නියෝජ්‍ය පොලිස්පති ඩී. එම්. යූ. මහින්ද දිසානායක
“අනාරක්ෂිත ළමුන් වැඩියෙන් අපයෝජනයට ලක්වෙන්නේ පිටතින් ආපු අය අතින් නෙමෙයි. තමන්ගේම සමීපතමයන් අතින්. එක්කෝ පියා එහෙම නැත්නම් සහෝදරයා, ඥාතියා, අල්ලපු ගෙදර පුද්ගලයා අතින්. ඒ නිසා දැයේ දරුවන් ආරක්ෂා කර ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා” යැයි ත්‍රිකුණාමලයේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. එම්. යූ. මහින්ද දිසානායක මහතා පැවසීය.
ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදයේ සිව්වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ කීය. මෙම සැමරුම පෙරේදා (05 දා) ත්‍රිකුණාමලය තානායමේදී පැවැත්විණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, “ළමයි වැඩි වශයෙන් අපයෝජනයට ලක්වන්නේ පවුල්වල ඇති ගැටලු නිසා. මව හෝ පියා දික්කසාද වීම, එහෙම නැත්නම් විදේශගතවීම ආදී කාරණා නිසා. එවැනි පවුල්වල දරුවන් ඉන්නේ එක්කෝ කිරිඅම්මා ළඟ. නැත්නම් අත්තම්මා ළඟ. මෙවැනි අනාරක්ෂිත දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා විශාල කාර්යභාරයක් මාධ්‍යවේදීන්ට කළ හැකි වෙනවා. ඒ නිසා මේක මම අවස්ථාවක් කර ගන්නවා මේ කාරණාව කියන්න. ළමයි අපයෝජනවලින් මුදවා ගන්න ඔවුන්ට ආරක්ෂාව සලසන්න නැගෙනහිර පළාතේ ‘සරෝජා’ කියලා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක කරගෙන යනවා.
සමාජයේ තෙවැනි ඇස විදියට අපි සලකන්නේ මාධ්‍යවේදීන්. පියවී ඇසට නොපෙනෙන දේවල් ඔබ තමුන්නාන්සේලට පේනවා. සමාජයේ අසාධාරණයට ලක්වන්නන්ට සාධාරණය ඉටුකරදීම ඒ වගේම සමාජය අභිප්‍රේරණයට ලක් කිරීම ඔබ තමුන්නාන්සේලට කළ හැකියි. පොලිස් නිලධාරියා හා මාධ්‍යවේදියා අතර මනා සම්බන්ධයක් තිබිය යුතුයි. පොලිස් නිලධාරීන් ඔබට පේන දේට වඩා නොපෙනෙන විශාල වැඩ කොටසක් කරනවා. සමාජය යම් අපරාධයක් සිදුවුණාම අපරාධකරුවා අගය කිරීම හෝ ඉහළට ඔසවා තැබීම කරන්න එපා. ඔවුන්ගේ අපරාධය ඒ ආකාරයෙන් ලියලා අධිකරණ ක්‍රියාවලිය දක්වා ලියන්න. එතකොට තමයි තවත් අපරාධයක් කරන කෙනෙක් ඉන් පෙළඹිලා ඉන්නව නම් ඉන් වැළකෙන්නේ” යැයි කීහ.
මෙම අවස්ථාවට එක්වූ ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන්, කින්නියා ප්‍රාදේශීය ලේකම් එම්. එච්. මොහොමඩ් කනි යන මහත්වරුද අදහස් දැක්වූහ. මෙහිදී සංවත්සරය සමරා පැමිණි ආරාධිත අමුත්තන් අතින් මාධ්‍යවේදීන්ට සමරු තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවූහ.
ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා අතින් මාධ්‍යවේදීන්ට සමරු තිළිණ ප්‍රදානය කරද්දී නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා ද පසෙකින් සිටී.
සේරුවිල – සුගත් විජේකුමාර