හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උලෙළ 2025 ජූලි මස 15 වැනි අඟහරුවාදා සවස 06.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. 30 වැනි සුමති සම්මාන උලෙළේදී ඇගයීමට ලක් කරනු ලබන්නේ 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ටෙලිනාට්‍ය සහ වැඩසටහක් වේ.
1995 වසරේ තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද සුමති සම්මාන උලෙළේ අරමුණ වනුයේ මෙරට ටෙලිනාට්‍ය හා රූපවාහිනි නිර්මාණයක් වෙළෙඳ දැන්වීම් ආදියෙන් ගුණාත්මක බව ඇගයුමට ලක්කර එහි ප්‍රමිතීන් නැංවීමත් ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණකරුවන් සහ කර්මාන්තය දිරිගැන්වීමත්, දේශීය තලයෙන් ජාත්‍යන්තර තලය දක්වා මෙරට නිර්මාණ ගෙන යෑම සඳහා ඔවුන් දිරිගැන්වීමත්ය. එමෙන්ම දේශීය සංස්කෘතියට හා සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය දෙමින් සහ අනන්‍යතාවයක් සුරකරමින් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව පවත්වනු ලබන එකම රූපවාහිනි සම්මාන උලෙළ වනුයේද සුමති සම්මාන උලෙළයි.

සුමති සම්මාන උලෙළේ ඉතාම ආකර්ෂණීය සහ උත්කර්ෂවත් අංගය වනුයේ ප්‍රේක්ෂක මනාපයෙන් අභිෂේක ලබන ජනප්‍රිය නළුවා, ජනප්‍රිය නිළිය, ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ ජනප්‍රියම රූපවාහිනි වැඩසටහන හා ජනප්‍රියම කාණ්ඩ යටතේ පිරිනැමෙන සම්මානයන්ය. මේ දිනවල සියලුම නාලිකාවල විකාශනය වන ටෙලිනාට්‍ය අතුරින් ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි නාට්‍ය සඳහා යෝජිත නාමයන් මේ සඳහා ඇතුළත් කර ඇත.

මෙවර සුමති සම්මාන උලෙළේ වැඩිම සම්මාන ප්‍රමාණයක් වෙනුවෙන් අනුෂ්ක රසාංජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද ටේක් කෙයාර් ටෙලි නාට්‍ය නිර්දේශ වී ඇති අතර ඊට අමතරව ජෝ දිසානායක අධ්‍යක්ෂණය කළ බැක් සයිඩ්ද, චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ වියළි ද, සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍යය ද පෙරමුණේ සිටී.
දිනේෂ්
