මිනිසා ඈත අතීතයේ සිටම තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා විවිධ සංකේත භාවිතා කොට ඇත. කැටයම්, මූර්ති, සිතුවම් ආදිය ඒවා අතර වේ.
අරුත් බර අදහස් රැසක් ප්‍රකාශ කිරීම සඳහා නිර්මිත සංකේතයකි පූර්ණ ඝටය හෙවත් පුන්කලස. ලාංකික සංස්කෘතියේ අතිශයින් උත්තරීතර සංකේතයක් ලෙස පුන්කලස හඳුන්වා දිය හැක. එහි යටගියාව පිළිබඳ දිග හැරුමකි මේ.
සෞභාග්‍යය හෙවත් ඉසුරුමත් බවද පූර්ණ හෙවත් පිරුණු බවද ආශීර්වාදය හෙවත් සුබ ප්‍රාර්ථනය ද මෙමගින් සංකේතවත් කරයි. තව ද ශාන්තභාවය හා ධාර්මික පැවැත්ම නියෝජනය වන බවද ප්‍රකාශිතය. පුන් කුඹු, පූර්ණ ඝටය, පූර්ණ කලස ආදී නම්වලින් හඳුන්වන පුන්කලස සැබවින්ම කළයකි. කළය වූ කලී ජලය පිරවීම සඳහා යොදා ගන්නකි. ජලය ලාංකික සංස්කෘතියට අනුව දේවත්වයේ ලා සලකා ඇත. මිනිසා, සතා සිව්පාවා, ගහකොළ ඇතුළු ජීවයේ රඳාපැවැත්ම ජලය මත පවතින බැව් ආදිතමයන් මනාව අවබෝධ කරගෙන තිබුණි. ඒ අනුව දිය පිරුණු කළය හෙවත් පුන්කලසට සුවිශේෂී ස්ථානයක් ලැබිණි.
ලොව පැරණිතම පුනකලස සහිත කැටයම්, දඹදිව භාරුත්, සාංචි, අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩේ යන ස්ථානවලින් සොයාගෙන තිබේ.
මිහිඳු හිමියන්ගෙන් පසුව මෙරටට වැඩම කළ සඟමිත් තෙරණිය සමග පැමිණි කලා ශිල්පීන් විසින් හඳුන්වා දුන් නිර්මාණ අතර පුන්කලස ද වූ බව පුරාවිiාඥයන් විසින් තහවුරු කොට ඇත. මුල් අවධියේ මුරගල්වල සැරසකලස රේඛාමය සටහනක් ආකාරයෙන් යොදාගන්නා ලදී. ත්‍රිකුණාමලයේ වෙල්ගම් වෙහෙර, රුහුණේ මඟුල් මහා විහාරය, වව්නියාවේ මඩුකන්ද විහාරය යන ස්ථානවල මෙබඳු ආකාරයේ පුන්කලස් දක්නට ඇත. පසුකාලීනව වඩාත් තීව්‍ර ලෙස උඩට ඉස්මතු වන සේ කැටයම් කිරීමට ශිල්පීන් උනන්දු වී තිබේ. මිහින්තලේ සිංහ පොකුණ අසල ඇති මුරගලේ මැනවින් කොටන ලද මල් පොහොට්ටුවකින් යුත් පුන්කලසක් වේ. කතරගම කිරිවෙහෙර මුරගල ද මෙබඳුය. රජගලතැන්නේ මුරගලක කැටයම් කර ඇති දොරටුපාල රුවෙහි එක් අතක අනර්ඝ පුන්කලසකි. මේ අනුව පෙනී යන්නේ, මුරගල සඳහා යොදන ලද මුල්ම සැරසිල්ල පුන්කලස බවයි. අනුරපුර අභයගිරි විහාරයට අයත් කුට්ටම් පොකුණුවලට බැසීමට ඇති පඩිපේළි දෙපස