ඉකුත් සතියේ අපට වැඩිපුරම ඇසුණේ සමාජ දේශපාලන අංශවල කැළඹීම්, පරිහානිය, සාහසිකත්වය විස්මය මෙන්ම කම්පනය ද දනවන පුවත්ය. ඒ බොහෝ පුවත් තවමත් විකෘතියක් ලෙස ගලායන දේශපාලනය සමග ද ගැට ගැසී තිබෙන ඒවාය. සමාජ දේශපාලන වෙනසක් ඉල්ලා සිදුවූ 2022 ගාලු මුවදොර විරෝධතාව පමණක් නොව එහි තේමාව ද අද බොහෝ දෙනකුට අමතකව තිබේ. ජනාධිපති අනුර කුමාර නායකත්වය දෙන ජවිපෙ මෙන්ම එහි දායකත්වය ඇතිව ගොඩනඟන ලද මේ ආණ්ඩුව විවේචනය කරන සාම්ප්‍රදායි දේශපාලන පක්‍ෂ සියල්ලටම පාහේ ජාජබයේ දේශපාලන වෙනස්වීම් වටහා ගැනීමට නොහැකි වී තිබේ. බොහෝවිට ඒ විවේචකයන් අදහස් කළේ මේ ආණ්ඩුව ආර්ථික දේශපාලන වසයෙන් රැඩිකල් පියවර ගනු ඇති බවය. විප්ලවාදී හා සන්නද්ධ අරගල සහිත ඉතිහාස පසුබිම දෙස බලමින් ආණ්ඩුව විවේචනය කරන අයද සිටිති. එහෙත් ජාජබය යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන එමගින් මෙරටේ බලය ලබාගත් වමේ සන්නාමයක් සහිත පක්‍ෂයකි. එසේ වුවද ක්‍ෂණිකව මේ ක්‍රමය වෙනස් කළ නොහැකි බව ඔවුහු ද දනිති.
මේ ආණ්ඩුව බලයට පත් වූයේ බරපතළ දේශපාලන පරිහානියක පමණක් නොව උග්‍ර ආර්ථික අර්බුදයක රටම කරවටක් ගිලී තිබෙන පසුබිමකය. රාජපක්‍ෂ රෙජිමය හා ඔවුන්ගේ සහාය ද සහිතව බලය අතටගත් රනිල් වික්‍රමසිංහ ද දේශපාලන වසයෙන් ඛේදනීය පරාජයකට ලක් කළ බහුතර ජනතාවගෙන් සෑහෙන ප්‍රතිශතයක් අද මේ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයට පත්ව සිටින බවද සැබෑය. තවමත් මළ වාතයක් බවට පත්ව තිබෙන පළාත් පාලන බලඅරගලයේ ජුගුප්සාජනක ජවනිකා සම්බන්ධයෙන් වුවද පැහැදිලි අවබෝධයක් හා ප්‍රසන්න චිත්‍රයක් ඔවුන්ට ලබාදීමට ආණ්ඩුවද අසමත්ව සිටියි. ඒවා ජයවර්ධනගේ ධර්මිෂ්ට පාලන කඩතුරාව මෙන්ම මහින්ද චින්තනයේ මිරිඟුවද යළි සමාජගත කිරීමේ අනතුරුදායක සංඥා වැන්න. මෙයට පෙර ද අප විසින් සඳහන් කරන ලද පරිදිම බලය සඳහා සිදු කෙරෙන අලජ්ජී මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂයෙන් මේ ආණ්ඩුව සමග සිටි බහුතරය තුළ ද ඇත්තේ කලකිරීමකට වඩා පිළිකුලකි.
වැලිගම පළාත් සභා මන්ත්‍රීවරුන් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්‍ෂවලත් කෙබඳු අනාවරණයන් සිදු කළත් තවමත් එහි සත්‍යය පවතින්නේ අඳුරේය. තුට්ටු දෙකකට ලැජ්ජා ස්ථානය ප්‍රදර්ශනය කරන වෙසඟනකගේ තත්ත්වයකට පත්වන දේශපාලන අමනයන් මොන පක්‍ෂයේ සිටියත් ඒවා හෙළා දැකීම ශිෂ්ට සම්මතය බව අප අවධාරණයෙන් කිව යුතුය. රට නවතලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායකට පෙරත් ප්‍රකාශ කර තිබුණි. ඔහු සඳහන් කළ පරිදිම මෙරටේ ආණ්ඩුවට අමතරව එක් එක් බලදේශපාලනය සහිත කුඩා ආණ්ඩු ගණනාවක්ම මෙරටේ තිබේ. ඒවා බොහෝවිට දේශපාලන සෙවණක් ලබන දූෂිත මෙහෙයුම්ය. අද රාජ්‍ය බලය හොබවන ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාව බලය ලබා දී ඇත්තේ ඒ සියලු නොමනා, අනීතික, අධිපතිවාදී ක්‍රියාකාරකම් අහෝසි කිරීමටය. සජබ – පොහොට්ටුව පමණක් නොව පෙරටුගාමීන්ගේ ද විවේචනය වී ඇත්තේ මේ ආණ්ඩුවත් පැරණි පීල්ලේම ගමන් කරන බවය.
මේ ආණ්ඩුවේ බහුතරයක්ම ප්‍රමාණවත් හෝ කළ පුරුදු හා පළපුරුදු නොමැති අය බව ඇත්තය. දේශපාලනය අත්දැකීම් සමග වර්ධනය කරගත යුතු භාවිතාවකි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය, නීති රීති ආදිය භාවිතයෙන් මෙන්ම පොතපතින් ද ලබා වහා දිගා කරගත යුත්තකි. එහෙත් දේශපාලන සදාචාරය හා ආධ්‍යාත්මික වර්ධනය පොතපතින් හෝ ආයතනයකින් ඉගෙන ගතහැකි දෙයක්ම නොවේ. පළාත් පාලන බලය වෙනුවෙන් ආණ්ඩුවට දෝෂාරෝපන කරන විපක්‍ෂය ගැන අපට ද විවේචනයක් තිබේ. එහෙත් ඒ නිහීන මෙහෙයුම් සඳහා ආණ්ඩුවත් යොමු වේ නම් එහි බරපතළකම වැඩිය. පළාත් පාලන බලය සම්පූර්ණයෙන්ම විපක්‍ෂයට ගියත් මේ ආණ්ඩුවට ඒ කිසිවකින් කිසිම දෙයක් කළ නොහැකි බව ආණ්ඩුවද දනී. ඇත්තටම මේ විපක්‍ෂය බෙහෙවින්ම දුර්වලය. එනිසාම විපක්‍ෂයෙන් එල්ල විය හැකි ප්‍රහාරය ද ප්‍රබල එකක් නොවේ.
අපට පෙනෙන ආකාරයට නම් පළාත් පාලන බලය පිහිටුවීම සඳහා සජබය හා විපක්‍ෂයේ විවිධ කණ්ඩායම් අතර ඇතිවන එකඟතාව ඉතා තාවකාලික හා සීමිත එකකි. ජාජබයට බලය හිමිවීම වළක්වාලීම අද ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය වී තිබේ. එහෙත් අනාගතයේදී ජාජබයට බලය හිමිවීම වැළැක්වීම සඳහා ඔවුහු එක් කඳවුරකට එක් වෙතියි සිතිය නොහැක. අනුර කුමාර ජනාධිපතිවරයා නිබඳවම සඳහන් කරන පරිදි මේ විපක්‍ෂයේ පක්‍ෂයකට වෙන්ව හෝ සන්ධානගතව හෝ ජාජබයට වඩා ආකර්ෂණීය බවක් ජනතාවට පෙන්විය හැකිද? ජනාධිපති අනුර මෙන්ම ජාජබ මන්ත්‍රීවරුන් හා අනුගාමිකයන් පවසන පරිදිම මේ ආණ්ඩුවට දූෂණ, වංචා, හොර ගැන චෝදනා කළ නොහැක. එසේම ප්‍රධාන විපක්‍ෂය වන සජබයට හා එහි නායක සජිත්ට අලුත් දේශපාලන මානයකින්, දැක්මකින් මේ රට මෙහෙය විය හැකි – සමාජ ආර්ථික – දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් තිබේද? ඇත්තටම පළාත් පාලන ආයතනවල ඔවුන්ට ද පිරිසිදු බලයක් ලබා දී නැත. ආණ්ඩුව බලය පිහිටුවන සභා සංඛ්‍යාවෙන් අඩක් තබා කාලක්වත් ඔවුන්ට නැත.

රටේ අනාගත දේශපාලනයේ ප්‍රධාන චරිතය ලෙස සජිත්ට ගොඩනැඟිය හැකිද? නැතහොත් නාමල්ට ඉදිරියට පැමිණිය හැකිද යන්න කාලය විසින් තීන්දු කරනු ලබන්නකි. එසේම මේ නායකයන් දෙදෙනාගේ සමාජ ආමන්ත්‍රණය තවමත් ආකර්ෂණීය වර්ධනයකට ලක්ව නැත. එහෙත් පක්‍ෂය තුළ නාමල් වඩාත් තහවුරු වී සිටින බවද අපට පෙනේ. පොහොට්ටුව රාජපක්‍ෂවරුන්ගේ උරුමයක් ලෙස හැඳින් වුවත් ඒ හිමිකාරත්වයට වෙන අභියෝගයක් නැති බවද කිව යුතුය. එහෙත් සජිත් සම්බන්ධයෙන් සත්‍යය හා යථාර්ථය එයට වෙනස්ය. අපේ රටේ දේශපාලන අනාගතය සම්බන්ධ ප්‍රධාන චරිත දෙකක් වන සජිත් මෙන්ම නාමල් ද සිය පියවරුන්ගේ දේශපාලනයේම දිගුවක් ලෙස ඔවුන් විසින් සමාජගත කරන ලද්දෝ වෙති. එහෙත් අද තම දේශපාලන ගමන් මඟ තෝරා බේරා ගෙන යෑමේ වැඩි වගකීම ඇත්තේ ඔවුන්ටමය.
මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල විවිධ පුවත් දැක ගත හැකිය. හිටපු ජනාධිපතිවරයකු වූ මහින්ද විසින් ඔහුගේ නිල කාලය තුළ සිදු කරන ලද පත්වීම් අද අභියෝගයට ලක් වී තිබේ. මහින්දගේ බිරිඳ වන ශිරන්තිගේ සහෝදරයකු වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයකු වන නිශාන්ත වික්‍රමසිංහ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ දූෂණ චෝදනා කීපයක් සම්බන්ධයෙනි. එසේම ශිරන්ති රාජපක්‍ෂගේ සිරිලිය ගිණුමක් පිළිබඳ පුවතක් ද සමාජගතවී තිබේ. මේ සිද්ධිය අලළා සමාජ මාධ්‍යවල දැක්වුණු පුවතක් ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එයින් ප්‍රකාශ වූයේ ශිරන්ති අත්අඩංගුවට නොගන්නා ලෙස මහනාහිමි වරුන්ගෙන් මහින්ද ඉල්ලීක් කළ බවය. එය අසත්‍යයක් බව මහනාහිමිවරුන්ගේ පාර්ශ්වයෙන් මෙන්ම පොහොට්ටුවෙන් ද අවධාරණය කර තිබිණි. පොදුජන පෙරමුණේ ලේකම් සාගරි කාරියවසම් මෙන් නාමල් මන්ත්‍රීවරයා ද එයට ප්‍රතිචාර දක්වා තිබිණි. සාගර සඳහන් කළේ මහින්ද සිංහයකු බවත් සිංහයන් තණ නොබුදින බවත් ය. තවත් හිටපු ජනාධිපතිවරයකු වූ රනිල් වික්‍රමසිංහටත් විදේශ සංචාරයක් පිළිබඳ චෝදනාවක් එල්ල වී ඇත. ඒ රාජ්‍ය මුදල් යොදා ගනිමින් පෞද්ගලික සංචාරයක් කළ බවට වූ චෝදනාවකි. මෙබඳු චෝදනා බරපතළය. එහිදී බොහෝ විට අධිකරණයකින් ඇප ලැබෙන තුරු බන්ධනාගාර ගතවීමට ද සිදු විය හැකිය.
මේවාට අමතරව හිටපු ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න ද දූෂණ අල්ලස් චෝදනාවක සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව මාධ්‍යවල සඳහන් විය. ඇත්තට ම මෙබඳු පුවත් ඇසීමට ලැබීම පවා ඛේදවාචකයකි. මේ මෙරටේ රාජ්‍ය්‍ය යාන්ත්‍රණය මෙහෙයවූ මෙන්ම සමාජ පැවැත්ම වෙනුවෙන් ජනතාව විසින් තෝරාගන්නා ලද මහජන නියෝජිතයන්ය. දැන් සෑහෙන කලක සිට රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවී ලෙසත් පුවත්පත්වල ඡායාරූප වසයෙනුත් අප බොහෝ දෙනෙකු දැක බලා ගන්නේ රටේ නිලබල හෙබවූ මැති ඇමැතිලාගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ මේ දූෂිත චෝදනා සම්බන්ධ පුවත්ය. මේ තරමටම රටක පැවැත්ම සදාචාරය කඩාවැටුණු යුගයක් අපට මතක නැත. පාලකයන්, රාජ්‍ය නිලධාරීන්, විවිධ වෘත්තිකයන් කිසිදු විලි බියකින් තොරව මෙබඳු අමන, අසෝබන ක්‍රියාකාරකම් සඳහා යොමුවීම පුදුමයකට වඩා පාපකර්මයකි. ඇමැති සැමියා, ඇමැති පියා අසීමිත ලෙස ධනය රැස්කරද්දී එහි ආදීනව පෙන්වා දීමට තරම් බුද්ධිමත් භාර්යාවක් හෝ දරුවන් නොසිටීම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය සහ පවුල දෙස බලද්දී අපට දැනෙන, හැඟෙන සත්‍යයි. කරන කලට පව් මී සේ මිහිරි වුවත් විඳින කලට දුක් ගිනි සේ දැඩි යැයි ලෝවැඩ සඟරාවේ එන සුභාෂිතය ද අපගේ සිහියට නැඟේ. ජනාධිපති අනුර කුමාර සඳහන් කරන නීතියට යටත් රටක්, මනුෂ්‍යත්වයට ගරු කරන දේශයක් යනු තවමත් අපට බොහෝ දුරය.
මේ ලියවිල්ල අවසන් කිරීමට පෙර තවත් එක් දෙයක් ඔබගේ අවධානයට යොමු කළ යුතුය. ඒ පසුගියදා මෙරටේ සිව්දින සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ භූමිකාවය. බොහෝ බටහිර බලවතුන්ට අදාළ නොවන මානව හිමිකම් පිළිබඳ ලංකාව වැනි රටවලට තිබෙන බලපෑම සම්බන්ධයෙන් අපට හැමදාම විවේචනයක් තිබුණි. මානව හිමිකම් පිළිබඳ මිනුම් දණ්ඩ අන්තවාදී ම්ලේච්ඡ සංවිධානවල අභිලාෂයන්ට සරිලන පරිදි සකස් කර තිබෙන බව අප අදත් නඟන චෝදනාවකි. මානව හිමිකම් කොමසාරිස් මෙවර ලංකාවට එන්නේ මැදපෙරදිගම යුදවාදීන්ගේ ගොදුරු බිමක් බවට පත්ව තිබෙන මොහොතක ඒවායේ ගොදුරු බවට පත්ව, විලාප නඟන, හඬා වැළපෙන පමණක් නොව ජීවිතය රැක ගැනීමට කුමක් හෝ යදින මිනිසුන්ගේ ද දරුවන්ගේ ද දුක් සුමුම්වලට උඩින් පනිමින්ය. ඇත්තවසයෙන්ම මානව වර්ගයාගේ විමුක්තිය, යහපත හදවතින් ප්‍රාර්ථනා කරන මානව හිමිකම් කොමසාරිස්වරයකු මේ අවස්ථාවේ පය තැබිය යුත්තේ යාපනයේ පැරණි මිනීවළවල් හෑරීමට නොවේ. මැදපෙරදිග විශේෂයෙන් ගාසා තීරයේ සිදුවන කුරිරු, ම්ලේච්ඡ මානව හිමිකම් කඩකරන බලවතුන්ගේ ගොදුරු බිමක් බවට පත් වූ යුද බිමටය. දින ගණනක් පුරා කුසට කිසිවක් නොවැටුණු පලස්තීන දරුවෝ එහි හඬති. ඔවුන්ට ලැබෙන්නේ ගුවනින් එල්ලවන උණ්ඩ පමණි. කොමසාරිස්වරයා මේවා හෙළා දකිමින් නිවේදන නිකුත් කළ බවද අපි දනිමු. ඊශ්‍රායලයේ චර්යාව අනුමත නොකළ බවද සැබෑය. එහෙත් මෙවන් කෲර මිනිස් ඝාතනයක නිරතව සිටින බලකාමීහු එබඳු පතෝල නිවේදන තඹයකට මායිම් කරත්ද?
කොමසාරිස්වරයා පැවසූ පරිදිම යුද වේදනාවට උතුර – දකුණ භේදයක් නැත. එහෙත් ඒ වේදනාව අලෙවි කරන එය ජාත්‍යන්තර වෙළෙඳාමක් බවට පත්කර ගත් වසලයෝද සිටිති. කැනඩාව උතුර දකින්නේ සාමූහික ඝාතන සිදුවූ භූමියක් ලෙසය. මෙරටේ අඳුරු ඉතිහාසය දෙමළ ජනතාවගේ මෙන්ම සිංහල, මුස්ලිම් ඇතුළු විවිධ ජනකොටස්වල ලෙයින් හා කඳුළෙන් ලියවුණකි. මිනී කඳු ගොඩගැසූ ඒ අඳුරු යුගයේ කිසිවකුගේ අවධානයකට ලක් නොවූ ම්ලේච්ඡ ඝාතන කෙතරම් තිබේද? අරන්තලාව භික්‍ෂු ඝාතනය ගැන කිසිවෙක් ‘හ්ම්’ හඬක් නොනඟති. කිසිවෙක් යැයි කීවේ මානව හිමිකම්, යුක්තිය, නීතියේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අයය. මානව හිමිකම් සුරැකීම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අද බොහෝවිට ලාභදායී රැකියා බවට ද පත්ව තිබේ. අප ටර්ක් මහතා ඒ ගොඩට දැමීමට ඉක්මන් නොවෙමු. එහෙත් ඔබ ආ ගමන ගැන ඔබම හදවතින් සිතා බැලිය යුතුය.
