දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 768 වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන බව එහි බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පෙරහැර මංගල්‍යය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.
ජූලි 25 දින මධ්‍යම රාත්‍රීයේදී චිරානුගත චාරිත්‍රානුකූලව ශුභ නැකැත් යෝගයකින් කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන මෙම ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පේළි පෙරහැර අගෝස්තු මස 2 වැනිදා පවත්වා එදින සිට පේළි පෙරහැර හයක් 7 වැනිදා දක්වා පැවැත් වේ. අගෝස්තු 8 වැනිදා රන්දෝලි මහ පෙරහැර 6.27ට ශ්‍රී විෂ්ණු මහා දේවාල භූමියෙන් පිටත්ව වීථි සංචාරය කිරීමට නියමිතය.
ජාතික කෙළි සෙල්ලම් වලට මුල් තැන දෙමින් නර්ථන කණ්ඩායම් 70 ක් හා අලි ඇතුන් 16 ක් පමණ ප්‍රමාණයකින් මෙවර රන්දෝලි මහ පෙරහැර අලංකාරව පැවැත් වෙන බව බස්නායක නිලමෙවරයා පැවසීය.
ජාතික බුද්ධි සේවයේ උපදෙස් පරිදි මෙවර පෙරහැරේ කාවාඩි නර්ථන කණ්ඩායම් 20කට පමණ සීමා කිරීමට සිදුවන අතර ඔවුන් සංවරව විනීතව අඳින ඇඳුම පවා ආදර්ශමත් ලෙස ඇඳිය යුතු වෙන බවද බස්නායක නිලමෙවරයා පැවසීය. විශේෂ අමුත්තන් සඳහා පනවා ඇති කිසිම ආසනයක් මුදලට විකිණීමට අදහස් නොකරන බවද පෙරහැර නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට විශේෂ ආසන පහසුකම් නොමිලේ සැපයීමක් ද සිදුවේ. එමගින් විදේශිකයන් තුළ පවා ලංකාවේ පෙරහැර සංස්කෘතිය පිළිබඳ දැනුවත් වීමක් සිදුවන බව බස්නායක නිලමෙවරයා පෙන්වා දුන්නේය.
අනතුරුව අගෝස්තු 16 වැනි දින රාත්‍රී කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා අගෝස්තු 17 වැනි දින දේව දානය පූජා කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවය නිමාවට පත්වෙයි.
ඇසළ උත්සවය සමයේදී දෙවිනුවර පෙරහැර මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සියල්ලම දෙවිනුවර ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන අතර මෙම කාලය තුළදී විදුලි පහන් පූජාව ජෝන් වෙළෙඳ ආයතනය මගින් පමණක් සිදු කිරීමටද නියමිතය.
ලුණුගම්වෙහෙර – තලල්ලේ ප්‍රඥාරත්න විදානගමාච්චි සහ ගන්දර දෙවිනුවර – එස්.කේ.කේ. ගුණතිලක