පුන්කලස් දෙක බැගින් නිර්මාණය කර ඇත. එකිනෙකට වෙනස් අයුරින් පූර්ණ ඝට ලෙස තනා ඇති මේවා ඉපැරණි කලා ශිල්පීය විශිෂ්ට නිර්මාණ වෙති. ජේතවන දාගැබේ උතුරු දොරටුවේ ද ඉසුරුමුණි විහාරයේ ද මනා ලෙස නිර්මිත පුන්කලස් දක්නට ලැබේ. මහනුවර යුගයට අයත් හඟුරන්කෙත පත්තිනි දේවාලයේ ප්‍රවිෂ්ට දොරටුව දෙපස පංච නාරි ඝටයක් ලෙස පුන්කලස් තනා ඇත. මංගල සම්මත සංකේතයක් ලෙස මල්කම්, ලියකම් හා විවිධ කැටයම් සහිතව අනර්ඝ අයුරින් සැකසූ පුන්කලස් නංවිධ ආගමික හා ජාතික උත්සව සඳහා යොදාගෙන ඇත. මහාවංශයේ ඇතැම් තැනක ‘මධ්‍යයෙහි මංගල වස්තු සහිත වූ පුන්කලස පිහිටි ස්ථානය’ යනුවෙන් වන සඳහනින් පුන්කලස මංගල වස්තුවක් ලෙස දක්වා තිබේ. සද්ධර්මාලංකාරයෙහි ‘සුවඳ මල්කලස් ද, අට මංගල, සොළොස් මංගලකලස් ද’ වශයෙන් සඳහන් කර ඇත්තේ ද සිංහල බෝධි වංශයේ (107 පිටුව) ‘පුන්කලස හා රන් දද, රිදී දද හා රන්තලි, රිදී තලි හා කස්තුරි කපුරු කළුවැල් තුවරලා’ ආදී වශයෙන් ද සිංහල ථූප වංශය (108 පිටුව) ‘පුන්කලස ඉදිරි කොට නැඟෙනහිරට අභිමුඛව වැඩ සිටි සේක’ යනුවෙන් ද වන සටහන් පුන්කලස පිළිබඳවයි. ගුත්තිල කාව්‍යයේ එන ‘සිටුවා දොරු දොරු රඹතුරු, තබවා පුන් කුඹු විසිතුරු’ මෙහි ‘පුන් කුඹු’ යනු පුන්කලසයි. එය රාජකීය උත්සව අවස්ථා උත්කර්ෂවත් කිරීම උදෙසා යොදාගත් බව මින් ගම්‍ය වේ. තවද එය සුබ පෙර නිමිත්තක් සේ සලකා ඇති බැව් සැලළිහිණි සන්දේශයේ එන මෙම පැදිය දෙස් දෙයි.
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපුල රන් කොඩි
සල සුදු සෙමර සේසත් ගිරිඳු නොද වැඩි
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩි
දැවමය, ශෛලමය නිමැවුම් ලෙස සකස් වූ පුන්කලස වත්වන රන්, රිදී, පිත්තල ආදී ලෝහ භාවිතයෙන් විවිධ සැරසිලි යොදා තනනු ලැබේ. විශේෂයෙන් මෙරට රාජ්‍ය ලාංඡනය සකසා ඇත්තේ පුන්කලස පාදක කොටගෙනය. පිරිත් මණ්ඩපයේ සිව් කොන පහන් දැල්වීම පිණිස ද මංගල පෝරු සැරසීම ආදී අතිශය වැදගත් අවස්ථා සඳහා පුන්කලස දැනුදු යොදාගනු ලබන්නේ එහි ඇති ජාතික, ආගමික, සංස්කෘතික හා කලාත්මක වටිනාකම් නිසාවෙනි.
කටුවන ජාතික පාසලේ හිටපු විදුහල්පති
ශාස්ත්‍රපති ජයන්ත කංකානම් පතිරණ