එදා රාජ්‍ය ඇමැතිව සිටි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හෙළි කළ කතාවක්

ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් රාජකීය පුස්තකාලයේ පෙරදිග අංශයේ ලංකාවේ පුස්කොළ හා අත්පිටපත් ගණනාවක් ඇත. ‘රාස්ක් එකතුව’ නමින් හැඳින්වෙන ඒ ලියැවිලි ඒ පුස්තකාලයේ ඉතා අගනා වස්තූන් අතර එකක් වශයෙන් සැලකේ. ඒ ලියැවිලි අතර පුස්කොළ පිටපත් එකසිය හැටඑකක් ඇත. කඩදාසි අත්පිටපත් කීපයක් ඇත. ඒ අත්පිටපත් එක් දහස් අටසිය විසි ගණන්වල ලංකාවේ සිංහල, පාලි හා සංස්කෘත සාහිත්‍යය නියෝජනය කෙරෙනසුලුය.
ඩෙන්මාර්කයේ ඒ ලංකා අත්පොත් එකතුව අපරදිග රටවල ඇති හොඳම ලංකා ලියැවිලි ගොනු අතර එකක් වශයෙන් සැලකේ. මං, කෝපන්හේගන් නගරයට ගිය අවස්ථාවේදී ඩෙන්මාර්ක් රජයේ අනුග්‍රහය ඇතිව එහි රාජකීය පුස්තකාලයට ගියෙමි. එහි තැන්පත් කර ඇති ලංකාවේ වටිනා ලියවිලි දැකගැනීමටත් ඉන් සමහරක් කියවා බැලීමටත් මට ඉඩ සලසා දෙන ලදී. අත්පිටපත් ලංකාවෙන් එක්රැස් කරගෙන ඩෙන්මාර්කයට ගෙන ආ පුද්ගලයා ගැන ද මට විස්තර දැනගැනීමට හැකි විය.
හඳුන්වා දුන්නා
ඔහු 1787 – 1832 අතර කාලයේ විසූ රස්මස් රාස්ක් නමැත්තායි. ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ මහතා විසින් දැක්වන විස්තරයට අනුව රස්මස් රාස්ක් මහතා ආසියාතික දැනුම යුරෝපයට හඳුන්වා දුන් මූලිකයන් අතර කෙනෙකි. බටහිර දිග කවර රටක වුවද පුස්තකාලවල ඇති අතින් ලියන ලද පැරැණිම ලියකියවිලි ලංකාවේ ඒවා විය හැකිය යනු ගොඩකුඹුරේ මහතාගේ අදහසයි.
රස්මස් රාස්ක් මහතා භාෂා පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු 1810 – 1823 අතර වර්ෂවලදී “ඉන්දියානු මහ සංචාරය” නමින් හැඳින්වුණු සංචාරයක යෙදුණි. ඔහු ස්වීඩනය, පින්ලන්තය, රුසියාව, ආමේනියාව, පර්සියාව හා ඉන්දියාව හරහා ලංකාවට ද පැමිණියේය. ඔහු ලංකාවේ නව මාසයක් රැඳී සිටියේය. ඒ 1821 – 1822 අතර කාලයේදීය.
සහාය

රස්ක් මහතා ඉන්දියාවේ හා ලංකාවේ රැඳී සිටි කාලයේ පාලි, සිංහල හා එළු භාෂා උගත්තේය. ඔහුට ලංකාවේ උගත් බොහෝ දෙනකු සමග මිත්‍ර වීමට ද හැකි විය. අපරදිග රටවල නව ක්‍රම අනුව ගිය අය මෙන්ම පාරම්පරික ජාතික හැඩගැස්ම අනුව ගිය අය ද ඒ අතර වූහ.
නව පාලන ක්‍රමය පිළිගෙන තිබූ දොන් ඒබ්‍රහම් ද තෝමස් මුදලිතුමා ජෝර්ජ් නදෝරිස් ද සිල්වා මහතා යන අය ඔහුට සහාය දුන්හ. ජෝර්ජ් නදෝරිස් මහතා පල්ලේදඩල්ල විහාරයේ රාජගුරු ධම්මක්ඛන්ධ යන නමින් පැවිදිව ද සිටියේය.
මෙතෝදිස්ත සභාවේ මිෂනාරිවරයකුවූ බෙන්ජමින් කල්ප් පූජකතුමා ද රාස්ක් මහතාට ලංකාවේදී උපකාර කළ කෙනෙකි.
මාතරට හා වැලිගමට ගිය ගමනක් ගැන ද රාස්ක් මහතා සඳහන් කර ඇත. මාතර අසල පිහිටි වේරගම්පිට විහාරයට ගිය ගමනේදී ඔහුට එහි සිටි පැවිදි කිවියකු වූ ධර්මසේන හිමියන් ද හමු විය. ඒ භික්ෂුව හිරගෙයි සිටියදී ලියන ලද “බකනම් ගමනක්” යන කවි පන්තිය රස්ක් මහතාට ඔහුගෙන් ලැබිණි. එය කවි දොළහකින් සැදුණකි.
රාස්ක් මහතා වේරගම්පිට විහාරයේ මහ තෙරුන් හමුවීමට ගොස් ඇත්තේ සිය මිත්‍ර කලක් මහතා සමගය. උගත් භික්ෂූන් වහන්සේලා සමග මෙන්ම උගත් ගිහියන් සමග ද වෙනත් විහාරවලට හා රැස්වීම්වලට ද ගිය ගමන් ගැන රාස්ක් මහතාගේ දිනපොතේ සඳහන්ය.
පන්සල්
ඔහු දකුණේ පන්සල් දෙකක් ගැන සඳහන් කරයි. එකක් මාතර විහාරයකි. එහි අල්මාරියක පොත් සියයක් තිබූ බව සඳහන් ය. අනෙක ඔහුගේ මිත්‍ර ජෝර්ජ් නදෝරිස් ද සිල්වා මහතා භික්ෂුවක වශයෙන් සිටි දඩල්ලේ විහාරයයි. එහි පොත් පන්සියයකින් පමණ යුත් පුස්තකාලයක් තුබූ බව සඳහන් වේ. නදෝරිස් ද සිල්වා මහතා විසින් බුරුමයෙන් ගෙන එන ලද බුරුම අකුරින් ලියැවුණු පාලි පොත් බොහෝ ගණනක් ද තුබූ බව රාස්ක් මහතාගේ දිනපොතේ සඳහන් කර ඇත. නදෝරිස් ද සිල්වා මහතා රාජගුරු ධම්මක්ඛන්ධ යන නමින් මාතර දඩල්ලේ විහාරයේ සිටි බව මෙහි මුලින් සඳහන් කරන ලදී. රාජගුරු යන නාමය ලැබී ඇත්තේ මහා ධර්මරාජ යන බුරුම රජතුමාගෙන් ය. රාස්ක් මහතා ලංකාවෙන් පාලි අත්පිටපත් ගණනාවක්ම ගෙන ගොස් ඇත. ඒවා ලංකාවෙන් ලබා ගත් මිල ගණන් ඇතුළත් බිල්පත් ද කෝපන්හේගන්හි රාජකීය පුස්තකාලයේ සුරක්ෂිත ලෙස තැන්පත් කර තිබේ.
රජුට ලියූ ලිපිය

ඔහු විසින් රැස්කරගෙන තැබූ ලියැවිලි අතර ඉතා වැදගත් කොට සලකන ලද්දක් නම් මහනුවර අන්තිම රජතුමාට ලියන ලද ලිපියකි. ඒ ලිපිය ලියා ඇත්තේ රාජගුරු ධම්මක්ඛන්ධ හිමියන් (නදෝරිස් ද සිල්වා මහතා) විසිනි. ලේඛක හිමියන්ගේ නායකත්වයෙන් බුරුමය බලා ගිය භික්ෂු දූත පිරිසකගේ වාර්තාවක් ඒ ලිපියට අයත්ය. ඒ ගමන සිදුවූයේ 1808 – 1812 ත් අතරය. ඒ ලිපිය මහනුවර රජතුමාට යැවිය නොහැකි විය. රජතුමා 1815 දී බලයෙන් පහ කරනු ලැබිණි.
කඩදාසියක ලියැවුණු ඒ ලිපිය අපට පෙන්වන ලදී. මහනුවර යුගයේ පාරම්පරික මල් මෝස්තර සහිත බෝඩරයකින් අලංකෘත වූ කඩදාසි දෙකක ඒ ලිපිය ලියැවී තිබිණි. ලංකාවට අයත් එවැනි ලිපි ඉතා දුලබය. අප දුටු ඒ ලිපිය හැරුණු විට ලංකාවේ ලියැවුණු එවැනි ලිපි ඇත්තේ තවත් දෙකක් පමණක් යැයි සැලකේ. කෝපන්හේගන්හි රාජකීය පුස්තකාලයේ වගකියයුත්තෝ ඒ ලිපිය ඉතා පරෙස්සමින් රැකගනිති.
අමරපුර නිකාය
එහි අමරපුර ගැන ද සඳහනක් මම දිටිමි. එයින් දැක්වෙන්නේ අමරපුර නිකායේ ආරම්භය ගැනදෝයි නොදනිමි. කාලය මඳ වූ හෙයින් සම්පූර්ණයෙන් ඒ ලිපිය කියැවීමට මට නොහැකි විය. එම වැදගත් ලියකියැවිලිවල සූක්ෂම ඡායාරූප පිටපත් අපේ රාජ්‍ය ලේඛනාගාරයට ලබා ගැනීම අවශ්‍යය. ඒ සඳහා ක්‍රියාකිරීමට ද මම බලාපොරොත්තු වෙමි.
පුස්කොළවල ලියැවුණ වෙනත් ලියවිලි ගණනාවක් ද අපට පෙන්වන ලදී. ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ මහතාවිසින් සකසන ලද ඩෙන්ර්මාකයේ ඇති ලංකාවේ ලියකියවිලි පිළිබඳ නාම ලේඛනයක් ද එහිදී මට දැකගත හැකිවිය.”
මෙම ලිපියට කරුණු දැක්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා පසු කලක මේ රටේ විධායක ජනාධිපතිවරයා ද විය. එම ලිපි ආපසු මෙහි ගෙනවිත් ඇත්ද?
මේ පිළිබඳව අපේ කෞතුකාගාරයෙන් පිළිතුරක් ලද හොත් එය අපි ඉදිරියේ ඔබට ගෙන එන්නෙමු.
නාරද නිශ්ශංක