Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මොළේ මැරිලත් සැත්කම් කරලා නම්…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මොළේ මැරිලත් සැත්කම් කරලා නම්…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මොළේ මැරිලත් සැත්කම් කරලා නම්…

June 29, 2025
185 Views

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න පිළිබඳ වැඩිදුර තොරතුරු පසුගිය සතියේ අධිකරණයේදී හෙළි වුණේ විශාල කැළඹීමක් ඇති කරමින්ය. එහිදී මතු වූ කරුණු නිසාය.

විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ මෙසේ කියා තිබුණි.

“ස්වාමීනි…, අල්ලස් කොමිසම කිසිදු අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ. මෙම සැකකාර වෛද්‍යවරිය සුළු ආබාධ පවතින ශල්‍යකර්ම අවශ්‍ය නොවන රෝගීන්ටත් ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. මරණාසන්න රෝගීන් පවා හදවත යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ඇය ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා ශල්‍යකර්මයට භාජනය වූ එම රෝගියා මියගොස් දින පහක් ගත වී ඇති බව.”

එක් පැත්තකින් මෙම වෛද්‍යවරිය, බරපතල තත්ත්වයක් නොමැති රෝගීන්ටත්, තව පැත්තකින් මොළය මරණයට පත් වූ මරණාසන්න රෝගීන්ටත් වෛද්‍ය උපකරණ ශරීරයට සවි කරමින් සැත්කම් කිරීමට කටයුතු කර ඇතැයි අධිකරණයේදී කරුණු වාර්තා කර තිබුණි.

එය, විශාල ආන්දෝලනයකට මෙන්ම සමාජ කතාබහකට ලක් වීමටත් හේතු විය.

රෝගීන් මේ පුවත නිසා මුහුණදුන් ගැටලුව වන්නේ, තමන් වෛද්‍යවරුන්ව විශ්වාස කරන්නේ කෙලෙසද යන්නය. වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියකගේ කටවචනය විශ්වාස කරමින් තමන්ගේ ශරීරයේ මෙන්ම තමන්ගේ ආදරණීයයන්ගේ ශරීරයේ ඉතා බරපතල තුවාල කිරීමක්, කැපීමක්, ව්‍යවච්ඡේදනයක් හෝ බද්ධ කිරීමක් සඳහා ඉඩ දෙයි. වෙන කිසිවකු ගැන නොතබන අසීමිත විශ්වාසයක් වෛද්‍යවරුන් කෙරෙහි තැබීමට රෝගීන් හැකි විය යුතුය. එන්නත් හෝ ඖෂධ ලබා ගැනීමට හැකි විය යුතුය.

එහෙත්, තමන් දිවිහිමියෙන් විශ්වාස තැබූ වෛද්‍ය ක්ෂේත්‍රය මේ වන විට සම්පූර්ණයෙන්ම ලාභය සහ තමන්ගේ ආර්ථික වර්ධනය මත පදනම් වූ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව පසක් වෙද්දී රෝගීන් එය දරා ගන්නේ කෙලෙසද? වෛද්‍ය උපකරණ, ඖෂධ, එන්නත් මෙන්ම වෛද්‍යවරුන්ගේ සේවය පවා අද ලාභය මත රඳා පවතී. පසුගිය සතියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනකුට මහාධිකරණයේ නඩු ගොනු කළේ ඖෂධ සමාගම්වල ලාභය වෙනුවෙන් බැක්ටීරියා සහිත ද්‍රාවණයක් එන්නතක් යැයි කියමින් අලෙවි කළ නිසාය.

