මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් එක්පිට එකා දැවී යද්දී ජොස් බට්ලර් දියත් කළ සුපිරි ඉනිමත් ලියම් ඩෝසන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලිය යටතේ පැවැති පළමු තරගයෙන් ලකුණු 21ක පහසු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
පසුගිය (06 දා) චෙස්ටල් ලෙ හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුවද, ලකුණු 189ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලියම් ඩෝසන් ඇතුළු පන්දු බළඇණියේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකණු 167ක් පමණක් වීම හේතුවෙන් ලකුණු 21ක ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිවිය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ ජොස් බට්ලර් පන්දු 59කට පමණක් මුහුණදෙමින් හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව ජෙමී ස්මිත් ලකුණු ලකුණු 38ක් සහ ජේකොබ් බෙත්ල් නොදැවී ලකුණු 23ක් ලැබීය.
පන්දු යැවීමේදී රොමාරියෝ ෂෙෆර්ඩ් ලකුණු 33කට කඩුලු 2ක් බිඳහෙළීය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී එවින් ලුවිස් ලකුණු 39ක්, රොස්ටන් චේස් ලකුණු 24ක් සහ ජොන්සන් චාල්ස් ලකුණු 18ක් ලැබීය.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලියම් ඩෝසන් 20කට කඩුලු 4ක්, ජේකොබ් බෙත්ල් ලකුණු 27කට කඩුලු 2ක් සහ මැතිව් පෝටස් ලකුණු 48කට කඩුලු 2ක් දවාලීය.
තරගයේ වීරයා ලෙස ලියම් ඩෝසන් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්