ගෙයක් හදන කොන්ත්‍රාත්තුව දෙන්න කියා එක්ක ගියා
කුරුණෑගල ව්‍යාපාරිකයාගේ ඝාතකයෝ පාපොච්චාරණය කරති
“ගෙයක් හදන කොන්ත්‍රාත්තුව භාරදෙන්න කියලා කමල් සම්පත්ව එක්කරගෙන ගිහින් කේබල් එකෙන් බෙල්ල හිරකරලා එයාව මරලා, එයා පැලඳ හිටිය රත්ත්‍රං බඩුයි ළඟ තිබුණු සල්ලියි කොල්ලකාගෙන ගියා. රත්ත්‍රං බඩුයි සල්ලියි කොල්ලකන්න තමයි අපි දෙන්නා මේ මිනීමැරුම කළේ” යැයි කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන 29 හැවිරිදි තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේය. කොල්ලකන ලද දේපොළ අතරින් රුපියල් ලක්‍ෂ 48ක රන් භාණ්ඩ, රුපියල් ලක්‍ෂ 14 ක මුදල් සහ ජංගම දුරකථනයක් පොලිසිය සොයාගෙන තිබේ.
කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර ඔහුගේ සිරුර ජීප් රථයක දමා පුළුස්සා ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ පනහකට අධික වටිනාකමෙන් යුත් රන් භාණ්ඩ ඇතුළු වටිනා දේ කොල්ලකාගෙන ගිය 19 සහ 29 හැවිරිදි වියේ පසුවන ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී ඇත.
මෙම අපරාධය මෙහෙයවූ 29 හැවිරිදි ප්‍රධාන සැකකරු ඝාතනයට ලක්වූ කමල් සම්පත් කුරුප්පු මහතාගේ හෝටලයක සේවයකර ඉන් ඉවත්වූ අයකු වන අතර ව්‍යාපරිකයා පැලඳ සිටි රන් ආභරණ සහ ඔහු සතු වටිනා දේපොළ කොල්ලකෑමේ අරමුණෙන් මෙය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් 29 හැවිරිදි ප්‍රධාන සැකකරු මීට මාස 05 කට පෙර සම්පත් කුරුප්පුට අයත් හෝටලයේ රැකියාව කර ඇත. පසුව ඔහු ඉන් ඉවත්වී ඇතත් ව්‍යාපාරිකයා සමග දිගටම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත.
කඳුබොඩ පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රධාන සැකකරු මහව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මිතුරකු සමග එක්වී ව්‍යාපාරිකයා ඝාතනය කර ඔහු සතු රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමට සැලසුම් කර තිබේ.
ඉකුත් 25 වැනිදා උදෑසන 29 හැවිරිදි සැකකරු ව්‍යාපාරිකයාගේ දුරකථනයට කතා කර තම මිතුරකුට අයත් ඉඩමක නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය බව පවසා එය පරීක්‍ෂා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
කොන්ත්‍රාත් ක්‍රමයට නිවාස ඉදිකිරීමේ කටයුත්තද ව්‍යාපාරයක් ලෙස කරගෙන ගිය සම්පත් කුරුප්පු එදින උදෑසන කොණ්ඩය ද කපාගෙන 29 හැවිරිදි තරුණයා හමුවීමට පැමිණ තිබේ.
කඳුබොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ ජීප් රථයට ගොඩවී ඇති අතර ඔවුන් පාළු ඉඩමක් ඇති ප්‍රදේශයකට ගොස් තිබේ.
එහිදී ජීප් රථය පිටුපස සිටි 19 හැවිරිදි තරුණයා ව්‍යාපාරිකයාගේ ගෙලට නයිලෝන් ලනුවක් දමා එය සිරකර ඇති අතර, ප්‍රධාන සැකකරු ද එක්වී ඔහුගේ ගෙල සිරකර මරාදමා ඇත. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ‘මොකද බං මේ කරන්නේ’ යැයි කියමින් කෑගසා තිබේ. එහෙත් සැකකරුවන් ව්‍යාපාරිකයාගේ ගෙල සිරකර ඔහු මරාදමා ඇත.
පසුව එදිනම දහවල් ව්‍යාපාරිකයාගේ සිරුර ජීප් රථයේ දමාගෙන මහව ප්‍රදේශයට රැගෙන ගොස් ඔහු පැලඳ සිටි රන් මාලය, අත්පලඳනාව, මුදල් සහ ජංගම දුරකථනය ද කොල්ලකාගෙන ඔහුගේ සිරුර රථය තුළට දමා ගිනිතබා පලාගොස් ඇත.
මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කරන ලදී.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි, කුරුණෑගල අපරාධ අංශයේ ස්ථානාධිපති සුමනවීර, මහව පොලිස් ස්ථානාධිපති කුලතුංග යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුවන් දෙදෙනා දොරටියාය සහ මහව ප්‍රදේශවල සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ඔවුන් සතුව තිබී කොල්ලකන ලද රන් අත්පලඳනාව පොලිස් භාරයට ගෙන ඇති අතර උකස් කළ රන්මාලය ද සොයාගෙන තිබේ. කොල්ලකන ලද රුපියල් ලක්‍ෂ 14 කට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඝාතනයට යොදාගත් නයිලෝන් ලනුව ද පොලිසිය සෙයාගෙන තිබේ.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු