බණ්ඩාරවෙල සිට මාතරට අනාරක්ෂිත බසය:
මගීන්ගෙන් තණමල්විල පොලිසියට ප්‍රශංසා

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී මගීන් 70කට වැඩි පිරිසක් ද සමග බණ්ඩාරවෙල සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් තණමල්විල පොලිසිය විසින් තණමල්විල නගරයේදී නවතා එම බස් රථය තණමල්විල ඩිපෝව වෙත යොමුකර, සිදුවීමට ගිය මහ අනතුරක් වැළැක්වීමට තණමල්විල පොලිසිය කටයුතු කර තිබේ.
බණ්ඩාරවෙල සිට ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය මගීන් 70 කට ආසන්න පිරිසක් සමග මාතර දක්වා ගමන් කරමින් සිට තිබේ. එහිදී බස් රථය එක් පසෙකට ඉතා අනාරක්ෂිත ලෙස ඇලවී තිබියදීත් එය ඉදිරියටම මගීන් සමග ධාවනය කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් බස් රථයේ මගීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී. බණ්ඩාර මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් නිධාරීන් යොදවා අදාළ බස් රථය තණමල්විල නගරයේදී නවතා පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී පොලිස් නිලධාරීන්ට ද දැකගත හැකිව ඇත්තේ බස් රථයේ දෝෂයක් තිබියදී මගීන් සමගින් අනාරක්ෂිතව මෙය ධාවනය කර ඇති බවයි. පසුව පොලිස් නිලධාරීන් විසින් බස් රථය මාතර දක්වා ධාවනය කිරීම නවතා එම අවස්ථාවේදීම බස් රථය තණමල්විල ඩිපෝව වෙත යොමු කරවා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබේ. බස් රථය ඩිපෝව වෙත යොමුකර බස් රථයේ දෝෂය නිවැරදි කිරීමෙන් පසු යළි ධාවනයට එක් කිරීමට පොලිසිය අවසර දී තිබේ. මගීන් පැවසුවේ සිදුවන්නට ගිය විශාල අනතුරක් තණමල්විල පොලිසියේ නිලධාරීන්ගේ ඉක්මන් ප්‍රතිචාරය නිසා වැළකුණු බවයි.
මත්තල – දිලීප් එන් ජයසේකර සහ තණමල්විල – සඳුන් පුෂ්පකුමාර