මේ වන විට ආර්ථික අතින් ප්‍රපාතයකට වැටී සිටින සමාජයක් ගොඩනැගීම සඳහා සෑම දෙනකුගේම උත්සාහය සහ ධෛර්ය ඉතාමත් අවශ්‍ය මොහොතකට අපි දැන් මුහුණ පා සිටින්නෙමු.
විශේෂයෙන් ලංකාවේ ස්වාභාවික ධන නිධානයක් වන සාගර ධීවර කර්මාන්තය ගැන මෙතෙක් පැවැති කිසිම රජයක් ඒ ගැන උනන්දුවක් දක්වා නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අප රටේ ධීවර කර්මාන්තය නඟා සිටුවීමට යෝග්‍යමය භූගෝලීය පිහිටීමක් ලංකාවේ ඇති බව පාලකයන්ගේ නෙත් නොගැටීම රටේ අභාග්‍යයට හේතුවකි.
දිවයින පුරා සැතපුම් 850 ට වඩා දිග වෙරළ තීරයක් සහ සැතපුම් 8400 ක පමණ දිගින් වූ විශාල මහාද්වීපික මුහුදු ප්‍රදේශයක් ද, අප සතුව තිබීම හේතු කොට ගෙන අප රටේ ධීවරයාට කිසිම තහංචියක් නොමැතිව තම රැකියාව කරගෙන යෑමට නිතැතින්ම අවකාශය ලැබී ඇත.
මේ රටේ කඩතොළු වෙරළ ආශ්‍රිතව දක්නට ඇති කිවුල් ජලාශ (කලපු) වර්ග සැතපුම් 300 – 350 ක් පමණ වන ගංගා, වැව්, විල්ලු වැනි රටේ අභ්‍යන්තර ජලාශවලින් ද මිරිදිය මත්ස්‍ය සම්පත නෙළාගත හැකිව ඇත.
මේ අනුව බලන කල අපේ රටේ ධීවර කර්මාන්තයට යොදා ගත හැකි විශාල ධනස්කන්ධයක් සපයා ගත හැකි කරදිය ධීවර සම්පත්, කිවුල් දිය ධීවර සම්පත්, මිරිදිය ධීවර සම්පත් යනුවෙන් කොටස් තුනකට හැඳින්විය හැකි ධන නිධානයක් ලංකාව වටා සහ ලංකාව අභ්‍යන්තරයේ ඇති බව අමුතුවෙන් හඳුන්වා දිය යුතුව නැත.
එයට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මත්ස්‍ය සම්පත අඩුවීමත්, ඒ හේතුව නිසා මත්ස්‍ය මිල ඉහළ යෑමත්ය.
අපේ රටේ වැඩිවන ජනගහනය අනුවත් දැනට උපයන මත්ස්‍ය අස්වැන්න දෙස බැලීමේදීත් පෙනීයන්නේ පරිභෝජනයට අවශ්‍ය තරම් මත්ස්‍ය අස්වැන්න ලංකාවෙන් නෙලා ගැනීමට නොහැකිව ඇති බවයි.
ලංකාව වටා ඇති ධීවර වරායන් අවශ්‍ය පරිදි කාලීනව සංවර්ධනය කෙරෙන්නේ නම් දැනට උග්‍ර වී ඇති මත්ස්‍ය හිඟයත්, රැකි රක්ෂා ප්‍රශ්නයත් තරමක් හෝ විසඳාගත හැකිව ඇත.
අප රට වටේ මුහුදු තිබුණත් ධීවර අමාත්‍යාංශය හා එයට සම්බන්ධ ආයතනවල ප්‍රධාන අරමුණ වන්නේ නෙළා ගන්නා මත්ස්‍ය සම්පත අලෙවි කර මුදලක් උපයා ගැනීමය. ඉන් ඔබ්බට ගමනක් නැති බවත් ඔවුන් අදහස් කරනවා විය හැක.
අද අපේ තරුණ පිරිස් ඊශ්‍රායලය, කොරියාව වැනි විදේශීය රටවල් කරා ඇදී යන්නේ තරුණ ධීවර ජනතාවට ලංකාව තුළ අභිමානයකින් යුතුව රැකියාවක් කර ගැනීමට තරම් ආත්ම තෘප්තියක් නොමැතිකම නිසා විය හැකිය.
මත්ස්‍ය අස්වැන්න නෙළා ගෙන එය ආහාරයට ගැනීම ප්‍රධාන මාතෘකාව වී ඇති බැවින් එමඟින් යැපිය හැකි වෙනත් මාර්ගයන් ගැන රජයේ අවධානය හීන වීම නිසාත් තරුණ පිරිස් විදේශගත වීම බොහෝ විට පෙනෙන්නට තිබේ.