මානව හිමිකම් කාර්යාලයට ඇමරිකා එක්සත් ජනපදයේම ඇතැම් නිලබලවලින් එල්ල වූ චෝදනා ගැන ද අපට මතකය. මෙරටේ කිසි දිනක මානව හිමිකම් කඩ වී නැතැයි ද අපි නොකියමු. එහෙත් ඒවා ගැන විමසන, සොයන බොහෝ අය පක්‍ෂග්‍රාහීව ඒ මෙහෙයුම් සිදු කරතියි අපට සැකයක් නොමැතිවම කිව හැකිය. ජාතිවාදය ආගම්වාදය අපි කිසිසේත් අනුමත නොකරමු. මිනිසකු වසලයකු හෝ යහපත් අයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බවද අප පිළිගන්නා ධර්මයයි. එය බුදුන් වදාළ මානව ධර්මයකි. එහෙත් මානව ශිෂ්ටාචාරය උමතුව ගලා බසිද්දී ඒ සියල්ල යටකරන බවද අපි දනිමු. වෝල්ටර් ටර්ක් සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූයේ දුබල ප්‍රතිචාරයකැයි ද සමහරු පවසති. හිටපු විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයකු වූ ආචාර්ය දයාන් ජයතිලකගේ විවේචනය ආණ්ඩුවට එල්ල කළ දැඩි ප්‍රහාරයක් බව පමණක් සඳහන් කරමු. ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට රැගෙන යා යුතු යැයි පවසන බටහිරයෝ මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදීහු ද හිඟ නොවෙති. තවමත් ඊළාම් මළකඩ හිස් කුහරවල රැඳුණු දෙමළ නායකයන් ස්වල්ප දෙනෙක් හෝ සිටිති. ඔවුහු ජාතික සමගියට අකුල් හෙළති. ජාතිවාදය, උතුරේ අතුරුදන්වීම් ඔවුන්ගේ දේශපාලනයට අවශ්‍යම දේවල්ය. මේ ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවට බියෙන් සිටින බවට තිබෙන විචේනය අපට පිළිත නොහැකිය. එසේම ආණ්ඩුව බුද්ධාගම දෙස ඇස හකුළුවා බලන බවටද චෝදනාවක් තිබේ. මේවා ජාතිවාදීන්ගේ පැවැත්මට වුවමනා දේවල්ය. එබඳු තැන්වලදී වැනෙන පිළිතුරු නොදීම ආණ්ඩුවේ පැවැත්මට හොඳ බව පමණක් කියමු. දින කීපයකට පෙර අස්ගිරිය පාර්ශ්වයේ ද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති බෞද්ධ හමුව ගැන ආණ්ඩුව තුළම සිටින බව කියන ඇතැම් කොටස් ලෙස හඳුන්වන පිරිස් ද අවධානය යොමුකළ යුතුය.
මේ හැර මානව හිමිකම් කොමසාරිස් විසින් ආණ්ඩුවට දෙන ලද බැව් සඳහන් උපදේශයක් ගැන ද යමක් කිව යුතුය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව හෙවත් ඔන් ලයින් පනත අහෝසි කිරීම ගැන කළ සිහිපත් කිරීමය. මේවා ගැන බාහිර උපදෙස් වුමනා යැයි අපි නොසිතමු. එසේම සමලිංගික විවාහ සම්බන්ධ පනතක් ගැන ද මානව හිමිකම් කොමසාරිස් මතක් කර තිබුණි. මෙය නිසැකයෙන්ම බටහිර සභ්‍යත්වයෙන් ආතුර වූ සමාජයකට විනා පෙරදිග අපට අදාළ වූවක් නොවන බවද කිව යුතුය. ආණ්ඩුව ඒ ගිනිබෝම්බය ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බවද සඳහන් කරමු.
ගාමිණි සුමනසේකර