මෙරට සටන් ක්‍රීඩාවට නවතම පරිච්ඡේදයක් එක්කරමින්, අන්ලීෂ් ග්ලෝබල් සමාගමේ සුවිශේෂී සටන් ක්‍රීඩා ප්‍රවර්ධන සන්නාමය වන අන්ලීෂ් පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.
සටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව ප්‍රබල ස්ථානයක් හිමි කරදීමේ අරමුණෙන්, දියත් කරන ලද අන්ලීෂ් සටන් ක්‍රීඩාවේ ග්‍රැප්ලින්, මුවායි තායි සහ එම්එම්ඵ් (මිශ්‍ර සටන් කලාව) කෙරෙහි එම සමාගම අවධානය යොමු කර ඇත. ඒ හරහා දේශීය සටන් ක්‍රීඩකයින් ගොඩනගන අතරෙහි ඔවුන් ජාත්‍යන්තර පිටියෙහි සටන් සඳහා යොමු කිරීම සඳහා පියවර ගෙන ඇත.
මෙම සන්නාමය නිල වශයෙන් දියත් කිරීමත් සමග එහි සමාරම්භක ඉසව්ව පසුගිය 14දා කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ උස්බෙකිස්තානය යන රටවල තරගකරුවන් 28 දෙනකු තරග වැදුණු උද්වේගකර සටන් 14 ක් එදින පැවති අතර, කොළඹ, යාපනය, ගාල්ල සහ කුරුණෑගල වැනි නගර නියෝජනය කරමින් තරගාවලියට එක් වෙමින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, දේශීය සටන් කලාවේ තියුණු හැකියාවන් විදහා දැක්වූහ.
එම තරගාවලියෙන් අනතුරුව එහි දෙවැනි අදියර 2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම, තුන්වන අදියර ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත වේ.