අප උපන්දා සිට දන්නා ගෝදම්බ රොටිය හෙවත් ලේන්සු රොටියේ කුඩා අනුකෘතිය පරාටා යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය අරාබි කෑමකි. මෙය ලංකාවට හඳුන්වා දී තවමත් අවුරුදු 30ක් ගත වී නැත. හඳුන්වා දුන් සැණින් මෙය ජනප්‍රිය විය. පාන්පිටි, ලුණු, ජලය සහ පොල්තෙල් පමණක් යොදාගෙන නිපදවන පරාටා ඉතා රසවත් ආහාරයකි. මේ අතර පරාටේ නමැති වචනයක් දැන් අවුරුදු කිහිපයක සිට ජනවහරට එකතු වී තිබේ. කරාටේ තරමටම දරුණු පරාටේ නීතිය මගින් සිදු කරන්නේ බැංකුවල උකස් තබන ලද දේපළ නිසි කාලයේ දී බේරාගත නොහැකිව බැංකුවට සින්න වූ කල්හි, ඒ සම්බන්ධයෙන් නඩුකරයකට නොගොස් අදාළ දේපළ වෙන්දේසියේ විකුණා දැමීමට බැංකුවට අයිතිවාසිකම ලබාදීම ය. මෙය බැංකු වෙනුවෙන් සාදන ලද නීතියක් වන නමුදු, ෆිනෑන්ස් කොම්පැනි ද මේ නීතිය අනුගමනය කරයි. වාහනයක් මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඇරියස් වූ විට ෆිනෑන්ස් කොම්පැනිකාරයා විසින් සීසර්ලා කිහිපදෙනකු යවා වාහන අයිතිකාරයා බෙල්ලෙන් අල්ලා එළියට තල්ලු කර වාහනය පැහැරගෙනවිත් විකුණනු ලැබේ. මෙය පරාටේ නීතිය ඉතා අමානුෂික ලෙස පාවිච්චි කරන අවස්ථාවකි. ෆිනෑන්ස් කොම්පැනි ලෙස ලේබල් ගසාගත් හොර පළවල් දහස් ගණනක් මේ රටේ තිබේ. මේ හොර පළවල් ෆිනෑන්ස් කොම්පැනි නීතිය යටතේ ලියාපදිංචි නැති, සමාගම් නීතිය යටතේ පමණක් ලියාපදිංචි සුරුට්ටු කඩ හා සමාන ය. එවැනි ඇතැම් ආයතන පළාත් සභාවේ පමණක් ලියාපදිංචි කර ඇත. සමාගම් නීතිය යටතේ ලියාපදිංචියක් සිදු කරන විට ඒ සඳහා ලියකියවිලි ගාස්තු වශයෙන් රුපියල් ලක්‍ෂයක් පමණ දරන්නට සිදුවෙයි. ඒත් කිසියම් ආයතනයක් පළාත් සභාවේ ලියාපදිංචි කරන විට රුපියල් තුන්දහසකට අඩු මුදලකින් වැඩේ ගොඩදමා ගත හැකිය. මේ අනුව ශ්‍රී ලංකාව තුළ මහ බැංකුවේ අධීක්‍ෂණයට යටත් වන සහ ඉතා පිරිසිදුවට ව්‍යාපාර කරන ෆිනෑන්ස් සමාගම් මෙන්ම, ෆිනෑන්ස් සමාගම් ලෙස පෙනී සිටින හොරු ද සිටිති. පරාටේ නීතිය තිබුණත් නැතත් මේ හොරු කවදත් දුප්පත් ජනතාවගේ දේපළ මංකොල්ල කෑහ. දුප්පත් මිනිසෙක් ඩවුන්පේමන්ට් එකක් ගෙවා මෝටර් සයිකලයක් මිලට ගෙන ඉතිරි මුදල මාස්පතා ගෙවීමට එකඟ වෙයි. එවිට ඒ දේපළෙහි අයිතිය ෆිනෑන්ස් කොම්පැනියට මාරු කරනු ලැබේ. ඒ අනුව දේපළෙහි සැබෑ අයිතිකාරයා හෙවත් ්ඉිදකමඑැ ධඅබැර බවට ෆිනෑන්ස් කොම්පැනිය පත්වෙයි. අයිතිකරු හෙවත් ධඅබැර බවට පත්වන්නේ වාරික ගෙවන මිනිසා ය. සමහර ෆිනෑන්ස් කොම්පැනි එක වාරිකයක් ගෙවීමට අපොහොසත් වූ සැණින් පරාටේ නීතිය යටතේ මෝටර් සයිකලය පැහැරගෙනවිත් වෙන්දේසි කර මුළු මුදලම අත්පත් කරගනු ලැබේ. තවත් සමහර කොම්පැනි වාරික ගෙවීම් තුන්මාසයක් ඇරියස් වූ විට වාහනය පැහැරගෙනවිත් විකුණනු ලැබේ. මේ ඩීල් එකේ දී වාහනයට ගෙවූ ඩවුන්පේමන්ට් එකත් එතෙක් ගෙවන ලද වාරිකත් මෝටර් සයිකලය ලබාගත් එකාට අහිමි වෙයි. ඒ අනුව ණයත් වී, සීසර්ලාගෙන් ගුටිත් කා, බස් එකේ යෑමට ඔහුට සිදුවන්නේ ය.
කොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලින් 95% ක්ම කඩාගෙන වැටිණ. ව්‍යාපාර කටයුතු සඳහා කුඩා ලොරි, යන්ත්‍ර සූත්‍ර සහ වෙනත් උපකරණ ෆිනෑන්ස් ක්‍රමයට ලබාගත් අය නන්නත්තාර වූහ. මේ අතර ඇතැම් තුට්ටු දෙකේ ෆිනෑන්ස් සමාගම් දුප්පත් මිනිසුන්ගේ වාහන උස්සන්නට පටන් ගත්තේය. මෙවිට එකල ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්‍ෂ එසේ වාහන පැහැරගැනීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. එහෙත් කවුරුවත් සත පහකට එය ගණන් ගත්තේ නැත. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බලයට පත්වූ පසු නිශ්චිත කලකට හෙවත් ව්‍යාපාරිකයන් නැවතත් ගොඩඑනතුරු පරාටේ නීතිය ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී. දැන ගැනීමට ඇති පරිදි ඊයේ රෑ 12.00 ට මේ කැබිනට් තීරණය අවලංගු වූ අතර නැවත වතාවක් පරාටේ නීතිය බලගැන්විණ. මෙතැන් සිට මේ රටේ බැංකු සහ ෆිනෑන්ස් කොම්පැනි ගෙවීම් ඇරියස් වූ ස්වකීය දේපළ නඩුකරයකින් තොරව පවරාගනු ඇතැයි මේ රටේ ව්‍යාපාරිකයෝ බියට පත්ව සිටිති. පරාටේ නීතිය තවත් කලකට අත්හිටුවා දෙන ලෙස ඉල්ලමින් ඔවුහු පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් ද පැවැත්වූහ. එම සාකච්ඡාව ඊයේ දිවයිනේ පළ විය. මේ ගැන විමසන විට බැංකු සහ ෆිනෑන්ස් කොම්පැනි කියන්නේ, ඇරියස් වූ දේපළ පවරා නොගන්නා බැංකු හා ෆිනෑන්ස් කොම්පැනිවලට එරෙහිව මහ බැංකුව ක්‍රියාමාර්ග ගන්නා බවය. පරාටේ නීතිය නැවත වරක් කල්තබා රටේ ජනතාවට සහනයක් ලබාදෙන මෙන් මුදල් ඇමැති හා ජනාධිපති අනුර දිසානායකගෙන් අපි ඉල්ලමු.