අනෙක් පැත්තෙන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවා ආන්දෝලනයක් මෙනිසා ඇති විය. එහෙත් ඇතැම් වෛද්‍යවරුන්ට ඇතිව තිබුණු ප්‍රශ්නය වූයේ රෝගීන්ට සෞඛ්‍ය හා වෛද්‍ය උපකරණ නිර්දේශ කරන නිසා තමන්ටත් නීතිය ඉදිරියේ පීඩාවට පත් වීමට සිදුවනු ඇතිද කියාය.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහි උක්ත නඩුව කැඳවා තිබුණේ ජුනි 24 වැනිදාය. එදින අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා තිබුණේ, වෛද්‍ය මහේෂි විජේරත්න පිළිබඳ අල්ලස් කොමිසමේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මහේෂ් විජේරත්න ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

ඇයට අමතරව අත්අඩංගුවට ගෙන තිබුණේ ඇයගේ සේවකයකු වශයෙන් කටයුතු කළ නිමල් රංජිත් මුතුකුඩ සහ රෝහල් වාට්ටුවේ ලිපිකරුවකු වශයෙන් කටයුතු කළ කේ.එල්. ඉන්දික යන අය ය. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි මෙම සැකකරුවන් 24 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අධිකරණය ඉදිරියේ සමාජයම කළඹවන තොරතුරු ඉදිරිපත් කෙරුණේ ඒ අවස්ථාවේදීය. ඒ කරුණු සලකා බලා ඇය ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප නොදී ජුලි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

“ඇය දෙවන හා තුන්වන සැකකරුවන් හරහා EVD නමැති ශල්‍ය අයිතමය රෝගීන්ට වැඩි මිලකට මිලදී ගැනීමට සලස්වා තිබෙනවා. මෙම EVD නමැති ශල්‍ය අයිතමය ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500.00 ක මුදලකට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා,” යනුවෙන් අල්ලස් කොමිසම අප සැම දැනටමත් දැන සිටි කරුණු කියා තිබුණි.

අල්ලස් කොමිසමේ පැහැදිලි කිරීම

එයින් පසු අල්ලස් කොමිසම විසින් එය සිදු කර ඇති ආකාරය අධිකරණය ඉදිරියේ පැහැදිලි කළේ මෙලෙසය.

“නමුත් මේ සැකකාර වෛද්‍යවරිය මෙම අයිතමය මිලදී ගැනීම සඳහා එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට යොමු කරනවා. මෙම ආයතනය පිළිබඳ විමර්ශනය කිරීමේදී අපට අනාවරණය වුණා එහි හිමිකරු යුශාන්ත මනෝජ් ද සිල්වා නමැත්තකු බව. පසුව මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා සැකකාර වෛද්‍යවරියගේ සැමියා වන නයිජල් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙම සමාගම ආරම්භ කළ බව.

2010 වසරේ නයිජල් නමැති මෙම සැකකාරියගේ සැමියා මියයෑමෙන් පසුව එම සමාගමට අදාළ සියලු ලේඛන සැකකාර වෛද්‍යවරියට භාරදී තමන් ඉන් ඉවත් වූ බවත් එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.”

කෙසේ වෙතත් මෙහිදී අතුරු කාරණයක් සිහිපත් කළ යුතුය. අල්ලස් කොමිසමට මේ සිදුවීම පිළිබඳ වසර දෙකකට පෙරත් තොරතුරු ලැබී තිබුණි. එහෙත්, විමර්ශන සිදු කරගෙන යන අතරවාරයේදී මේ පැමිණිල්ල ගැන සමාජය හාංකවිසියක් දැන සිටියේ නැත. ඒ විමර්ශන පටන් ගත් මොහොතේ සිට අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලද දිනය දක්වා කාලසීමාව තුළ ද මේ වෛද්‍යවරිය විසින් සිදුකළා යැයි දැනට කරුණු හෙළිව තිබෙන ජාවාරම රිසිසේ සිදු කර තිබුණි. ඒ කාලසීමාව ඇතුළත ලියුම්කරුගේ හිතවත් මාධ්‍යවේදිනියකගේ මවක්ද ශල්‍යකර්මයට භාජනය කර තිබුණු අතර, මව සැත්කමින් පසු කෝමා තත්ත්වයකට පත් විය. එම මවට වැරදි ලෙස ප්‍රතිකාර කළාද නැද්ද යන්න කිසිවක් නොදන්නා මුත්, දැනට මතුවන වාර්තා සමග බරපතල බියක් සමාජයෙහි මතුව තිබේ. කෙසේ වෙතත්, විමර්ශන සිදුකෙරෙන අතරවාරයේත් රෝගීන් විශාල පිරිසක් වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලැබීමම බිය දනවන කාරණයකි.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම කරුණට අදාළව සැකකාර වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 88 දෙනකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළේ ය.