තරුණ ධීවර ජීවිත විදේශ රටවල්වලට විකුණා එයින් ලැබෙන මුදලින් අප රට ගොඩගන්න බලනවා මිස ඔවුන්ට අභිමානවත් ලෙස රැකියාවක් කර ගැනීම සඳහා ධීවර යාත්‍රා තැනීම බහුල ලෙස සිදුකර ඒවා විදේශීය රටවලට අලෙවි කළ යුතුය. විදේශීය රටවල්වල ප්‍රමිතිය අනුව ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීමෙන් විශාල ආදායමක් උපයා ගත හැකිය. ඒ වගේම ටින් මාළු කර්මාන්ත ශාලා මහා පරිමාණ ව්‍යවසායකයන්ට පමණක් සීමා නොකර සුළු ව්‍යවසායකයන්ටත් එම කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දිය යුතුව ඇත. ශීතාගාර තැනීම, ඒවා අලුත්වැඩියා කිරීම, ධීවර ආම්පන්න නිෂ්පාදනය කිරීම, කරවල, උම්බලකඩ, ජාඩි නිෂ්පාදනය ආදී ක්ෂේත්‍ර ගැනද සැලකිල්ල යොමු කළ යුතුව ඇත.
මෙම කර්මාන්තය උසස් අන්දමට පත්කරන්නේ නම් ධීවර කර්මාන්තයට නැඹුරු වන ධීවර ව්‍යවසායකයන්ගේ වාහන අලුත්වැඩියා කිරීම, ඒවාගේ රියදුරු – සහායක හා පැටවීම් – බෑම් ආදී කටයුතුවල නිරත වීම, ඔවුන්ගේ වාහන අලුත්වැඩියා කිරීමෙන් සහ අමතර කොටස් සැපයීමෙන් දහස් ගණනකට රැකියා උත්පාදනය කරගත හැකිව ඇත. එසේම මහ මුහුදේ ගැලවී යන කොරල් පරවලින් ද නව රැකියා උත්පාදනය කර ගත හැකිය.
රට වටා විශාල මුහුදක් තබාගෙන රැකියාවන් ලබා ගත හැකි උපාය මාර්ග ධීවර කර්මාන්තය තුළ තිබුණත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා විදේශීය ධීවර කාර්මිකයා මේ වන විට ලංකා මුහුදු තීරය හිරිකිතයකින් තොරව ආක්‍රමණය කරමින් සිටී. විදේශීය ධීවරයා අපේ මුහුදු ප්‍රදේශය විශාල ලෙස ආක්‍රමණය කළත් නාවික හමුදා භාරයට පත්වන්නේ අතලොස්සක් පමණි. එම ධීවරයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සූදානම් වන විට ඔවුන් එම මුහුදු සීමාව ඉක්මවා තම මුහුදු සීමාවන්ට ඇතුළු වී අවසන්ය.
අපේ ධීවර කර්මාන්තයේ පවතින නොයෙක් අඩුපාඩු නිසා අප රටේ නිෂ්පාදනය කර විදේශීය රටවල් සඳහාත් ආනයනය කළ හැකි උම්බලකඩ, හාල්මැස්සන්, ටින් මාළු වැනි දේ මේ වන විටත් විදේශීය රටවලින් ගෙන්වාගෙන අපේ පරිභෝජනයට යෙදවීම ගැන පාලකයන්ගේ නෙත් යොමු විය යුතු කරුණක් වන්නේය.
විදේශීය රටවල් වලින් අප වෙත ලබාගන්නා වූ මත්ස්‍ය නිෂ්පාදනය අප රටේම නිෂ්පාදනය කර ගැනීමට පාලකයන් උනන්දු වන්නේ නම් ධීවර කර්මාන්තය තුළින් අප රටට ඉතිරි වන මහා ධනස්කන්ධය යොදා මේ රට ගොඩනඟා ගැනීම ඒ තරම් විශාල ප්‍රශ්නයක් නොවේ.
අපේ මුහුදු අස්වැන්න පහතරටට පමණක් නොව රට මැදට ද ගලා යා යුතුය. ඔවුන් ද කරදිය මත්ස්‍ය පරිභෝජනයට හුරු පුරුදු කළ හැකිවනවා මෙන්ම ලාංකික ජනතාව පළාත්වලින් තොරව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ද එහි අස්වැන්නද පරිභෝජනය කිරීම සඳහා සියලු ජන කොටස් හුරු පුරුදු කළ යුතුය.
රටට සම්පතක් වූ ධීවර කර්මාන්තය රටට බරක් වන පරිදි ක්‍රියාත්මක නොකර එය රටට යහපතක් බවට පරිවර්තනය කර ගැනීම ධීවර රැකියාවේ නිරත වන අය මෙන්ම රජයේ ද අවධානය යොමු විය යුතු කරුණක් වන්නේය.
ලුණුගම්වෙහෙර තලල්ලේ
ප්‍රඥාරත්න විදානගමාච්චි