ඉකුත් මැයි මාසයේදී බෝයිං සමාගමේ බෝයිං 787 ඩී්‍රම් ලයිනර් යානයෙන් ලොව පුරා මගීන් බිලියනයක් ප්‍රවාහනය කිරීම සටහන්විය. මෙම යානා වර්ගය ගුවන් ගමන් සඳහා එක්කර වසර 14කදී මෙවන් වාර්තාවක් තැබීම විශාල ජයග්‍රහණයක් විය. පසුගිය බ්‍රහස්පතින්දා සවස අහමදාබාද්හි සිදුවූ ඛේදජනක එයාර් ඉන්දියා අනතුර සිදුවන තෙක්, මෙම ගුවන් යානා මාදිලිය අන්තර් මහද්වීපික සංචාර සඳහා යොදාගන්නා ප්‍රමුඛ යානයක් වූ අතර එය ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් තහවුරු කරගෙන තිබිණි. යානය කඩා වැටීමත් සමග නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ බෝයිං සමාගමේ කොටස් මිල 5%කින් පහළ ගියේය. ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය ප්‍රධාන සමාගම් දෙකක අධිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන හෙයින්, ඔබ වාණිජමය වශයෙන් පියාසර කරන විට, ඔබ සෑම විටම Boeing හෝ Airbus සමාගම්වලට අයත් ගුවන් යානයක් තුළ සිටින බව මතක තබා ගැනීම වැදගත් වේ. ආරක්ෂිතභාවය පිළිබඳ අර්බුදයක්, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මෙන්ම සති 7ක් පුරා පැවති සේවක වැඩ වර්ජනයක් සමග, පසුගිය වසරේ මසකට ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ සමාගමකට මෙම ඛේදවාචකය තවත් විපතකි. 2024 දී ඇලස්කා ගුවන් සේවයේ ගුවන් යානයක් පියාසර කරන අතරතුර එහි එක් දොරක් ගැළවී යෑමෙන් පසුව හෙලිව තිබුණේ දැඩි පීඩනයකට මුහුණ දෙන සේවකයන්, නිෂ්පාදනය අතරතුර ගුවන් යානාවල ප්‍රමිතියෙන් තොර කොටස් හිතාමතාම සවි කර ඇති බව ය. ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියාවේ සිදුවූ මාරක ගුවන් අනතුරුවලට සම්බන්ධ නීතිමය සටන් මාලාවකට මෙම සමාගම හසු වී ඇත.
අනතුරට පත් එයාර් ඉන්දියා යානයේ කළු පෙට්ටිය සෙනසුරාදා දින සොයාගෙන තිබේ. මේ ගුවන් අනතුර පිළිබඳ සොයා බැලීම සඳහා එරට ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති අතර මාස තුනකින් එම වාර්තාව ඉන්දීය රජයට ලැබෙනු ඇත. නමුත් තත්පර 32 කින් මාරයා හමුවට ගිය මේ අනතුර ඉන්දීය ඉතිහාසයේ දැවැන්තම හානිය කළ ගුවන් අනතුරයි. විනාඩි භාගයකදී සියල්ල සුන්විය. AI171 ගුවන් යානය අහමදාබාද්හි සර්දාර් වල්ලභායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දහවල් 1:39ට පිටත් වූ අතර එය බි්‍රතාන්‍ය වේලාවෙන් පස්වරු 6:25ට ලන්ඩන් ගැට්වික් වෙත ගොඩබෑමට නියමිතව තිබිණි. නමුත් සියලු ප්‍රර්ථනා සුන්ව ගියේය. එක් අයකුගේ පමණක් දිවි බේරිණි. එය සිතා ගන්නටත් අපහසුය. අපට බෞද්ධ සාහිත්‍යයේ කතා මතක් වන්නේ මේ දිවි ගලවා ගැනීම අසන්නට ලැබෙන විටය. බෝයිං 787 ගුවන් යානයේ 40 හැවිරිදි රමේෂ් සිටියේ 11A අසුනේ ය. ඔහු කියන්නේ ගුවන් යානයේ බඳෙහි ඇතිව තිබුණු විවරයක් හරහා තමාට ඉන් එළියට පැමිණීමට හැකි වූ බව ය. ඔහුගේ සහෝදරයා ද ගුවන් යානයේ සිටියද ඔහු සිටියේ වෙනම පේළියකය. අජේ නම් ඔහුට දිවි ගලවා ගැනීමට නොහැකි විය. හතළිස් හැවිරිදි විශ්වාෂ්කුමාර් රමේෂ් ඉන්දීය රාජ්‍ය මාධ්‍ය වන දුරදර්ශන් නිවුස් වෙත මෙලෙස පවසා තිබිණි. මට බකල් එක ගලවා ගන්න පුළුවන් වුණා. ඒ විවරයෙන් කකුලෙන් හයිය අරන් බඩගා ගෙන එළියට ආවා යානය ගුවන්ගත කළ ගමන්ම ලයිට් කොළ සහ සුදු පැහැයෙන් නිවී නිවී දැල්වෙන්න පටන් ගත්තා. එක පාර ම ගොඩනැඟිල්ලක හැප්පිලා පුපුරලා ගියා. මගේ ඇස් ඉස්සරහා මිනිස්සු මැරෙනවා මම දැක්කා – ගුවන් සේවිකාවන් සහ මගේ ළඟ හිටපු දෙන්නාට මොකද වුණේ කියලා මම දැක්කා, එක මොහොතකට, මමත් මැරෙන්න යනවා වගේ දැනුනා, නමුත් මම ඇස් ඇරලා වටපිට බැලුවම, මම ජීවතුන් අතර ඉන්නවා කියලා මට තේරුණා. ඇත්තටම තාමත් මට මම බේරුණේ කොහොම ද කියලා හිතා ගන්න බැහැ. මම සුන්බුන් අතරින් එළියට ආවා. ඇත්තටම ගුවන්ගත වෙලා තත්පර තිහකට විතර පස්සේ, ලොකු සද්දයක් ඇහුණා. පස්සේ ප්ලේන් එක කඩාගෙන වැටුණා. ඒ හැමදේම ඉතාම ඉක්මනින් සිද්ධ වුණා,.”

Downfall The Case Against Boeing” වාර්තා-චිත්‍රපටය
මේ අනතුරට හේතු ගැන පැහැදිලි කරන හිටපු නියමුවකු වන රකේෂ් රායි සඳහන් කරන්නේ ගුවන් යානයේ රෝද ආපසු ඇද නොගැනීම සිදු නොකරේ මන්ද? නැත්නම් එන්ජිමේ දෝෂයක් ඇතිවූයේද යන ප්‍රශ්නසහගත බවයි. පසුගිය වසර දක්වා එයාර් ඉන්දියා වෙනුවෙන් බෝයිං 787 ගුවන් යානා පැදවූ කපිතාන් රාකේෂ් රායි අනතුරට පත්වූ යානයේ කපිතාන් ගැන මෙලෙස සිහිකර තිබිණි. සුමීත් සභාර්වාල් ඉතා හොඳ මිතුරෙක්. මම ඔහු සමග බොහෝ වාරයක් පියාසර කර තියනවා. ඉතා හොඳ පුද්ගලයෙක්, ඉතා මෘදුව කතා කරන පුද්ගලයෙක්. සමීප මිතුරකු අහිමි වීම, අගනා යන්ත්‍රයක් අහිමි වීම සහ මෙතරම් මගීන් මරණයට පත්වීම දැඩිව හද කම්පා කරවන සුළුයි. යානයේ භ්‍රමණ වේගය සහ එය ඉහළට නැඟුණු ආකාරය ඉතා සාමාන්‍යයි. නමුත් අඩි 400 සිට 500 දක්වා ඉහළට නැඟලත් යම් දෙයක් වැරදීලා. මෙම ගුවන්ගත වීමේ වඩාත්ම පුදුමසහගත අංගය වන්නේ යටි රෝද ආපසු ඇද නොගැනීමයි, ඇත්තටම සිදුවූයේ කුමක්දැයි නිශ්චිතවම කිව හැක්කේ විමර්ශනයට පමණක් බව රායි මහතා පැවසීය.
Flight Radar 24 හි දත්තවලට අනුව පස්වරු 1:39ට ගුවන් යානය ගුවන් තොටුපළෙන් පිටව යන බව පෙන්නුම් කළේය. එහි සංඥාව නැති වූ විට ගුවන් යානය අඩි 625 (මීටර් 190) ක උන්නතාංශයකට ළඟා වී තිබිණි. එම දත්ත වලට අනුව එය විනාඩියකට අඩි 475 ක පමණ වේගයෙන් පොළොවට ඇද වැටීමට පටන් ගත්තේය. යම් දෙයක් වැරදී ඇති බව වටහාගත් ගුවන් යානයේ නියමුවන් ගුවන් ගමනාගමන පාලක මැදිරිය වෙත අපදා ඇමතුමක් ලබා දී තිබිණි. ගුවන්ගත වී මිනිත්තුවකටත් අඩු කාලයකට පසු එම ඇමතුම ලැබුණි. නමුත් කිසිවකුට මේ ඛේදය වැළැක්විය නොහැකි විය.
සෑම ගුවන් ගමනකටම පෙර, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් ඉදිරිපත් කරන ආරක්ෂක නිරූපණ කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. එය අවදානම් අවම කිරීම සහතික කිරීමකි. නමුත් බෝයිං හි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ 2022 Netflix වාර්තා චිත්‍රපටයකින් පවසා තිබුණේ ගුවන් සේවකයන් වසර ගණනාවක් තිස්සේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද, එම අනතුරු ඇඟවීම් බොහොමයක් සෑම විටම සුදුසු අභ්‍යන්තර ක්‍රියාමාර්ග සමග සපුරා නොමැති බවයි. Downfall The Case Against Boeing, නම් එම චිත්‍රපටය බෝයිං හි ආරක්ෂක සංස්කෘතිය පිළිබඳව මතු වී ඇති ප්‍රශ්න පිළිබඳව නැවත වරක් වැදගත් මතක් කිරීමක් මෙනෙහි වන්නේ පසුගිය බ්‍රහස්පතින්දා අහමදාබාද් අනතුර සමගය. මෙම වාර්තා චිත්‍රපටයේ දැක්වෙන පරිදි, මෑතකාලීන අනතුරුවලට බොහෝ කලකට පෙර බෝයිං හි ඉංජිනේරුවන් සහ කළමනාකරුවන් ආරක්ෂක ගැටලු ඉදිරිපත් කර තිබුණි. 2018 සහ 2019 අතර පුද්ගලයන් 346 දෙනකුට මරු කැඳවූ මාරාන්තික 737 මාක්ස් අනතුරු දෙකකින් පසුව මෙම ප්‍රශ්න උග්‍ර විය.
බෝයිං යානා නිෂ්පාදනය කරන ඇමෙරිකාවේ චාල්ස්ටන් 787 කම්හල ගැන හොඳින් දන්නා පුද්ගලයන් දෙදෙනකු පවසා තිබුණේ බලවත් ආරක්ෂක ගැටලු කිහිපයක් මතුව තිබුණේ එයාර් ඉන්දියා වෙත ලබා දෙන ගුවන් යානා සම්බන්ධව බවයි. චාල්ස්ටන් කම්හලේදී, සින්තියා කිචන්ස් නම් සේවිකාව එහි නිපදවූ ඩී්‍රම්ලයිනර් යානා 11 ක් ලැයිස්තුගත කර තිබිණි. මේ යානාවල ප්‍රශ්න මතුවිය හැකි බව ඒ සටහන් කර තිබිණි. ඒවායින් හයක් එයාර් ඉන්දියා වෙත විකුණන ලදී. ඇය ඇගේ කළමනාකරුගෙන් ඔහුගේ දරුවන්ට එම ගුවන් යානාවල පියාසර කිරීමට ඉඩ දෙනවා දැයි විමසූ විට, ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: “සින්ඩි, මේ ගුවන් යානා කිසිවක් ඇමෙරිකාවේ නැත, ඔවුන් සියල්ලෝම විදේශගත වෙති.” වාර්තා චිත්‍රපටයේ පවසන පරිදි, 2014 මුල් භාගයේදී බෙදාහැරීමට නියමිත එයාර් ඉන්දියා ගුවන් යානා තුනක් ගැන සේවකයන් විශේෂයෙන් කනස්සල්ලට පත්ව තිබිණි.
බ්‍රහස්පතින්දා දහවල්, තම ගුවන් ගමන මඟහැරීම ගැන 30 හැවිරිදි භූමි චෞහාන් මුලින්ම සිත්තැවුලට පත්වූවාය. එහෙත් පැයක් යන්නට පෙර ඇය මහත් සැනසුමක් ලැබුවාය. අහමදාබාද් වාහන තදබදය ඇගේ ජීවිතය බේරා තිබිණි. “එයාර් ඉන්දියා කාර්ය මණ්ඩලය මට කිව්වා මං පරක්කුයි කියලා, ආගමන කටයුතු ඉවරයි, ප්ලේන් එකට මගීන් ඇතුළත් කරන එක අවසන් කළා කියලා, ඒ හින්දා මට ගුවන් යානයට නැග ගන්න බැරි වුණා, මං ඒ අයට ගොඩක් පැහැදිලි කරලා ඉල්ලුවා, මගේ ජොබ් එක පවා නැතිවෙයි කියලා, ටිකට් එකේ සල්ලිත් නැති වෙයි කියලා මං පැහැදිලි කළා, නමුත් කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. මං ටිකට් එකේ සල්ලි රිෆන්ඩ් කරන්න කියලා ඉල්ලුවත් එයාලා ඒකත් ප්‍රතික්ෂේප කළා. ගුවන් තොටුපළෙන් පිටව ආපසු නිවස බලා යන අතරතුර තේ පානය සඳහා නතර කළ අවස්ථාවේ යානය කඩා වැටී ඇති බව ඇයට දැන ගන්න ලැබිණි.” අපි තේ බොන්න නැවතිලා අපේ සංචාරක නියෝජිතයාට කතා කළා ටිකට් එකේ සල්ලි ටික රිෆන්ඩ් කර ගන්නේ කොහොම ද කියාලා. ඒ වෙලාවේ තමයි අපිට කෝල් එකක් ආවේ, මං යන්න හිටිය ප්ලේන් එක කඩා වැටිලා කියලා,” භූමි, හුස්ම හිරවෙන තරම් කම්පනයකින් පැවසුවාය.” අපි එහෙම්ම ම කෝවිලට ගිහිල්ලා දෙවියන්ට ස්තුති කළා… අහමදාබාද් රථවාහන තදබදය මගේ ජීවිතේ බේරුවා.”
චතුර පමුණුව