කොළඹ වරාය පොලිස් වසමේ කෘතිම වෙරළ තීරය ආසන්න මුහුදේ පෙරේදා (26 වැනිදා) පිහිනමින් එහි පතුල නිරීක්‍ෂණය කරමින් සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවකු දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි කොළඹ වරාය පොලිසිය පවසයි.
පෙරේදා (26 දා) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්වූ සිසුවාගේ සිරුර කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිදුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුමක් ඇරැඹූ අතර පැය ගණනාවකට පසු එම සිසුවාගේ සිරුර ඊයේ (27 වැනිදා) උදෑසන පොලිස් ජීවිතාරක්‍ෂක කිමිදුම්කරුවන් විසින් සොයා ගන්නා ලදී.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, අස්ගිරිය, බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි ජනිඳු චමෝද් නමැති 24 හැවිරිදි වෛද්‍ය සිසුවෙකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝදාංශයක් ලෙස ස්නෝර්කර් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නිරීක්‍ෂණය කරමින් සිටියදී එක් සිසුවකු අතුරුදන් වී ඇති බවට එම විශ්වවිද්‍යාල සිසුන් දැක ඇති අතර පසුව ඔවුන් මේ ගැන පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට දැනුම්දී තිබේ.
පසුව සිදුකරන ලද මෙහෙයුම්වලදී ඔහුව සොයාගත් බවද පොලිසිය කියයි. මියගිය සිසුවාගේ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව තිබිණ.
මේ පිළිබඳව කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති පො.ප. රුවන් රත්නායක මහතාගේ උපදෙස් මත උ.පො.ප. වරුන් වන සෙනුර, රාජපක්ෂ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්