යුද්ධයේදී ඇමරිකාවත් ඊශ්‍රායලය සමග එක් වන ලකුණු
ඊශ්‍රායලය සමග සම්මුතියක් ඇති කරනොගන්නා බව ඉරානය කියයි
ඊශ්‍රායල – ඉරාන යුද්ධය දරුණු වෙමින් පැවතියදී කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයෙන් ඉල්ලීම් කර තිබේ. සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ වන විට අපගේ ඉවසීම අඩු වෙමින් පවතින බවයි. අප ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කුමේණි මරා දැමීමට යන්නේ නැහැ. “අඩුම ගණනේ මේ මොහොතේදී හෝ එවැන්නක් සිදු නොවේ යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ පොළව යට පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාරයන් සඳහා සහය වීම සම්බන්ධයෙන් සලකා බලාගෙන යන බව බීබීසී ප්‍රවෘත්ති සේවයට අයත් ඇමරිකානු පුවත් සේවයක් වන සීබීඑස් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අලුතින්ම සමාජ මාධ්‍ය ජාලයට එක් කර ඇති සටහනක් හරහා මීළඟට ඔහු සිදු කිරීමට යන්නේ කුමක්දැයි යන්න පිළිබඳව තේරුම් ගැනීමට ජි -7 සමුළුවේ සාමාජිකයන්ට උත්සාහ කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කුමේණි පවසා ඇත්තේ සිය රට කිසි විටෙකත් ඊශ්‍රායලය සමග සම්මුතියකට එළඹෙන්නේ නැති බවයි. “අප සියෝන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නොදක්වමු’ යි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර විදෙස් මාධ්‍යවලට අනුව ඊශ්‍රායල -ඉරාන යුද්ධයේදී කුමන පාර්ශ්වයට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් යුරෝපා රටවල්වල බෙදීමක් දක්නට තිබේ. මෙහිදී ඉරානයේ පවතින රජය වෙනස් කිරීමට යෑම සම්බන්ධයෙන් ප්‍රංශය විරෝධය පළ කරන බවට අනතුරු අඟවා ඇති අතර ජර්මනිය ඉරානය පිරිසිදු කිරීම සඳහා ඊශ්‍රායලය ගෙන යන සටනට සිය කෘතඥතාවය පළ කර තිබේ.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ඊශ්‍රායල තානාපතිවරයකු වන මයිකල් ඔරෙන් පවසා ඇත්තේ ඉරානය ඇමරිකානු නෞකාවකට හෝ කඳවුරකට ප්‍රහාර එල්ල කර ඇමරිකාවද ඊශ්‍රායලය සමග පවතින යුද්ධයට එක් කරගැනීමට උත්සාහ දරනු ඇති බවට තමාට බියක් පවතින බවයි. ඇමරිකාව මැදපෙරදිග කලාපයේ තවත් යුද්ධයකට අතපොවනු දැකීමට අකමැති නිලධාරීන් කිහිප දෙනෙකුම ධවල මන්දිරයේ සිටින බවද ඔහු සඳහන් කර තිබේ. ඇමරිකාවේ ‘රේඩියෝ -4’ ගුවන් විදුලි සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ඊශ්‍රායල තානාපතිවරයා සඳහන් කර ඇත්තේ එසේ ඇමරිකානු නෞකාවකට හෝ කඳවුරකට ඉරානය පහර දුනහොත් ධවල මන්දිරය තුළින්ම එල්ල වන පීඩනය හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සමග පවතින සටන් නතර කිරීම සඳහා සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වන ලෙස ඊශ්‍රායලයට බලපෑම් එල්ල කරනු ඇති බවයි. මේ අතර ඊශ්‍රායල -ඉරාන යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය සිය ගුවන් කලාපය වසා දැමීමත් සමගම විදෙස් රටවල සිර වී සිටි ඊශ්‍රායල ජාතිකයන් නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ‘සේෆ් රිටන්’ මෙහෙයුම යටතේ විදෙස් රටවල සිට ගෙන්වා ගත් ප්‍රථම ඊශ්‍රායල ජාතිකයන් කණ්ඩායම රැගත් ගුවන් යානය ටෙල් අවිව් අගනුවර පිහිටි බෙන්ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ ළඟා වී තිබේ. මේ අතර විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ ඉරාන හමුදාවන් වෙත ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ප්‍රහාරයන් හමුවේ ඉරානයෙන් එල්ල වන ප්‍රතිප්‍රහාරයන් අඩු වී ඇති බවයි. න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයකු මෙන්ම හිටපු එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පරීක්ෂකවරයෙකු ද වන ඩේවිඩ් ඕල්බ්‍රයිට් පවසා ඇත්තේ ඉරානයේ පොළව යට පිහිටි ‘ෆොඩෝ’ නමැති න්‍යෂ්ටික අවි පහසුකම් පවතිනුයේ පොළවේ සිට මීටර් 80ක් ගැඹුරින් වීම නිසා එම පහසුකම් විනාශ කිරීම ඉතාමත් අසීරු බවයි. එහෙත් මේ වන විට ඊශ්‍රායලය විසින් ඉරානයේ එම න්‍යෂ්ටික පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම නිසා අදාළ පහසුකම ක්‍රියාත්මක වීම දීර්ඝ කාලයකට සිදු නොවනු ඇති බවත් ඇමරිකාවට එම ඉරාන න්‍යෂ්ටික පහසුකම සම්පූර්ණයෙන් විනාශ කළ හැකිය බව ඕල් බ්‍රයිට් පවසා තිබේ.