එම ප්‍රකාශවලට අනුව ශල්‍යකර්මවලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන EVD නමැති ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී ඒවා පිටතින් මිලදී ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දී තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු කියා සිටියේ ය.

“ස්වාමීනී. ශල්‍යකර්මවලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන අයිතමය පිටතින් මිලදී ගන්නා ලෙසත්, ඒ සඳහා තුන්වන සැකකාර ලිපිකරු හමුවන ලෙසත් සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දෙනවා. ඒ අනුව රෝගීන් තුන්වන සැකකරු හමු වූ පසුව ඔහු දෙවන සැකකාර මුතුකුඩ නමැත්තාගේ දුරකථන අංකය ලබාදෙනවා.

පසුව මුතුකුඩ නමැත්තාගෙන් මුදල් ගෙවා එම අයිතමය ලබා ගැනීම

රෝගීන් විසින් සිදු කරනවා. මෙහිදී අය කරන මිල ගණන් එකිනෙකට වෙනස්. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මෙසේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට ලබා දෙන්නේ නෑ.

ඒවා කෙලින්ම ශල්‍යාගාරයට තමයි යොමු කරන්නේ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මේ බව තහවුරු වෙලා තිබෙනවා. එම නිලධාරීනිය ප්‍රකාශ කළා පිටතින් එම උපකරණ රැගෙන‘විත් දෙන බවත්, නැතිනම් සැකකාර වෛද්‍යවරිය ඇතැම් අවස්ථාවල ඒවා ශල්‍යාගාරයට රැගෙන එන බවත්.”

ඒ අනුව රු. 17,500.00 ක් මුදලකට රෝහලින් මිලදී ගත හැකි මෙම ශල්‍ය උපකරණය මෙම සැකකරුවන් විසින් රු. 150,000.00 සිට රු. 250,000.00 දක්වා මුදලකට සැකකාර වෛද්‍යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර තිබෙන බවත්, ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් අල්ලස් කොමිසම සඳහන් කර තිබුණි. ඔවුන් මේ උපකරණ මිලට ගෙන තිබුණේ හෙමාෆාර්ම නමැති ආයතනයකිනි.

ඒ අනුව වෛද්‍යවරිය පවසන්නේ එම උපකරණය රෝහලේ නැති බවය. රෝහලේ නැති නිසා පිටතින් මේ උපකරණය මිලට ගත හැකි බව ඇය රෝගීන් වෙත සිරිතක් ලෙස කියා ඇත. එසේ කීවාට පසු, ඇය අහවල් තැනින් මිලට ගන්නැයි තමන්ගේම ආයතනය වෙත රෝගීන් යොමු කර ඇත.

හිතාමතාම උපකරණ හිඟයක් මවා පෙන්වීම

එහෙත්, රෝගියාට මේ උපකරණය රෝහලේ නැතැයි කීවත්, උපකරණය හිඟ වී ඇත්තේ ඉබේම නොවේ. හිඟය ඇය විසින්ම ඇති කරන ලද එකකි. මේ උපකරණය මිලදී ගැනීමට අවශ්‍ය ඉන්වොයිසි ඉදිරිපත් කරමින් අයිතමය අවශ්‍ය බව දැනුම් දීම ඇය දිගටම ප්‍රතික්ෂේප කර ඇත. රෝහලට උපකරණය ලැබෙන්නේ ඇය ඉල්ලුම් කළොත්ය. හිඟය තනා ඇත්තේ ඇයමය. ඒ හිඟය ගැන කියමින් රෝගීන්ට අලෙවි කර ඇත්තේත් ඇයමය. එහි මුදල් ඇගේම බැංකු ගිණුමට පැමිණ ඇත.

මෙලෙස වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීම සම්බන්ධයෙන් චාමර අබේවර්ධන නමැත්තකු පැමිණිලි කිරීමෙන් පසුව ‘කාරියවසම්’ නමැති නීතිඥවරයකු ඔහු කැඳවා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී එම ආරවුල සමථයට පත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කොමිසම වැඩිදුරටත් කියා තිබුණි.

වෛද්‍යවරිය අත්අඩංගුවට ගත්තාට පසු, ජුනි 23 වැනිදා දක්වා කාලසීමාවේ ඇය පිළිබඳ පැමිණිලි කරමින් ඇමතුම් 92ක් පමණ ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම විමර්ශන සිදු කරමින් පවතී. මේ සිදුවීමේ සැකකරුවන්ට ඇප නොදීම සඳහා සලකා බලන ලෙස ඉල්ලූ එක් කරුණක් වුණේ මෙයයි. මෙලෙස පැමිණිලි කරන පුද්ගලයන් යනු ඇගේ ප්‍රතිකාර ලැබූවන්ය. මීට පෙර එක් අයෙකුට ලක්ෂ දෙකක මුදලක් දී ඇතැයි තොරතුරු ඇත්නම්, තමන්ගේ ප්‍රතිකාර ලැබූවන්ට බලපෑම් කරමින් සාක්ෂි වෙනස් කිරීමට සැකකරුවන් උත්සාහ කරනු ඇතිදැයි සාධාරණ සැකයක් මතුවෙයි.

අනෙක් බරපතල කාරණය වී තිබුණේ, වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැති පුද්ගලයාට මේ වන විට ජීවිත තර්ජනය එල්ල වී ඇති බවට තොරතුරු හෙළි ව ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කීය.

කෙසේවෙතත් වෛද්‍ය මහේෂී විජේරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් උත්සාහ කළේ මෙම අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් බවයි. “ස්වාමීනි…, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් පවතින බව අල්ලස් කොමිසමේ නිලධාරියා ප්‍රකාශ කළා. මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එතන මාධ්‍ය හිටියා, එතනට මාධ්‍ය ආවේ කොහොමද? පුද්ගලයෙක්ව අල්ලන්න කලින් ඒක අල්ලස් කොමිසමෙන් මාධ්‍යයට කියනවා. සමාජ මාධ්‍යවලින් කෘත්‍රිම රැල්ලක් ඇති කර තිබෙනවා. ඒවා මත නඩු අහන්න බෑ. එවැනි කාරණා ඔබතුමිය නඩු ඇසීමේදී සැලකිල්ලට ගන්නෙත් නැහැ කියලා අපි දන්නවා.

ස්වාමීනී, මේ සැකකාරිය සිදු කරන්නේ ඉතාම සියුම් සැත්කම්. පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර රෝහල කියන්නේ මුදල් අය කරලා ශල්‍යකර්ම කරන ආයතනයක්. එහි සිදු කරන ශල්‍යකර්ම සඳහා ඕනෑතරම් පිටතින් උපකරණ රැගෙන තිබෙනවා. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. රෝහලේ අලවා තිබෙන දැන්වීමක් පවා ඉදිරිපත් කරනවා. එහි සඳහන් වෙනවා පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගෙන ඒමට අවසර තිබෙන බව.”

සාලිය පීරිස් කී භයානකම කරුණ මෙයයි. “රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නෙවෙයි. ඒ නිසා තමයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 වසරේ. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුවෙනවා. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ.”

