සිත යනු අනාත්ම දෙයකි. සිත ගැන විශ්වාසය තැබිය නොහැකිය. ඔබ අවුරුදු ගණනාවක් සමාධිය වඩවා තිබුණ ද ධ්‍යාන සුව වින්දනය කළ ද ඒවා ඔබ නොහිතන මොහොතක අහඹු ලෙස ඔබේ ශීලය බිඳී යා හැකිය. අෂ්ට සමාපත්තීන් වඩා ඍද්ධි බලයෙන් අහසින් ගිය තවුසන් පවා කාන්තා කටහඬට වශී වී සියලු සමාධි පිරිහී ගොස් කාමයට වසඟ වූ බව ධර්මයේ සඳහන් වෙයි. අද සිල් ගුණදම් පුරමින් ගුණවතුන්ගෙන් සිල්වතුන්ගෙන් ප්‍රශංසා ලබන ඔබ හෙට වනවිට සියලු ලෝකයෙන් නින්දා ලබන කෙනකු විය හැකිය. මේ සිතට ඔබව එවැනි තත්ත්වයකට වුව පත් කළ හැකිය.
කාමයන්හි ඇලී බලාපොරොත්තු අපේක්ෂා පොදි බැඳගෙන ජීවත්වන පුද්ගලයා සිදුරු වූ නැවකට නැඟී තැනැත්තෙකු සේ සසර දුකෙහිම ගැලී දීර්‍ග සංසාරයේ සැරිසරයි. කාමයන් අතහැර මුළු ලෝකයම අතහැර නිවීම සොයන පුද්ගලයා මහා සාගරය සුවසේ තරණය කරන යාත්‍රාවකට නැගී තැනැත්තකු සේ සංසාර සාගරය තරණය කොට සුවසේ නිර්වාණය නමැති පරම නිෂ්ඨාවට පැමිණෙයි.
(ඛුද්ධක නිකාය – සූත්තනිපාතය – කාම සූත්‍රය)
තම සිතෙහි ඇතිවන නානා විධ වූ සිතුවිලි හේතුකොටගෙන තමා දුකට හෝ සතුටට පත්වන බව අපට අත්දැකිය හැකිය. නිරන්තරයෙන් සිතේ හටගන්නේ අයහපත් සිතුවිලි වේද එබඳු තැනැත්තන් නොසන්සුන් පීඩාකාරී මනසින් යුතුව ජීවත්වෙයි. නිරන්තරයෙන්ම යහපත් සිතුවිලි සහිත වූ තැනැත්තන් මානසික සුවයෙන් යුතුව සුවසේ ජීවත් වෙයි. විශාල වශයෙන් කුසල් රැස් කරන අයකු වෙතින් ඉතා සුළු වැරදි සිදුවුවද කුසල්හි බලවත් බව නිසා එම අකුසල විපාක දීම තාවකාලිකව යහපත් වී යයි. වතුර වීදුරුවක් තුළට ලුණු කැට ස්වල්පයක් දමා පානය කිරීමට දුන් කල එය පානය කිරීමට නොහැකි වේ. තදින් ලුණු රසය දැනෙන බැවිනි. එම ලුණු ස්වල්පයම විශාල පොකුණකට හෝ ගඟකට දැමූ කල එම ජලය ලුණු රස ගැන්විය හැකිද? එසේ කුසලයෙහිම ගැලී ජීවත්වන අයකු නම් දැන හෝ නොදැන සුළු වැරදි සිදු වුව ද කුසලය බලවත් නිසා ඒවා යටපත් වී යයි. නමුත් කුසලය පිරිහී
ගිය තැන ඒවා විපාක දෙයි. සසර ගමනේදී දිගටම කරගෙන යනු ලබන කුසල කර්මයන්ගේ ප්‍රබලත්වය නිසා සමහර අවස්ථාවන්හිදී එම අකුසල කර්ම විපාක දීමට ඉඩ නොතබාම අහෝසි වී යයි අංගුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳ කතාව එයට කදිම උදාහරණයකි.
දිසාපාමොක් ඇදුරුතුමා ඇසුරෙහි ශිල්ප හැදෑරූ අහිංසක සිසුවා පිළිබඳව අනෙකුත් ගෝල ශිෂ්‍යයන්ගේ කේලම් බස් අසා ආචාර්යතුමා තදබල ලෙස කෝපයට පත්විය. ඒ කියූ කේලම් බස් සත්‍යද? අසත්‍යදැයි නොවිමසාම දිසාපාමොක් ඇදුරු අහිංසක සිසුවාගෙන් පළිගැනීම සිතා ඔහුට දණ්ඩනයක් පැනවිය. ගුරු පඬුරු ලෙස මිනිස් ඇඟිලි දහසක් බැඳි මාලයක් තමාට පූජා ලෙස පිළිගන්වන ලෙස අහිංසකට දැනුම්දිනි. බලවත් සේ ගුරු ගෞරවය දැක්වූ අහිංසක එම අණ පිළිපැදීම උදෙසා වනගත විය.
වනයට එන මිනිසුන් මරමින් අහිංසක, ඇඟිලි එකතු කරන්නට පටන් ගත්තේය. ඇඟිලි කපා සැඟවූ තැන්වලින් සොයා ගැනීමට යන කල ඒවා නරක් වී කුණු වී තිබුණු බැවින් කපන කපන ඇඟිලි මාලයක් සේ කරේ එල්ලා ගත යුතු යැයි ඔහු කල්පනා කළේය. අහිංසක අංගුලිමාල වූයේ එලෙසිනි. ඔහු ඒ වෙනුවෙන් කොපමණ නම් මිනිස් ඝාතන සිදුකරන්නට ඇතිද? විකල් වූ සිහියෙන් යුතුව තම මෑණියන් ද ඉලක්ක කර සිටි අහිංසක වෙත බුදු කරුණාව යොමු විය. සංසාරේ කළ මහා පින මතුවිය. බුදු රජාණන් වහන්සේගේ කාරුණික වූ මෘදු මොළොක් වූ වදන් කන වැකුණු අහිංසක සිහි එළිවා ගැනීමට සමත් විය. බුදුරදුන් සමග ගොස් පැවිදිව නොබේ කලකින්ම අරිහත් භාවයට පත්විය. පෙර ජීවිතයන්හි ඔහු විසින් පුරන ලද පාරමිතා කුසල් බලයෙන් ඔහු කරන ලද අකුසල කර්ම විපාක නොදීම අහෝසි වී ගියේය. බුදුරජාණන් වහන්සේ එක් වදනකින්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම පිණිස උන්වහන්සේ පින් පුරවාගෙන තිබිණ.
එහෙත් සමහර අවස්ථාවන්හිදී රහත් භාවයට පත් වූවත් සමහර අකුසල කර්ම විපාක දෙන බවට ලෝසක මහරහතන් වහන්සේගේ කතාව කදිම උදාහරණයකි. උන්වහන්සේට රහත් භාවය ලබාත් පිරිනිවීමට මොහොතකට පෙර සැරියුත් මහරහතන් වහන්සේ විසින් තම අත තබාගෙනම දානය ලෙස චතුමධුර වැලඳ වූ බවත් ලෝසක මහරහතන් වහන්සේ අතට පාත්‍රය දුන්නානම් එම දානය ද අතුරුදහන්වීමට තරම් බලවත් අකුසලයක් උන්වහන්සේ රහත් භාවය ලබා තිබියදීත් විපාක දීමෙන් පැහැදිලි වෙයි. ඒ ආකාරයටම අංගුලිමාල මහරහතන් වහන්සේට ද පිඬුසිඟා යන අවස්ථාවල ගල් මුල් ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවූ බව ද අප දන්නා කරුණකි.
අප අපගේ සිත දෙස පරීක්ෂාකාරීව බැලුවහොත් අපගේ සිත මොනතරම් ක්ෂණිකව වෙනස්වන සුළු ද? සදාචාරාත්මක වගකීමකින් තොර ද? සිතුවිලි එකිනෙකට බලහත්කාරකම් කරන්නේද? අනිකාගේ අදහස්වලට ගරු නොකරන්නේද? පක්ෂග්‍රාහීද? යන්න වැටහෙනු ඇත. එසේම බොහෝ සිතුවිලි පටන්ගත් තැනින් ඔබ්බට නොගොස්ම ක්‍රියාත්මක වීමෙන් තොරවම ලත් තැන ලොප්වන්නේ වක්කඩක හටගෙන බිඳී යන දිය බුබුළු සේය. මක්නිසාදයත් එම සිතුවිලි සහ චේතනාවලට ප්‍රායෝගික සදාචාරාත්මක හෝ බුද්ධිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමේ ධෛර්යය නොමැති නිසාය. දෛනිකව සිදුවන අප්‍රමාණ කායික වාචසික අතපසුවීම් හෙවත් ප්‍රමාදයන් දිගු කාලයක් තුළ පැසීමෙන් සිතක් ව්‍යාකූල වෙයි. ප්‍රමාදය දූවිලි කුණු රාශියක් උපදවයි. කුස්සියක දවසක එකතුවන කසල ප්‍රමාණය ස්වල්ප වූවත් කලක් එකතු වූ පසු කෙසේ වේද? රාග, ද්වේශ, මෝහ යන ක්ලේශ ධර්ම සිතෙහි අඳුරු පාතාලයෙහි ලැඟගෙන ආරක්ෂාව ලැබෙන තුරු එම ක්ලේශ මැඩ පැවැත්වීමේ උත්සාහය සාර්ථක නොවේ. ඉතා සංකීර්ණ සිතුවිලි සහ ආවේග ගෙත්තම් කොට වියන ලද සිත නමැති රෙද්දෙහි අතරින් පතර උසස් නිර්මල අදහස් නමැති රන් නූලෙන් කරන ලද ගෙත්තම් තිබුණ ද ඒවායින් යටකී ක්ලේශයන් මැඬපැවැත්වීමට ගන්නා උත්සාහය නිශ්ඵල වන්නේය.
කෙසේ නමුත් මෙයට ස්ථිර විසඳුම වන්නේ සිහියෙන් යුක්තව සමස්තයට මුහුණ දීමයි. චිත්ත නියාමයට අනුව සිතුවිලි දෙකක් එකවිට සිතේ ඇතිවිය නොහැක. සමස්තයට මුහුණ දීමයි. චිත්ත නියාමයට අනුව සිතුවිලි දෙකක් එකවිට සිතේ ඇතිවිය නොහැක. සතිය එළඹ සිටී නම් අඳුරු සිතුවිල්ලකට ඒ හා සමගාමීව පහළවීමට ඉඩක් නැත. මෙලෙස මෙම හුදු සති මාත්‍රය ඍජු වූත් ප්‍රබල වූත් කාර්ය සාධනයක් කරන්නේ වී නමුත් එය එක දිගට පවත්වාගෙන යෑම සිතන තරම් පහසු නැත.
- දූරඬගමං ඒක චරං
අසරීරං ගුහාසෙයං
යෙ චිත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා
(ධම්මපදය – චිත්ත වග්ගය)
යම් කෙනෙක් බොහෝ දුර ගමන් කරන්නා වූ තනිව හැසිරෙන්නා වූ ඇසට පෙනෙන රූපයක් නැත්තා වූ හෘදය නමැති ගුහාවෙහි වසන්නා වූ සිත හික්මවත් ද ඔහු මාරයාගේ බැමිවලින් මිදෙත්. බොහෝ දුර තිබෙන දෙයක් වුවත් මොහොතකදී සිහිකරන බැවින් සිත දුර ගමන් කරන්නෙකැයි කියනු ලැබේ.
උපන්දාසිට මිය යන තෙක්ම මේ සිත කතා කරයි. තොරතෝංචියක් නැත. අස්වැසිල්ලක් නැත. අතරක් සොයා
ගැනීමට නැත. මේ සිත කතාව නවත්වන මොහොතක් නම් නැත. කෙටි කතා දිගු කතා නිර්මාණාත්මක කතා සිහින කතාවලින් සිත පිටාර ගලයි. ඇසිපිල්ලක් ගහන මොහොතකට චෛතසික නැතිනම් සිතුවිලි ලක්ෂ ගණන් කෝටි ගණන් පහළ වේ. නිරුද්ධ වේ. නැවත හට ගනී. නැවත නිරුද්ධ වේ. කෙළවරක් දැකිය නොහැකිය.
පංච ඉන්ද්‍රීයන්ට යමක් අරමුණු වූ විට හටගන්නා චේතනාව ප්‍රබලයි. එම චේතනාවට සමගාමීව චෛතසික පහළ වේ. චේතනාවත් චෛතසිකත් එකවර පහළ වේ. එකවර නිරෝධය වෙයි. නමුත් මෙහිදී චේතනාව නැතහොත් සිත ප්‍රබල වේ. උදා:- ලෙස ඒ කෙසේ ද යත් කුඹුරු හිමියකු සහ අත් උදව් දෙන්නකු කුඹුරක වැඩට යයි. වැඩි උද්යෝගයකින් උනන්දුවකින් කුඹුරු හිමියා වැඩ කරයි. සේවකයා වැඩ කරන නමුත් ඔහු තුළ උද්යෝගයක් අරමුණු වෙනුවෙන් කැපවීමක් දක්නට නැති අතර ඕලාරිකව වැඩ කරයි. එහිදී කුඹුරු හිමියා චේතනාව බඳු වනවිට සේවකයා චෛතසික බඳු වේ. දෙක එකට සමගාමීව සිදුවූවත් චේතනාව බලවත් බව මෙහිදී මැනවින් පැහැදිලි වේ.
කිසිවකුට තම සිත නිසා හටගන්නා යම් ක්‍රියාවක් වේද හොඳ හෝ නරක සියලු විපාකයන්ට මුහුණ දීමට සිදුවේ. කිසිවිටෙක එම විපාක මඟහැර යා නොහැක. ධම්ම පදයේ යමක වග්ගයේ එන මේ ගාථා යුගලයෙන් ඒ බව මොනවට පැහැදිලි වෙයි.
- මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුටෙඨන
භාසති වා කරෝති වා
තතො නං දුක්ඛමනේවති
චක්කංව වහතො පදං
(ධම්මපදය – යමක වග්ගය)
කුසලාකුසල ධර්මයේ සිත පෙරටු කොටගෙන ඇත්තෝය. සිත ප්‍රධාන කොට ඇත්තෝය. සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම් නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසුපස ගමන් කරයි. කුමක් මෙන් ද කරත්තයේ බැඳි ගොනාගේ පය අනුව යන රෝදය මෙනි.
- මනෝ පුබ්බංග මා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පස්සනෙනන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛ මතේවති
ඡායාව අනපායිතී
(ධම්මපදය – යමක වග්ගය)
කුසලාකුසල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ. සිත ප්‍රධාන කොට ඇත්තාහ. සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් යහපත් සිතින් ක්‍රියා කෙරේ නම් යහපත් වචන කියා නම් ඒ කරනකොට සැපය ඔහු අනුව යයි. කුමක් මෙන් ද තමාගේ සෙවණැල්ල තමා අතනොහැර පසුපස්සේ ගමන් කරන්නාක් මෙනි.
මෙහිදී සංසාර ගමනේ තමා විසින් කරන ලද හොඳ හෝ නරක ක්‍රියා සහ වචන විපාක වශයෙන් තමා හඹා එන බව මේ ගාථා ධර්මයෙන් පැහැදිලි වෙයි. තමා වපුරන බීජය යම් සේ ද ඒ හා සමානව ඵලය ලැබේ. කෙසේ ද යත් තල වපුරා මුං ලබාගැනීමට අපේක්ෂා කිරීම මුලාවක් බැවිනි.
සමාජගතව සිටිනා විට කට රැක ගැනීමෙන් සහ තනිව හුදකලාව සිටින විට සිත රැකගැනීමෙන් තමාටත් ලෝකයාටත් විශාල යහපතක් සිදුවනු ඇත. යමෙක් සොරෙක්, බොරුකාරයෙක්, බේබද්දෙක්, ස්ත්‍රී දූෂකයෙක්, ගණිකාවක් යැයි කිසිවිට කිසිවකු හංවඩු නොගැසිය යුතුය. කිසිවකුට එසේ ලේබල් ගැසීම නොවටී. නිරන්තරයෙන්ම සියල්ල වෙනස්ව යමින් පවතින බැවිනි. බැලූ බැල්මට උපහාසයට ලක්විය යුතු යැයි සිතන කවර දෙයකට වුව සිනහා නොවිය යුතුය. අවඥා නොකළ යුතුය. සසරේ මංමුලා නොවන්නට අවධාරණය කළ යුතු කරුණක් ඇත. තමා අනිකාට වඩා ඉහළින් සිටී යැයි කිසිවිට නොසිතිය යුතුය. අනෙකාගේ අඩුපාඩුවක් දෙස බලා සිනාසෙන පුද්ගලයා එබඳු අඩුපාඩු කොතෙක් නම් තමන් තුළ ඇත්දැයි නොසිතයි. තමා පිළිබඳව ස්වයං විනිශ්චයක් කරගන්නා අය අල්පය. ඔහුගේ හෝ ඇයගේ විදිහ පෙනෙන්නේ හෝ දැනෙන්නේ අනිකෙකුට පමණි. පහත්ම මෝඩකමකින් පවා පාඩමක් උගෙන නැවත ගොඩනැඟෙන්නට සෑම මිනිසකුමටම අයිතියක් ඇත. ඔබ දෙන විනිශ්චය ඔබටම ලැබෙන නිසා විනිශ්චය නොවනු සඳහා විනිශ්චය නොකරන්න වග බලාගත යුතුය.

ස්වර්ණා කුමාරමුදලි
(ඇය ලියූ බුදු නෙතින් දුටු විස්මිත සිත ග්‍රන්ථයෙනි)
සංස්කරණය සුසිල් ජයකොඩි
0722081522