රාජ්‍ය සේවයෙන් 40% ක් පමණ අඩු කළ හැකියි
– රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ
රටක සංවර්ධනයට ගනු ලබන තීන්දු තීරණ හැමවිටම සාධාරණ විය යුතුය. නමුත් පසුගිය කාලයේ ගත් බොහොමයක් තීන්දු තීරණවලින් රටේ සංවර්ධනයට වඩා රට තව තවත් වළපල්ලට ඇදී ගියේය. එකල සිටි පාලකයන් රටට දරන්නට බැරි රාජ්‍ය සේවයක් නිර්මාණය කළේය.
මේ වනවිට රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 11කට අධික සංඛ්‍යාවක් සිටී. ඒ වෙනුවෙන් වැටුප් ගෙවීමට 2025 අයවැය මගින් රුපියල් බිලියන 1230ක් වෙන්කර ඇත. 2015 වසරේදී ඒ වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 618ක් පමණි. එය මේ වනවිට දෙගුණයකින් වැඩිවී ඇත. රාජ්‍ය සේවය රටට විශාල බරක් බව නිරන්තරයෙන්ම දේශපාලන වේදිකාව තුළ රැව්පිළිරැව් දුන් මාතෘකාවකි. වත්මන් ආණ්ඩුවත් එම ස්ථාවරයේම මුල සිට සිටි නිසා රාජ්‍ය වියදම් අඩුකිරීම වෙනුවෙන් විවිධ තීන්දු තීරණ රැසක්ම ගනු ලැබිණි. රාජ්‍ය සේවය ක්‍රමයෙන් ක්‍ෂය වෙන්නට ඉඩහැර රටට දැරිය හැකි මට්ටමකට පත්කිරීම ආණ්ඩුවේ අරමුණ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ වන්නේද රටට දැරිය හැකි රාජ්‍ය සේවයක් පවත්වාගෙන යෑමයි. එහෙව් තත්ත්වයක් උඩ දැන් යළිත් වරක් ඊට හාත්පසින්ම වෙනස් තීරණයකට ආණ්ඩුව එළඹ තිබේ. ඒ රාජ්‍ය සේවය සඳහා අලුතින් 30,000ක් බඳවා ගැනීමට සූදානම් වීමයි.
ගුණාත්මකබවින් තොර රාජ්‍ය සේවයක්
රාජ්‍ය සේවය රටට දැරිය නොහැකි බව කාලයක් තිස්සේම කතාවට ලක්වූ මාතෘකාවක් වුවත් කිසිම රජයක් ඊට සෘජු මැදිහත්වීමක් නොකරන්නේ එයින් තම ඡන්ද ව්‍යාපාරයට එල්ලවන තර්ජනය හේතුවෙනි.
පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ සිදුකළයුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ කතාබහේදී වැඩි වශයෙන්ම අවධානය යොමුකළ කාරණයක් වූයේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහිය. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉතාමත් පහළ තත්ත්වයක පවතින බවට නිරන්තරයෙන්ම චෝදනා එල්ල වේ. මේ හේතුව නිසාම අති විශාල රාජ්‍ය සේවයක් නිර්මාණය වී අවසන්ය. ඊට අමතරව රාජ්‍ය සේවයේ කළමනාකරණ සංවර්ධනයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළහ.
රාජ්‍ය සේවය පිළිබඳ මනා පරිචයක් ඇති නිලධාරියෙකු වන ජිනසිරි දඩල්ලගේ කීවේ රජය මේ ලබාදෙන රැකියා 30,000 අවශ්‍යතාව කුමක්දැයි හඳුනාගතයුතු බවයි. ආණ්ඩුව දේශපාලන වශයෙන් පත්වීම් දෙන්න යනවාද, එසේත් නැතිනම් අත්‍යවශ්‍ය දේවල් හඳුනාගෙන දෙන්න යනවාද, සමාජ අපවාදයෙන් ගැලවෙන්න පත්වීම් දෙන්න යනවාද කියා වැඩිදුරටත් සොයා බැලිය යුතු බව පැවසීය. ඒ පිළිබඳ වැඩිදුරටත් ඔහු කීවේ මෙවැනි කතාවකි.
