බිබිල නගරයේ මහියංගනය සහ මඩකලපුව මාර්ග සම්බන්ධ කරන මංසන්ධිය අසලදී බීමත්ව වෑන් රථයක් පැදවූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් සැරයන්වරයා වෑන් රථය අපරීක්ෂාකාරී ලෙස පදවමින් ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ නොදී අනතුරක් සිදුකිරීමට තැත්කර තිබේ.
ත්‍රීවීල් රථයේ රියදුරා ඒ පිළිබඳව ඔහු සමග බහින්බස් වී ඇති අතර නගරයේ කිහිපදෙනකු ද ඒ අසලට පැමිණ වෑන් රථයේ රියදුරු සමග බහින්බස් වී තිබේ. ඔහු පොලිස් නිලධාරියකු බව ඒ අසල සිටි පිරිස හඳුනාගෙන ඇති අතර ඔහු බීමත්ව සිටින බවද ප්‍රකාශ කර ඇත. ඒ අවස්ථාවේ බිබිල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. නිහාල් මහතා එම ස්ථානයට පැමිණ වෑන් රථයේ රියදුරු, වෑන් රථය සමග පොලිසියට රැගෙන ගොස් ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු බීමත්ව සිටි බවයි. වෑන් රථයේ රියදුරු මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු බව හෙළිවී තිබේ. සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක