ලබන 26 වැනි දින කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්ලයට පාද වන්දනාව මගින් පැමිණෙන බැතිමතුන් සදහා කුමන හා යාල වන උද්‍යානය අද (20) දින විවෘත වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේය. පසුගිය මැයි 01 වැනි දින 80කින් යුතු පළමු බැතිමතුන් කණ්ඩායම යාපනය නල්ලුර් කෝවිල අසලින් ගමන් ආරම්භ තිබිණි.
යාපනය, කිලිනේච්විය, මඩකළපුව, ත්‍රිකුණාමලය, වව්නියාව වැනි ප්‍රදේශ ඔස්සේ මෙම බැතිමතුන් පා ගමනින් පැමිණීම සිදුවේ. පානම ඔකඳ දේවාලය අසලින් කුමන ජාතික වන උද්‍යානය වෙත පිවිසීම පිණිස මාර්ගය විවෘත කිරීම අද (20) දින උදැසන 05ට සිදු කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. මේ පිරිස් කුමන, කුඹුක්කන්ඔය, යාල අංක 02 කලාපය, යාල අංක 01 කලාපය, කටගමුව ඔස්සේ කතරගම පුදබිමට ලබන 23 වැනි දින පැමිණිමට නියමිතය. කතරගම ඇසළ මංගල්‍ය මෙම මස 26 වැනි දින සිට ජුලි 10 වැනි දින දක්වා පැවැත්වේ.
කතරගම -කේ.ඩී. දේවප්‍රිය