ගෙයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ ව්‍යාජයෙන් ධනවත් ව්‍යාපාරිකයකු කැලෑ මණ්ඩියකට කැඳවාගෙන ගොස් පටියකින් ගෙල හිර කර ඔහු ඝාතනය කළ තරුණයන් දෙදෙනකු ගැන දෙදිනකට පමණ පෙර වාර්තා විය. මේ තරුණයන් දෙදෙනා ව්‍යාපාරිකයා සතු රුපියල් ලක්ෂ 48ක ස්වර්ණාභරණත් රුපියල් ලක්ෂ 14ක මුදලකුත් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයත් පැහැරගෙන ඇත. අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු සොරාගත් මුදල් සමග ගණිකා නිවාසයකට ගිය තරුණයන් දෙදෙනා එම මුදලින් කාන්තාවන් මිලට ගෙන ඇත. ඒ අතර ඔවුන් විශාල වශයෙන් මත්පැන් පානය ද සිදුකර තිබේ. රටේ තොටේ වන සිදුවීම්වල හැටියට මේ ඝාතනය තවත් එක් මරණයක් පමණි. මීට අමතරව තවත් වැදගත් දෙයක් මේ කතු වැකිය අස්සට ඔබන්නට අපට සිත් විය. පසුගිය පැය 48 තුළ ඉන්ධන මිල ඉහළ ගියේය. ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ යෑම මේ රටේ ජනතාවට සෑහෙන පීඩාවක් වනවා ඇත. ආණ්ඩුව බලයට එන්නේ පෙට්‍රල් ලීටරය රුපියල් 150ට දෙන බව කියමිනි. හැබැයි අද වනවිට රුපියල් 150ට ගත හැක්කේ පෙට්‍රල් ලීටර් භාගයක් පමණි. තෙල් මිල ඉහළ යවන්නේ ආණ්ඩුව නොව, තෙල් නිපදවන රටවල එකමුතුව වන ඔපෙක් සංවිධානයයි. මේ රටේ ආණ්ඩුව ජනතාව සමග තරහ නැති වුව ද ඔපෙක් සංවිධානය අපේ රටේ ජනතාව සමග තරහ වී ඇති බවක් පෙනේ. අපට පෙනෙන පරිදි ඔවුන් ආණ්ඩුව සමග ද තරහය. රුපියල් 150ට තෙල් දෙන බව කියා, ආණ්ඩුව රුපියල් 300ට තෙල් දෙන තත්ත්වයට පත් කිරීමෙන් අපහසුතාවකට පත් කිරීමට ඔපෙක් සංවිධානය කුමන්ත්‍රණය කරනු ඇත. ඉහත සඳහන් කොටස අප විසින් ලියන ලද්දේ වැඩි වූ තෙල් මිල සම්බන්ධයෙන් දේශපාලන අර්ථ නිරූපණයක් දීමට නොව අපගේ සිත සනසා ගැනීමටය. දැන් නැවතත් මිනීමැරුම් වැඩේට බහිමු.
1977න් පසු ලංකාවේ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගියේය. මධ්‍ය කාලීන යුගයේ අගභාගයේදී එංගලන්තයේ විසූ කතෝලික පූජකයකු වන තෝමස් මැල්තස් විසින් ජනගහනයේ වැඩිවීම සහ අඩුවීම සම්බන්ධයෙන් න්‍යායක් ඉදිරිපත් කර තිබේ. මේ න්‍යායට අනුව පාලනය නොකරන ජනගහනය සෑම අවුරුදු 25කට වරක්ම දෙගුණ වෙයි. එහෙත් වසංගත රෝග, ස්වාභාවික ව්‍යසන සහ සංග්‍රාම යනාදිය නිසා මනුෂ්‍යයන් මියගොස් මහ පොළොවට දරාගත හැකි තරමට ජනගහනය පාලනය වෙයි. අද වනවිට ස්වාභාවික ව්‍යසනවලින් සහ වසංගත රෝගවලින් ඒ තරම් ලොකු පිරිසක් මියයන්නේ නැත. එසේම යුද්ධවලින් ද විශාල පිරිසක් මියයන්නේ නැත. යුද්ධවලින් සිදුවන්නේ දේපළවලට හානි වීමයි. අද, කිසියම් තැනකට මිසයිලයක් වැටෙන විට ඊට විනාඩි 10කට පමණ කලින් ඒ ගැන දැනගත හැකිය. එවිට මිනිසුන්ට තිබෙන්නේ පණ එපා කියා දිවගොස් පණ බේරාගැනීමට ය. එහෙත් මිසයිලය අදාළ ස්ථානයට වැටෙයි. එතැන තිබෙන බිල්ඩින් සියල්ල කුඩු වී යයි. එසේ නම් අද වනවිට ලෝක ජනගහන පාලනය සඳහා ඉදිරිපත්ව සිටින්නේ කවුද? අපට වැටහෙන අන්දමට ලෝකය කොන්ත්‍රාත් මිනීමරුවන්ගෙන් පිරී යමින් පවතී. අද වනවිට ඉතා අඩු මුදලට මිනීමරනු ලැබේ. සාමාන්‍යයෙන් රුපියල් 5000ටත් මිනීමරන අය සිටිති. ඔවුහු මිනියක් මැරීම සඳහා රුපියල් 2000ක ඇඩ්වාන්ස් එකක් ගනිති. එම මිනීමරුවා අදාළ ඉලක්කය විනාශ කර ආපසු එනවිට තවත් පිරිසක් විසින් ඔහු ඝාතනය කරනු ලැබේ. අවසානයේදී ඔහුගේ ඉතිරි රුපියල් 3000 දීමට අවස්ථාවක් මුල් කොන්ත්‍රාත්තුව ලබාදුන් තැනැත්තාට ලැබෙන්නේ නැත. ඒ නිසා පෙර කී මනුෂ්‍ය ඝාතන සිදුකර ඇත්තේ රුපියල් 2000ක් වැනි සුළු මුදලකටය. අද හෝටලයකට ගොස් යම් තරමකට බඩ පිරෙන්නට කෑවොත් රුපියල් 2000ක් වැය වේ. බැනියමක් හැර වෙන කිසිම ඇඳුමක් රුපියල් 2000ට ලබාගැනීමට නොහැක. රුපියලේ අගය වේගයෙන් අඩුවෙද්දී මරණයේ මිල ද වේගයෙන් අඩු වී තිබේ.
මේ දිනවල ඉතා පොඩි පොඩි දෙයටත් මනුෂ්‍ය ඝාතන සිදුකරනු ලැබේ. මෙය සෙල්ලමක් නොවේ. සමහර මැරයෝ ගෙවල් ළඟට පැමිණ සතුරන්ට වෙඩි තබා මරති. තවත් සමහරු පාරේ යන ගමන් සිය ඉලක්කයේ හිසට වෙඩි තබති. මිනීමරුවා සමාජය තුළ ඉතා නිදහස්ව සංචාරය කරන බව පෙනෙයි. ඔහුට හැමතැනම යාළුවෝ සිටිති. පොලිසිය තුළ ද ඔහුට යහළුවෝ සිටින්නාහ. මේ නිසා රුපියල් 5000 කුලියට දවසකට එක මිනිහෙක් මැරුවොත් මාසෙකට රුපියල් 150,000ක් සොයාගත හැකිය. මේ අනුව මේ රටේ සිටින සියලුම මිනීමරුවන් වහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ටින් අංකයක් සඳහා ලියාපදිංචි වී ෆයිල් එකක් විවෘත කළ යුතුය.
සමහර රටවල එකෙකු මැරෙනවිට විසිදෙනෙක් උපදිති. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැත. ලංකාවේ උපත් ප්‍රතිශතය මෙයට අවුරුදු 10කට පෙර පෙන්වූ අගයට වඩා අඩු අගයක් දැන් පෙන්වයි. ආණ්ඩුව මේ තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. මේ මරන මැරිල්ලේ හැටියට මිනීමැරුවොත් ඉදිරි අනාගතයේදී මේ රටේ ඉතිරි විය හැකි එකම පුරවැසියා කවුදැයි සිතාගත නොහැකිය. මිනිස්සු තෘෂ්ණාව, වෛරය, ක්‍රෝධය කරපින්නාගෙන විනාශය කරා දිව යති. උතුම් දහමින් පෝෂණය වූ දේශය යළිත් ගොඩනැගීම මිනිස් සිත් සතන් තුළින්ම ඇරඹිය යුතුමය.