය. දැරිය සහ කාන්තාව කුඩු පිළිබඳ ඔත්තුව පොලිසියට දුන් බව ඇන්ටිගේ සැකය විය. ඒ අනුව ඇන්ටි තම සැමියා සමග එක්ව පෙර කී කාන්තාවන් දෙදෙනා පිහියෙන් ඇන මරා දැමීය. අවුරුදු 13 කට පමණ පෙර වූ මේ සිද්ධිය රත්නපුරේ ජනයා මහත් ශෝකයෙන් සමරනු ලැබෙයි. එය යළි කිසි කලෙකත් පුනරුච්චාරණය වනු ඇතැයි කවුරුත් කල්පනා කළේ නැත. එහෙත් මීට පැය 72 කට පෙර එය පහත සඳහන් ආකාරයෙන් යළි සිදුවිය. එය මෙසේ ය.
ඉමන්ත සුරංජන නමැති 22 හැවිරිදි තරුණයා කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් ඔත්තු දුන්නේ යැයි සැකපිට මරා දමන ලදී. ඔහු පදිංචිව සිටියේ කහවත්තේ ය. දැනගැනීමට ඇති පරිදි තරුණයා මරන ලද්දේ දණගස්වා වෙඩි තැබීමෙනි. ඔහුගේ 27 හැවිරිදි මිතුරාට ද කුඩුකාරයන් විසින් වෙඩි තබන ලද නමුදු ඔහු යාන්තම් බේරුණේ ය. කුඩුකාරයන් පැමිණ තරුණයන්ගේ අත්වලට මාංචු දමා පැහැරගෙන ගොස් තිබිණ. මරා දැමූ තරුණයාගේ මළසිරුර හමුවන විටත් ඔහුගේ අත්වල මාංචු තිබිණ. ඇත්තටම කුඩ්ඩන්ට මරා දැමීමට අවශ්‍යව තිබී ඇත්තේ වෙඩි කෑ තරුණයාගේ සහෝදරයා ය. පළාතේ කිසිම තැනක කුඩු විකිණීමට ඉඩ නොදෙන බවට ඔහු ප්‍රකාශයක් කර තිබිණ. මේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඩුබායි සිට දුරකථනයෙන් කතා කළ පුද්ගලයෙක් තරුණයන්ට මරණ තර්ජන කර තිබිණ. තරුණයන් පිළිබඳව මිනීමරුවන්ට තොරතුරු සපයන ලද්දේ ඔවුන්ගේ නිවස අසල සිටින කාන්තාවක විසින් බවත්, ඇගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සිටින බවත් හෙළිවී තිබේ. තරුණයන් දෙදෙනා පැහැරගෙන ගොස් තිබුණේ ජීප් රියකින් පැමිණි පිරිසක් විසිනි. තමන් පොලිසියේ කට්ටියක් බව ඔවුන් විසින් හඟවන ලදී. එය වැඩිදුරටත් තහවුරු කිරීම සඳහා මාංචු ද ගෙනැවිත් තිබිණ.
මේ වනවිට ලංකාවේ කුඩු ජාවාරම්කාරයන් නඩු අසන උසාවිය පිහිටා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ බව පෙනේ. එම කුඩ්ඩන් ලංකාවේ සිටින සිය විරුද්ධවාදීන්ට එරෙහිව එම නිල නොවන උසාවියේ දී සාකච්ඡා කර තීන්දු ගෙන එම තීන්දුව ලංකාවට එවන බව අපගේ අදහස ය. එවිට ලංකාවේ සිටින අලුගෝසුවෝ එම තීන්දු ක්‍රියාත්මක කරති. කුඩු ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් එළිපිට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයට කලකට පෙර පිලිපීනයේ සිටි ජනාධිපතිතුමෙක් ඒ රටේ සිටින කුඩුකාරයන් සියලුම දෙනා මරා දමන ලෙසට ජනතාවට උපදෙස් දුන්නේ ය. එවිට ජනතාව කුඩුකාරයන් ලෙස සැලකෙන හත්දහසක් දෙනා ඝාතනය කළේය. එසේ ඝාතනය වූවන් අතර කුඩුකාරයන් නොවන අහිංසකයෝ ද වූහ. එසේ මරා දැමුණු අහිංසකයන් ගණන දෙදහස ඉක්මවයි. රටක් බේරා ගැනීම සඳහා කරන මෙවැනි සමූහ සංහාරවලදී සාමාන්‍ය ජනයා ද මියයෑම වැළැක්වීමට නොහැකි බව පෙර කී පිලිපීන ජනාධිපතිතුමා පවසා තිබිණ. පසුව එතුමා තම නිල කාලය අවසන් කර විශ්‍රාම ගියේ ය. ඔහුගේ පාලන කාලයේ දී සිදු වූ සමූහ සංහාර සම්බන්ධයෙන් අද ඔහු අත්අඩංගුවට ගෙන ඇත. තම රට ජාතිය වෙනුවෙන් කුඩුකාරයන් මරණ ලෙසට ජනතාවට නියෝග කළ බව ඔහු පිළිගෙන තිබේ. ඒ වෙනුවෙන් එල්ලුම්ගස් යන්නට ඔහු සූදානම් ය. එහෙත් ලොකුම ඛේදවාචකය නම් එම ජනාධිපතිතුමා විශ්‍රාමගොස් ටික කලකින් නැවත වතාවක් පිලිපීනය කුඩුවලින් පිරී යෑමය. මෙයින් හැඟෙන්නේ කිසියම් රටක් තුළ කුඩු මර්දනය කළාට සදහටම නැවැත්වීමට බැරි බවය.