රජය රෝගීන්ට දෙන්නේ ප්‍රමිතියෙන් තොර උපකරණ ද?

ඒ අනුව ඔහු කියන ආකාරයට රජයේ සෞඛ්‍ය සේවය හරහා ලබාදෙන උපකරණ ප්‍රමිතියෙන් තොරය. එය ඉතා භයානක කරුණකි. එහි භයානකකම වන්නේ දැනට රජයේ සේවය හරහා ප්‍රතිකාර ගත් රෝගීන් බිය යුතු බවද? මෙලෙස රජය හරහා ප්‍රමිතියෙන් තොර උපකරණ ලබා දෙන්නේ නම් ඒ බව මීට පෙර වෛද්‍ය මහේෂි පැමිණිලි නොකළේ ඇයි? ඇය රජයේ උපකරණය ප්‍රමිතියෙන් තොර වීම අවස්ථාවක් කර ගනිමින්, තමන්ගේ ව්‍යාපාර අවස්ථාවක් බවට හරවා ගන්නේ නම් එය කෙතරම් බිහිසුණුද?

කෙසේ වෙතත් මේ සිදුවීම හේතුවෙන් වෛද්‍යවරුන් අතර නව අර්බුදයක් පැන නැගුණි. ඒ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් විසින් විවිධ වෛද්‍ය උපකරණ සහ ඖෂධ වර්ග නියම කිරීම ගැනය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා සඳහන් කර තිබුණේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග අටසිය හැට දෙකකින් හා ශල්‍ය උපකරණ දොළොස් දහස් හාරසිය හතලිස් හතරකින් සමන්විත වන ජාතික ඖෂධ ලැයිස්තුවට පරිබාහිර ව ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් ඖෂධ නිර්දේශ කිරීම ඖෂධ හිඟය සඳහා ප්‍රධාන හේතුවක් වන බවය.නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මේ සියල්ල සඳහා නීතිමය රැකවරණය ලබා ගැනීමට නම් ඒ ඒ රෝහල්වල නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු පැවැත්විය යුතු බවයි. ඒ පිළිබඳ මාර්ගෝපදේශයේ ද සඳහන් ව තිබුණත්, පුද්ගලික ව සිදු කළ සොයා බැලීම්වල දී බොහෝ රෝහල්වල එම වැඩපිළිවෙළ නිසි ආකාරයකට සිදු නොවන බව අනාවරණය වූ බව ඔහු කියා තිබුණි.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඔවුන් විමසා තිබුණු ප්‍රශ්න කිහිපයක් විය. රෝගියාට / රෝගියාගේ ඥාතියාට වට්ටෝරු ලබා දී පිටතින් ඖෂධ ගන්නා ලෙස කිව හැකි ද? එම ඖෂධ වර්ග මිල දී ගන්න පුළුවන් ස්ථාන දැනුම් දිය හැකි ද? ඕ.පී.ඩී. වලින් ආපු අයට වට්ටෝරු ලබා දිය හැකි ද? නැත්නම් ඒ සඳහා සෞඛ්‍ය පරිපාලකගේ අනුමැතිය අනිවාර්ය ද? රෝහල්වල නොමැති රසායන පරීක්ෂණ පිටතින් කරවා ගැනීම සඳහා වට්ටෝරු ලබා දිය හැකි ද? ඖෂධ, උපකරණ, පරීක්ෂණ නොමැති බව රෝගියාට හෝ ඥාතීන්ට දන්වන්න පුළුවන් ද? යන ප්‍රශ්න ලිපියෙන් විමසා තිබුණි. එම ලිපියෙහි මෙම ප්‍රශ්න පහට අමතරව රජයේ රෝහල්වල මෙම ඖෂධ නොමැති අවස්ථාවල දී ඒවා බාහිරින් ලබා ගැනීමට පියවර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන් උත්සාහ කරන බවත් ඒ සම්බන්ධයෙන් විවිධ වැරදි මත පවතින බවත් සඳහන් කර තිබූ අතර, එලෙස වෛද්‍යවරුන් විවිධ චෝදනාවලට ගොදුරු වීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙන ලෙස ද ඉල්ලා තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත යවන ලිපියක සඳහන් කර තිබුණේ, රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය සඳහා බාහිර බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෑතක දී එල්ල වූ චෝදනා මාලාව, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශ්‍රේණියේ නිලධාරීන් යන දෙපිරිසේ ම බරපතළ කනස්සල්ලට හේතු වී තිබෙන බවය.

මේ හේතුවෙන් රෝගීන්ගේ ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් යටතේ නිසි ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා රජයේ රෝහල් පද්ධතිය තුළ තොග නොමැති ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය සඳහා බාහිර බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමට කටයුතු කරන බවත්, මෙසේ ඇති වී තිබෙන තත්ත්වය මත රෝගීන්ගේ යහපත සඳහා සද්භාවයෙන් ක්‍රියා කළ ද තම සංගමයේ සාමාජිකයින්ට එරෙහිව විමසීම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සමඟ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බැවින් පැහැදිලි උපදෙස් සහ මාර්ගෝපදේශ නොමැතිව බාහිර බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම තවදුරටත් සිදු කළ නො හැකි බවත් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙයට ප්‍රතිචාර ලෙස ලියුම්කරු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කිරීමක් කර තිබුණි.

රෝහල් සඳහා ඖෂධ සපයන ක්‍රම තුනක් ඇති බවත්, ඉන් පළමු ක්‍රමය ඖෂධ වර්ග අටසිය හැට දෙකකින් හා ශල්‍ය උපකරණ දොළොස් දහස් හාරසිය හතලිස් හතරකින් සමන්විත ජාතික ඖෂධ ලැයිස්තුව හරහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් ඖෂධ සැපයීම වන බවත් ඔහු කීය. රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ වර්ග 432 ක් සඳහා මෙන් ම ශල්‍ය උපකරණ 5906 ක් සඳහා ටෙන්ඩර් නිකුත් කරන බවත් පැවසීය.

කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදු කරනු ලබන ඖෂධ සැපයීම්වල දී විටින් විට බාධා එල්ල වන බවත්, එසේ මෙම සැපයීමේ යම් ප්‍රමාදයක් ඇති වන බව දැනුනහොත්, එම ඖෂධ අවසන් වීමට සති දෙකකට පෙර ප්‍රාදේශීය වශයෙන් මිල දී ගැනීමට කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් ඇති අතර, එය දෙවන ක්‍රමය වන බවත් පැවසීය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා හා ඖෂධ සපයන්නා මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාට දැන්වීමෙන් අනතුරුව මෙම ඖෂධ අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩාවේ පවතින්නේ දැයි නිරීක්ෂණය කළ හැකි අතර එසේ නොමැති නම් ප්‍රාදේශීය වශයෙන් මිල දී ගත හැකි බව ඔහු සඳහන් කළේය.

පසුගිය වසරවල මෙසේ ඖෂධ ගෙන්වීමේ දී සිදු වූ ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් මෙම වසර සඳහා සම්මත කරන ලද අයවැයේ දී මෙම ප්‍රාදේශීය මිල දී ගැනීම් සඳහා රුපියල් කෝටි 3500 ක් වෙන් කළ බවත්, එය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් සඳහා වෙන් කරන ලද රුපියල් කෝටි 6000 ක මුදල සමග සැසඳීමේ දී විශාල මුදලක් ලෙස දැක්විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබුණි.

මෙම ක්‍රියාවලියට අමතරව තුන්වන ක්‍රමය ලෙස රෝගී සුබසාධනය සඳහා රෝගීන් වෙනුවෙන් නියම කරන ඇතැම් ඖෂධ වර්ග රෝහල් පද්ධතියේ නොමැති වන ඇතැම් අවස්ථාවල දී රජයට එම ඖෂධ සියල්ල සැපයිය නො හැකි බැවින් විශේෂඥ වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත ෆාමසි හරහා මිල දී ගැනීමට නියම කිරීමේ ක්‍රියාවලියක් ද යම් තරමකින් ක්‍රියාත්මක වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ප්‍රශ්නය පැන නැගීම පසුපස ඇත්තේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ඖෂධ මිල දී ගැනීම සඳහා එක් විශේෂිත ෆාමසියක් නම් කිරීමත්, එම ෆාමසිය හරහා වෙළෙඳපොළෙහි සාමාන්‍ය මිලට වඩා තුන් හතර ගුණයකින් ඖෂධ අලෙවි කිරීමේ වංචා සහගත සිද්ධියක් බව කියා තිබුණි.

ඖෂධ සමාගම් විසින් සාධාරණ ලාභයක් සහිත ව වෙළෙඳපොළට නිකුත් කරන මුදල සම්බන්ධයෙන් තමාට ගැටලුවක් නොමැති බවත්, මෙම පරීක්ෂණය තනි කර ම පාහේ රඳා පවතින්නේ අසාධාරණ ලාභ තබා ගනිමින් මෙසේ සිදු කරන වංචා සහගත ක්‍රියා සඳහා පමණක් බවත් ඇමැතිවරයා කීය.

එම නිසා මෙම ක්‍රියාවලිය සඳහා සාධාරණ ව ක්‍රියා කරන විශේෂඥ වෛද්‍යවරුන් කිසිසේත් ම අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නො වන බවත්, මෙසේ අනියත බියක් සමාජය තුළ ඇති කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්ධනීය ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම පසුපස ඇතැම් දේශපාලන කණ්ඩායම් හා බහුජාතික සමාගම් ඍජුව ම සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කළේය.

කෙසේ වෙතත්, වෛද්‍ය මහේෂි මුහුණදෙන විමර්ශනය හුදෙක් ඇය පිළිබඳ විමර්ශනයක් පමණක් නොවේ. එය වෛද්‍ය වෘත්තියම මුහුණදෙන විමර්ශනයකි. අපගේ මතය මෙම සිදුවීමේදී වෛද්‍ය වෘත්තිකයන් කළ යුත්තේ ආණ්ඩුව ප්‍රශ්න කිරීම නොවේ. රෝගීන්ට මතුව ඇති ප්‍රශ්නවලට උත්තර සැපයීමය. වෛද්‍ය සමාජයම කැළඹිය යුත්තේ තමන් මින් ඉදිරියට රෝගී විශ්වාසය ඇති කරන්නේ කෙලෙසද කියාය. එමෙන්ම රජය කල්පනා කළ යුත්තේ විවිධ පුද්ගලයන්ගේ ලාභය වෙනුවට සේවාවක් ලෙස සෞඛ්‍ය සේවය ප්‍රතිස්ථාපනය කරන්නේ කෙලෙසද යන්නය. ඒ, අපගේ ජාතිය ගොඩනැගීමේ ප්‍රධානම කුලුනක් ලෙස නිදහස් සෞඛ්‍යය සැලකිය හැකි නිසාය.

තරිඳු උඩුවරගෙදර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
විශේෂාංග

කෙහෙළිය ආරක්ෂා කළ පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම

විශේෂාංග

මැදපෙරදිග යුද්දේ අපට දැනෙන සද්දේ

විශේෂාංග

බල්බ දල්වන්නේ නැතුව ගෙදර හිටියේ කොහොමද?

විශේෂාංග

ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබූ සිරකරුවෙක් පන්නන්න ගහපු ‘ගේම’

විශේෂාංග

සජබය නාගත් ජාජබයත් අනාගත් බලසටනේ ශේෂ පත්‍රය!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok