“ඩයලොග් අභියෝග කුසලාන” – පාසල් රග්බි ශූරතා තරගාවලිය
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” ලීග් ශූරතා ප්‍රමුඛ පෙළ පාසල් රග්බි පාපන්දු තරගාවලියේ සිව්වැනි සතිය නිමා වන විට තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් පෙරමුණ ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල සමත් වෙති. ඒ අනුව මෙවර තරගාවලිය ආශ්‍රිතව තරග 04 බැගින් ජය ගැනීමට ත්‍රිත්ව විදුහල, වෙස්ලි විදුහල, රාජකීය විදුහල, ඉසිපතන විදුහල සහ සාන්ත තෝමස් විදුහලට හැකියාව ලැබිණි.

ත්‍රිත්ව විදුහල හමුවේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල ලකුණු 22 කින් ද වෙස්ලි විදුහල හමුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 18 කින් ද රාජකීය විදුහල හමුවේ මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 22 කින් ද ඉසිපතන විදුහල හමුවේ කොළඹ සහිරා විදුහල ලකුණු 11 කින් ද සාන්ත තෝමස් විදුහල හමුවේ මහනුවර ධර්මරාජ විදුහල ලකුණු 43 කින් ද පරාජය ලැබීය. මේ අතර වාරයේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහල හමුවේ කොළඹ මහානාම විදුහල ලකුණු 10 කින් ද මහනුවර ශ්‍රී සුමංගල විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 13 කින් ද කොළඹ ඩී. එස්. සේනානායක විදුහල හමුවේ ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 07 කින් ද කොළඹ ආනන්ද විදුහල හමුවේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 03 කින් ද පරාජය ලැබීය.
ජයග්‍රහණ ත්‍රිත්වයක් සමගින් පසුගිය සතිය තෙක් අපරාජිතව පසු වූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට ඉකුත් සෙනසුරාදා (28) අනපේක්ෂිත පරාජයකට ලක් වන්නට සිදු විය. ඒ, කැම්බල් පෙදෙසේ පිහිටි වෙස්ලි විදුහල හමුවේ ලත් ලකුණු 23 – 05 ක පරාජයත් සමගිනි. හැව්ලොක්ස් පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේ දී බම්බලපිටියේ ශාන්ත පීතර ක්‍රීඩකයින්ට වඩා වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කැම්බල් පෙදෙසේ වෙස්ලි ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙණුනි. ඒ අතරේ අන්‍යොන්‍ය සම්බන්ධතාව මුසු වූ වෙස්ලි ක්‍රීඩක ආක්‍රමණය කැපී පෙණුනි.
මෙතෙක් පැවති තරග ආශ්‍රිතව එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට විද්‍යා විදුහල, ශාන්ත අන්තෝනි විදුහල, ධර්මරාජ විදුහල, තර්ස්ටන් විදුහලට නොහැකි වීම ද කැපී පෙනෙයි. ඔවුන් මුහුණ දුන් තරග 04 පරාජයට පත් විය.
මේ සතියේ තරග ප්‍රතිඵල
කිංග්ස්වුඩ් ලකුණු 27 මහානාම ලකුණු 17
ශ්‍රී සුමංගල ලකුණු 33 තර්ස්ටන් ලකුණු 20
ඩී. එස්. සේනානායක ලකුණු 36 විද්‍යා ලකුණු 29
සාන්ත තෝමස් ලකුණු 48 ධර්මරාජ ලකුණු 05
ත්‍රිත්ව ලකුණු 29 ශාන්ත ජෝශප් ලකුණු 07
වෙස්ලි ලකුණු 23 ශාන්ත පීතර ලකුණු 05
ආනන්ද ලකුණු 30 ශාන්ත අන්තෝනි ලකුණු 27
රාජකීය ලකුණු 29 විද්‍යාර්ථ ලකුණු 07
ඉසිපතන ලකුණු 38 සහිරා ලකුණු 27
අනුරුද්ධ හේරත් බණ්ඩාර