“රාජ්‍ය සේවයේ ගුණාත්මකබව නැතිවෙන හැම අවස්ථාවකම ප්‍රමාණය වැඩිවී තිබෙනවා. දක්‍ෂ කළමනාකරුවෙකුට වැඩ කීපයක් කිරීමේ හැකියාව පවතිනවා. ඔහුට ඒ සඳහා වැඩි පිරිසක් අවශ්‍යවන්නේ නැහැ. එහෙම නොවන අවස්ථාවල ඔවුන් උත්සාහ කරන්නෙ වැඩ බෙදා දී කිරීමටයි. රාජ්‍ය සේවය විශාල වී තිබෙන්නේ ගුණාත්මකබවක් නැති නිසයි.”
පසුගිය කාලය මුළුල්ලේම තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකයි. එම පක්‍ෂ රාජ්‍ය සේවය හැකිලීමට උත්සාහ කරන හැම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්‍ෂ ඊට දැඩි විරෝධයක් එල්ල කළහ. නමුත් දැන් වාමාංශික පක්‍ෂයක් බලයට පැමිණ ඇත. එහි නායකයෙකු වන ලාල්කාන්ත ඇමැතිවරයා රාජ්‍ය සේවය පිළිබඳ දරන්නේ මෙවැනි මතයකි.
බුරුතු පිටින් ගන්නෙ නැහැ
“අපේ රටේ මූලධර්මය වී පවතින්නේ රැකියා විරහිත අයට රජය රැකියා දිය යුතුයි කියලා. ඒක වැරදියි. ඒක අපි පිළිගන්නෙ නැහැ. රජය මැදිහත් වී රැකියා අවස්ථා එළියේ හැදිය යුතුයි. එවැනි අවස්ථා නැති නිසයි බුරුතු පිටින් රාජ්‍ය සේවයට ගන්න කියලා උද්ඝෝෂණ කරන්නේ. ස්ථිර වශයෙන්ම අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරල තියෙනවා බුරුතු පිටින් බඳවාගන්නෙ නැහැ කියල. පුරප්පාඩු සඳහා බඳවාගන්නෙ තරග විභාග පවත්වා එම පුරප්පාඩුවට පමණයි. එහෙම නැතුව රටක් ආණ්ඩුවක් කරන්න බැහැ.
රාජ්‍ය සේවයට බඳවාගත් වැඩි දෙනකුට කරන්න වැඩක් නැහැ. වාඩිවෙන්න පුටුවක් නැහැ. කොච්චර රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් ඉන්නවද වැඩ නැතුව පඩි ගන්න. ඒක වෙනස් කළ යුතුයි. අපිත් රාජ්‍ය සේවයට පුරවන්න ගත්තොත් රාජ්‍ය සේවය කඩන් වැටෙයි.”
බෙදුණු රාජකාරිය
මීට පෙර ගමක් තුළ එක් රාජ්‍ය නිලධාරියෙක් කළ සේවය ඉටු කිරීමට මේ වනවිට රාජ්‍ය නිලධාරීන් පස් හය දෙනෙක් සිටී. එපමණ සිටියත් රාජකාරිය හරියට ඉටුවන්නේ නැත. ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් 14000කට අධික සංඛ්‍යාවක් පවතී. නමුත් පසුගිය කාලයේ වසර පහක් පුරාම රාජ්‍ය සේවය පවත්වාගෙන ගියේ 5000කට අධික ග්‍රාම නිලධාරි හිඟයක් සහිතවය. නමුත් කිසිම බාධාවකින් තොරව කටයුතු පවත්වාගෙන ගියහ. මේ ආකාරයෙන් රාජ්‍ය සේවක හිඟයක් සහිතව රාජ්‍ය සේවය පවත්වාගෙන යා හැකි බව හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පැවසීය. ඔහු ඒ ගැන කියන්නේ මෙවන් කතාවකි.
“රාජ්‍ය සේවයේ ක්‍රමවේදයන් දියුණු කළොත් ග්‍රාමසේවය තව අඩුකළ හැකියි. සමහර ග්‍රාම නිලධාරි වසම්වල පවුල් සංඛ්‍යාව අඩුයි. තවත් සමහර ග්‍රාම නිලධාරි වසම්වල බලප්‍රදේශය කුඩායි. එවැනි ග්‍රාම නිලධාරි වසම් දෙකක් තුනක් එකට එකතු කළ හැකියි. ලොව බොහෝ රටවල මෙවැනි සේවාවක් නැහැ.”
දැනට වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ ගුරු හිඟය පිළිබඳවයි. මේ වනවිට 40,000ක පමණ ගුරු හිඟයක් පවතී. නමුත් සමහර ක්‍ෂේත්‍රවල සේවක අතිරික්තයක් පවතී. දැනට සිටින රාජ්‍ය සේවකයන්ගෙන් ගුරු හිඟය පිරවීමට යම් වැඩපිළිවෙළක් පවතීදැැයි විමසූ අවස්ථාවේ ඔහු ඊට දුන්නේ මෙවැනි විසඳුමකි.
“ගුරු සේවයේ පවතින පුරප්පාඩු අතිරික්තයක් පවතින අනෙකුත් සේවා තුළින් පිරවිය හැකියි. ඒ සඳහා මාස තුනක් හෝ හයක ගුරු පුහුණුවක් ලබාදී සේවයේ යෙදවිය හැකියි. රාජ්‍ය සේවය තුළ සිටින අති විශාල උපාධිධාරීන් සංඛ්‍යාවක් නිකරුනේ කාලය ගතකරනවා. ඊට අමතරව රාජ්‍ය සේවය තුළ සිටින උසස්පෙළ සමත් ගුරු වෘත්තියට කැමැත්තක් දක්වන අයට අධ්‍යාපනවේදී ඩිප්ලෝමාවක් හඳුන්වා දී ගුරුවරයෙකු නිර්මාණය කර පසුකාලීනව ඔවුන් විධිමත් අධ්‍යාපනය ලබා සම්පූර්ණ කළ යුතු බවට කොන්දේසියක් පැනවිය හැකියි.”
රාජ්‍ය සේවයට සුදුසුකමක්
බොහෝ විදෙස් රටවල රාජ්‍ය නිලධාරීන්ට රජයෙන් වාහනයක් හිමිවන්නේ නැත. ඔවුන් රාජ්‍ය සේවයට බැඳීමේදී තිබිය යුතු එක් සුදුසුකමක් වන්නේ පෞද්ගලික වාහනයක් තිබීමයි. ඔවුන් සේවයට පැමිණිය යුත්තේ පෞද්ගලික වාහනයෙනි. එම වාහනය රාජකාරී කටයුතු සඳහා යොදාගන්නවා නම් ඒ සඳහා යම් ගෙවීමක් කරයි. එම ක්‍රමය ඇති කළහොත් රජයේ වියදම විශාල වශයෙන් අඩු කළ හැකිය. වාහන මිලදී ගැනීමට යන වියදම්, ඉන්ධන වියදම්, නඩත්තු වියදම්, රියැදුරු වැටුප්, අතිකාල වැනි විශාල වියදම් ප්‍රමාණයක් අඩු කළ හැකිය.
සමහර කාර්යයන් ඉතාම අඩු මුදලකට පෞද්ගලික අංශයෙන් ඉටුකර ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන් සිය ගණනක කාර්ය මණ්ඩලයක් නිකරුණේ වැටුප් ගෙවමින් පවත්වාගෙන යන අවස්ථා අනන්තවත් වාර්තා වේ. ඇතැම් නිලධාරීන්ට වසරටම එකම වැඩක්වත් නැති රාජ්‍ය ආයතන පවතී. විද්‍යාත්මකව සොයා බැලීමකින් එම කාර්යයන් අඩු කළ හැකිය.
බොහෝ රටවල ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් වැනි ශිල්පීන්ව සහතික ලත් නිලධාරීන් වශයෙන් නම් කොට තිබේ. ඔවුන් හරහා රජයට අවශ්‍ය කටයුතු කරගන්නවා මිසක් රාජ්‍ය අංශයට බඳවා ගැනීමක් සිදුවන්නේ නැත. ඒ වෙනුවෙන් මාසික වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් වෙන්කළ යුතු නැත. එදා මෙදා පත්වූ හැම ආණ්ඩුවක් මෙන්ම මේ ආණ්ඩුවත් රජයේ රස්සා ටික පුරවන්නට පෙර විධිමත් සොයා බැලීමක් කළ යුතුමය.
රටේ තවත් විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින ක්‍ෂේත්‍රයක් වන්නේ සමෘද්ධි ව්‍යාපාරයයි. වසර තිහ හතළිහක් තිස්සේ දුප්පත්කම අඩුකිරීමට පත්වූ හැම ආණ්ඩුවක්ම මොන උපක්‍රම යෙදුවත් ඒ එකක්වත් සාර්ථක වී නැත. ඒ වෙනුවට අතිවිශාල නිලධාරි පැළැන්තියක් නඩත්තු කිරීම සහ නිකන් හිඳ මුදල් ලබන ජනතාවක් නිර්මාණය වී ඇත. ඒ ගැනද හිටපු ලේකම්වරයා කරුණු කීවේය.
“දුප්පත්කම අඩුවීමත් සමග සමෘද්ධි ව්‍යාපාරය අඩුවිය යුතුයි. දුප්පත්කමින් මිදීමේ වගකීම දුප්පතුන්ටම පවරනවානම් අනුන්ගෙ දුප්පත්කම අඩුකිරීමේ වගකීම නිලධාරීන් භාරගත යුතු නැහැ. වෙනත් රටවල සිටින්නේ උපදේශකයන්. ඔවුන් රජයෙන් වැටුප් ලබන්නේ නැහැ. යම් අයෙක් දුප්පත්කමින් පෙළෙනවනම් ඔහු උපදේශකයෙක් වෙත යොමු කරනවා. ඔහු දුප්පත්කමින් මිදීමට උපදෙස් දෙනවා. එම පුද්ගලයා දුප්පත්කමින් මිදුනොත් පමණක් එම නිලධාරියාට යම් දීමනාවක් ගෙවනවා. අපේ රටේ දුප්පත්කම අඩුකිරීමට අවුරුදු තිහ හතළිහක් කටයුතු කළත් එය සාර්ථක වී නැහැ.”
සෞඛ්‍යය, බැංකු වැනි කටයුතු මේ වන විටත් විශාල වශයෙන් සිදුකරන්නේ පෞද්ගලික අංශය විසිනි. රජය හැකි තරම් පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමෙන් වියදම අඩුකර ගත හැකිය. පෞද්ගලික අංශය තුළ 10 දෙනකුගෙන් කරන කාර්යය ඉටු කිරීමට රාජ්‍ය සේවයේ 100ක් සිටී. රාජ්‍ය සේවය අඩුකළ යුතු යැයි තර්ක නගන වැඩි දෙනෙක් එය කොපමණ ප්‍රමාණයකින් අඩුවිය යුතුදැයි නිවැරදි පිළිතුරක් දෙන්නේ නැත. නමුත් හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පවසන්නේ ලක්‍ෂ 8ක පමණ සේවක සංඛ්‍යාවක් රාජ්‍ය සේවය සඳහා ප්‍රමාණවත් බවයි. එනම් රාජ්‍ය සේවය 40%කින් අඩුකළ හැකි බවයි. ඒ සඳහා රාජ්‍ය සේවයට හැකියාවන් මත බඳවාගැනීම අනිවාර්ය බවද ඒ මහතා පැවසීය.
මෙතෙක් කලක් පත්වූ හැම නායකයෙක්ම කළේ කටින් බතල හිටවීම පමණි. ලාල්කාන්ත ඇමැතිවරයා රාජ්‍ය සේවයට බුරුතු පිටින් බඳවා නොගතයුතු බව පැවසුවත් දැන් යළිත් 30000ක් බඳවාගැනීමට සූදානම් වේ. දැනටත් ලංකාවේ ජනගහනයෙන් පහළොස් දෙනකුට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටී. නමුත් බොහෝ රටවල ජනගහනයෙන් සිය දෙනකුට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටින තත්ත්වයක් පවතී. එවන් තත්ත්වයක් යටතේ යළිත් වරක් රාජ්‍ය සේවය පිරවීම ජනතාව පිට යළිත් බර පැටවීමක් නොවේද?
සමීර කන්නන්ගර